Monday, May 23, 2016

සිතිවිලි ඇතිවන්නේ ස්වභාවධර්මයට අනුකුලවූ හේතුඵල න්‍යායට අනුවය. නතරකල නොහැක. බුද්ධ දේශනාව වන පටිච්චසමුප්පාදය යනු මෙම සිතිවිලි පිළිබඳවූ දේශනාවයි.

“අකුප්පාමේ චේතෝ විමුක්තියා” යනු අටලෝ දහමට නොසැලෙන සිතක් එනම් මනසක් හෙවත් විඥානයක්  ඇතිකර ගැනීම මිස  සිතිවිලි හැදෙන ක්‍රමය  සුනු විසුනු කිරීම නොවේ.
සිතිවිලි ඇතිවන්නේ ස්වභාවධර්මයට අනුකුලවූ හේතුඵල න්‍යායට අනුවය. නතරකල නොහැක. බුද්ධ දේශනාව වන පටිච්චසමුප්පාදය යනු මෙම සිතිවිලි පිළිබඳවූ දේශනාවයි.  “සසර දුක නිවීම” යනුවෙන් බොහෝ දේශකයින්  දේශනා කරන්නේ  ඉපදෙමින්  මියයමින් නැවත ඉපදෙමින් යන සසරක් පිලිබඳවය. බුද්ධ දර්ශණයේ එවැනි  සසරක් ගැන ද  විග්‍රහනොවේ. එවැනි දීර්ඝකාලයක් ගැන හෝ දීර්ඝකාලයකට පසු ලබන විමුක්තියක් පිලිබඳ විග්‍රහ නොකරයි. එවිට බුදුදහම අකාලික දහමක් නොවනු ඇත.ඇතැම් දේශකයින් දේශනා කරන පරිදි  මනසින් සිතිවිලි මකාදැමීම හෝ ශරීරයෙන් මනස එනම් සිත හෙවත් විඥානය වෙන්කිරීම කල  නොහැක.  බුද්ධදර්ශනය පදනම්වී ඇත්තේ සිතිවිල්ලක් ජනිතවන “ක්‍ෂණය” නම්වූ ගණනයකළ නොහැකි තරම් ඉතාකුඩා කාල සීමාවකට සීමාවූ “අකාලික” සංසිද්ධියක් තුලය. නිවන්දැකීම හෝ සතර අපායට යාම සිදුවන්නේ  මෙම ගණනය කල නොහැකි තරම්වූ කුඩාකාලය තුලදීය. එනම් “ක්‍ෂණය” තුලදී  ජනිතවන “සිතිවිල්ල” තුලය. සිතිවිල්ලේ  නිවීම හෝ එම සිතිවිල්ල නිසා සිත විපිලිසරවිම හෙවත්  අපායට යාම  සිදුවන්නේ ද  මෙම “ක්‍ෂණය” නම්වූ ඉතා කුඩා කාලය තුලදීය. මෙහිදී  සම්මතයේ ඇති වචනය වන “අපාය” යන වචනය භාවිතා කරනු ලැබුවත් නිවැරදි වචනය  විය යුත්තේ විපිලිසරවිම හෝ වික්ෂිප්තවීමයි.  මොහොතක්(ක්‍ෂණයක්) මෛතී‍්‍ර භාවනාව  කිරීම බුදුපාමොක් මහාසංඝරත්නයට දෙන සාංගික දානයට වඩා ආනිසංස යයි  යනුවෙන් දේශනා කර ඇත්තේ  ක්‍ෂණයක්  තුල ඇතිවන එක සිතිවිල්ලක් නිවීමය. එනම් එම සිතිවිල්ල ඇලීමෙන් හෝ ගැටීමෙන් තොරව මිත්‍රත්වයෙන් අසුරු කිරීමයි. එනම් එක “සත්වයෙක්”  එනම් “සිතිවිල්ලක්” නිවාගැනීමයි. මෙහි “සත්ව” යනු සිතිවිල්ලේ  නිතැතින්ම සිදුවන සිතේ එනම් මනසේ හෙවත් විඥානයේ ඇලීම සහ බැඳීමේ ස්වභාවයයි. සියලු සත්වයෝ යනු සියලු සිතිවිලිය. සියලු සත්වයෝ නිදුක්විම යනු සියලු සිතිවිලි නිවීමයි. බුදුන්වහන්සේ පෙන්වාදී ඇති පරිදි අවබෝධ කලයුත්තේ  බඹයක් පමණවූ  ශරීරය තුල සිදුවන “ලෝක” නම්වූ සිතේ පෙරලිය පිළිබඳවයි. භාහිරවූ  භෞතිකවූ ලෝක ගැන නොවේ.බාහිරවූ  භෞතිකවූ  වස්තුන් ජීවින් හෝ ද්‍රව්‍ය ගැන සාකච්චා කිරීම කාලය නස්තිකිරීමකි.  පටිච්චසමුප්පාදය  මගින් විග්‍රහ වන්නේ  “ලෝක” එනම් සිතේ පෙරලිය  ගැන මිස  ජීවියකු ගැන හෝ ද්‍රව්‍ය ගැන  නොවේ. මනස එනම්  සිත හෙවත්  විඥානය  ශරීරයේ සියලුම ජීවී සෛල හා සම්බන්ධ ජාලයකි(Net Work) . සියලු ජීවී සෛල වලට තනිවම ක්‍රියාකාරී වියහැකි අතර සෛල එකිනෙක අතරද සම්බන්ධතාවය පවත්වයි(interact). එමෙන්ම සියලු ජීවී සෛල එකිනෙක සම්බන්ධීකරණය කිරීම සහ පාලනය කිරීම සිත එනම් මනස හෙවත් විඥානය මගින් සිදුවේ. තත්පරයක් තුලදී එක ජීවීසෛලයක් තුල ක්‍රියාකාරකම් සියගණනක් සිදුවිය හැක.  බොහෝ ක්‍රියාකාරකම්  සිත එනම් මනස හෙවත් විඥානය මගින් සම්බන්ධීකරණය හෝ පාලනය සිදුකරයි. මිනිසකූ මියයාමේදී  සියලු ජීවී සෛල මියයන නිසා සිත එනම් මනස හෙවත් විඥානයේ නම්වූ  ජාලයේ  (Net Work) ක්‍රියාකාරිත්වය  අවසන්වේ. පැවතීමට මාධ්‍යයක් නොමැතිවූ විට සිත,මනස එනම්වූ විඥානයේ පැවැත්ම අවසන්වේ. පණඇති මිනිසකුගේ බඹයක් පමණවූ ශරීරය තුල “ලෝක” නම්වූ සිතේ පෙරලිය  සිදුවන අතර එනම් සිත මනස හෙවත් විඥානය  ක්‍රියාකාරීව පවතී.  සිතේ මනසේ එනම් විඥානයේ  ක්‍රියාකාරීත්වය  නතරවීමට  නම් ශරීරයේ  සෛල මියයාම සිදුවිය යුතුය. මියගිය පුද්ගලයකු තුල  සිත,මනස හෙවත් විඥානය නොපවතී. සිත එනම් මනස හෙවත් විඥානය  මිනිසාගේ ශරීරය තුල පවතින අතිශය අධිවේගී ජාලයකි very high speed network. වෙන්කළ නොහැක.  දේශකයාණන් පවසන අන්දමට භෞතිකවූ ජීවී සෛල වලින් සමන්විත ශරීරයෙන් සිත එනම් මනස හෙවත් විඥානය වෙන්කළ නොහැක. මිනිසාගේ  ශරීරය තුලැති  ජීවී සෛල සියල්ල හා සම්බන්ධ තාවය සහ පාලනය(coordination & control)  පවත්වන සිත  එනම් මනස හෙවත් විඥානය ශරීරයෙන් වෙන්කළ නොහැක. එසේ වීමට නම් සෛල සියල්ල මියයාම සිදුවිය යුතුය. මොලය Brain ප්‍රධාන දත්ත ගබඩාව වුවත්  බොහෝ සෛල තුල අවුරුදු  මිලියන ගණනක් සිට පැවතෙන  ජානමය මතකයන් ඇත. අපහට ගෝචර නොවන එවැනි මතකයන් කිසිසේත් ඉවත්කළ නොහැක.  එමනිසා කිසිදිනක ජිවත්වන මිනිසකුගේ සිත, මනස එනම්වූ  විඥානය  ශරීරයෙන්  වෙන්කළ නොහැක.  සිත,මනස හෙවත් විඥානය  නැතිකළ නොහැක. සිත නැතිකිරීමක් හෝ සිත ශරීරයෙන් වෙන්කිරීමක් ගැන කිසිවෙක් දේශනා කරයිනම්  එය සිදුවිය නොහැක. ඔහු සිතේ එනම් මනසේ හෙවත් විඥානයේ හැසිරීම  හෙවත් බුදුන්වහන්සේ දේශනා කල පටිච්චසමුප්පාදය  නොදනී. පටිච්චසමුප්පාදය  නොදන්නා කිසිවෙකු  බුද්ධදර්ශනය  නොදන්නා බුදුසසුනට ඇතුලුනොවූ  අය ලෙස සැලකිය හැක. සිත,මනස එනම්වූ විඥාණය  ගැන අවබෝධයක් නොමැතිව  බුදුරජානන්වහන්සේ දේශනාකළ බඹයක් පමණවූ ශරීරය තුල සිදුවන සිදුවන “ලෝක” නම්වූ  “සිතේ පෙරලිය”  අවබෝධ කල නොහැක. සිතේ පෙරලිය  අවබෝධ නොකර  “නිවන්දැකීම” කල නොහැක. බුදුරජානන්වහන්සේ  “පටිච්චසමුප්පාදය “ යනුවෙන් දේශනා කර ඇත්තේ මෙමෙ “සිතේ පෙරලිය”  එනම්වූ   “ලෝක” පිළිබඳවයි. දැනට විග්‍රහ කරන සම්ප්‍රදායික පටිච්චසමුප්පාදය නොවේ. නිවැරදි  පටිච්චසමුප්පාදය “සිතේ පෙරලිය” ගැනවූ විග්‍රහයක් පමණි. දුක ගැන හෝ ජීවියකු ගැන හෝ ජීවියකුගේ නැවත ඉපදීමක් ගැන නොවේ.     පංචෙන්ද්‍රිය නිසා ඇතිවන සිත්  සංස්කරණය වී සිතිවිලි එනම් හුදු සටහන් වශයෙන් හෝ  “සංඛාර” වී සිතේ හෙවත්  මනසේ එනම් විඥානයේ ඇලීම,බැඳීම එනම්  සටහන්වීම සිදුවේ. මෙම මනසේ,සිතේ එනම් විඥානයේ  සටහන්වූ සිතිවිලි  නැවත නැවත එනම් පුන පුනා ජනිතවේ. මෙම පංච උපාදාන ස්ඛන්ධ  සහ සතරමහා භූත ක්‍රියාවලිය නතරකල නොහැක. මෙසේ සිතිවිලි  පුන පුනා  ජනිතවීම නිසා  සිත පිඩාවට පත්වීම  නතරකල හැක. සිතිවිලි සමනය කලහැක. සිත නිවීම හෙවත් නිවන්දැකීම කලහැක. බුද්ධදර්ශනය යනු නිවන පිළිබඳවූ දර්ශනයයි. දේශකයාණන් පවසන  “භව” යනු  සිතිවිල්ලක ජනිතවීම යන්න සහ “පුනර්භව” යනු සිතේ එනම් මනසේ හෙවත් විඥානයේ  ඇලුණු එනම් සටහන්වුනු සිතිවිලි පුන පුනා ජනිතවීම යන්න  නිවැරදිය.  බුදුන්වහන්සේ  අනන්තවූ ජාතිවල ඉපදීම  එනම් සාර අසංකේය කල්ප ලක්‍ෂයක් ජාතිවල  ඉපදීම යනු මනසේ ජනිතවූ සිතිවිලි ලෙස පෙන්වාදීම නිවැරදිය. උන්වහන්සේ  මෙතරම් “සිත” පිලිබඳ  අවබෝධ කලේ එම සිතිවිලි විශ්ලේෂනය  කිරීමෙනි. “අනේකජාති  සංසාරං” යනු එම අනන්තවූ  සිතිවිලිය.එනම් නොයෙකුත් ජාතියේ අනන්තවත්වූ  සිතිවිලිය. “නිවන් දැකීම” යනු   මනසේ ඇති සිත පිඩාවට පත්කරන  සිතිවිලි හෙවත් “සංඛාර”  පුන පුනා  ජනිතවීම නතරවිමයි. නතර කිරීමක් නොවේ. එසේනම් මනසේ ඇති “සංඛාර” හෙවත් “කෙලෙස්” මනසින් ඉවත්විය යුතුය. සිතිවිලි හෙවත් මනසේ සටහන් සියල්ල සිතෙන් එනම් මනසින් ඉවත්නොවේ. ඉවත්කළ නොහැක.තද බැදීමෙන් තොරවූ සිතිවිලි මනසේ එනම් සිතේ තිබීම නිසා කිසිදු හානියන් සිදුනොවේ. බුදුරජානන්වහන්සේ  “සංඛාර” හෙවත් “කෙලෙස්” යනුවෙන් හැදින්වුයේ  නැවත  ජනිතවී සිත විපිළිසර වීමට සමත් සිතිවිලිය. මැදුම් පිළිවෙතට අනුව සිත එනම් මනස පවත්වා ගැනීමෙන් මනසේ සිතිවිලි සමනය වීම සිදුවේ. එනම් සමනයවූ නිවුණු සිතිවිලි වලින් යුතු මනුෂ්‍යයා යනු ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා ජනිතවන සියලු සිතිවිලි ආයාසයකින් තොරව නිවීමට කුසලතාවය ඇති ක්‍ෂණයක්  පාසා “නිවන්දකින” පුද්ගලයාය. අවබෝධ වූ “ක්‍ෂණයේ” සිට මියයන “ක්‍ෂණය” දක්වා නිවීමෙන් සැනසීමෙන් ජිවත්වන පුද්ගලයාය.  නිවන්දැකීම යනු මෙම සංසිද්ධියයි. එනම් “බුද්ධසාසනය  හස්න හෙවත් බුදුන්වහන්සේගේ පණිවුඩයයි. පොත්පත් ලිවීමෙන්  ඒ  අනුව දේශනා කිරීමෙන්  ඉතා සරලවූ මෙම දර්ශණය විකෘතිවී  ඇති බවනම්  පැහැදිලි සත්‍යයකි.  “නිවන්දැකීම” කල යුත්තේ  “විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ජගා”  යන මධ්‍යම ප්‍රතිපදාවට අනුව තණ්හාව ක්‍ෂය කිරීමෙනි. මෙහි විසංඛාර ගතවූ සිතක් ඇතිවීම යනු “සංඛාර” හෙවත් “කෙලෙස්” ප්‍රහාණය කල සිත,මනස එනම් විඥානයයි. සමනයවූ සිතිවිලි සහිත සිතකි එනම් මනසකි හෙවත් විඥානයකි. බුදුන්වහන්සේ මහා සමන විය. නිවන්දැකීමට ඇත්තේ එකම මාර්ගයක් පමණි. එනම් සිදුහත් තවුසා ,සුනීත ,සෝපාක, අංගුලිමාල, චුල්ලපන්ථක,දාරුචීරිය, පුක්කුසාති බමුණා,විශාකාව,පටාචාරා ,කිසාගෝතමිය යන සියලු දෙනාම නිවන්දැක්කේ  සරලවූ බුදුදහමට අනුකූලවය.  බුදුවී ප්‍රකාශකළ උදාන වාක්‍යයේ අවසාන පදයට අනුකූලවය. එනම් “විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ජගා”  යන මධ්‍යම ප්‍රතිපදාවට අනුව තණ්හාව ක්‍ෂය කිරීමෙනි. මෙහි විසංඛාර ගතවූ සිතක් ඇතිවීම යනු “සංඛාර” හෙවත් “කෙලෙස්” ප්‍රහාණය කල සිත,මනස එනම් විඥානයයි. එවිට නැවත ජනිතවී  සිත විපිලිසරවීමට සමත්  “සංඛාර” හෙවත් “කෙලෙස්” සිත තුල නොපවතී. එනම් සමනයවූ සිතකි. බුදුන්දවස බොහෝදෙනා  බුදුදහම අවබෝධ කලේ වචන කිහිපයක් ඇසීමෙන් හෝ සරල  ක්‍රියාකරකම් මගිනි. සුනීත හට බුදුන්වහන්සේ පැවසුවේ  “සුනීත ඔය කද  බිම තබනු”  යන වචන කිහිපය පමණි. බුදුන්වහන්සේ අදහස්කලේ  කුලවතෙකු  දුටුවිට බියවීමට, සිත විපිළිසර වීමට  සමත්වූ  “හීනමාන” නම්වූ “මාන” හෙවත් “කෙලෙස්” නම්වූ  කද  බිමතබනු  යන්නයි. සුනීත හීනමානය නම්වූ කෙලෙස්කද බිමතබා සිත සැහැල්ලු කරගන්නා ලදී.  බුදුන්වහන්සේ අංගුලිමාල හට පැවසුවේ  “අහිංසක  නවතිනු” යන්න පමණි. ගුරුවරයාට තිබූ තද බැඳීම නිසා ගුරුපුජාවට  ඇඟිලි  රැස්කිරීමට ඇතිකරගත් තදබල ආවේගය නැවැත්වීමෙන්  අහිංසක නැවතුණි. ගුරුවරයා කෙරෙහි තිබූ තද බැඳීම  නම්වූ “කෙලෙස්”  ප්‍රහාණය කරනු ලැබිය. සිත සැහැල්ලු කරගන්නා ලදී. කිසගෝතමියට දෙනලද සරල ක්‍රියාකාරකම එනම්   නොමල ගෙයකින් අබ සෙවීමට යාමේදී  ඔවුන් කිසිවෙකු ඇය තරම් තදින් බැඳුනු අය නොවනබවත්  සිතට වද වේදනා දීමට හේතුව ඇය තුලතිබු දරුවා කෙරෙහි තදින්බැඳීම නම්වූ “ක්ලේශය” බව අවබෝධ කරගත් ඇය කෙලෙස් සංසිඳවා  සිත සැහැල්ලු කරගන්නා ලදී. චුල්ලපන්ථක හට  දෙනලද ක්‍රියාකාරකම මගින් රෙදිකඩ කිලිටිවූ සේම කෙලෙස් නිසා සිත කිලිටිවන බව අවබෝධ කරන  ලදී. ගාථා පාඩම් කිරීමට හෝ මතකතබා ගැනීමට අවශ්‍ය නොවිය.මනස තුලවූ සියලු කෙලෙස්ද ප්‍රහාණය කිරීමට සමත්වී  අරහත් බවට පත්විය. දාරුචීරිය හට උපදෙස් ලැබුනේ  බාහිර රුප්පනයන් නිසා ඇතිවන සිත් නිසා ජනිතවන “සිතිවිලි”  ප්‍රභල මාන  හෙවත් “සංඛාර” වශයෙන් නොව සිත විපිළිසර වීමට සමත් නොවන  හුදු සරල සිතිවිලි  වශයෙන් මනසේ  සටහන් වීමට ඉඩහරින ලෙසය. එමගින් “කෙලෙස්” රහිත නිවුණු සිතක් ඇතිවීමෙන් දාරුචීරිය  අරහත් භාවයට පත්විය. මෙසේ සලකා  බලනවිට  බුදුදහම යනු  නිවන් දැකීම හෙවත් සිතේ නිවීම හෝ සිත විපිළිසර වීම හෙවත් අපායට යාම  “ක්‍ෂණයක්” තුලදී සිදුවන සංසිද්ධියක් ලෙස පෙන්වාදෙන   එක “ක්‍ෂණයක්” හෝ අතහැරීමට නොහැකි  “අකලික”වූ “එහිපස්සික”වූ  දහමකි. බොහෝ දේශනා “ක්‍ෂණය” මත පදනම්වූ දේශනා නොවේ. එම දේශනා මගින් නිවන අවබෝධ කිරීම සැකසහිතය. එවැනි දේශකයින්  නිවන පිලිබඳ අවබෝධයක් ඇති අයසේ සැලකීමට අපහසුය.   

No comments:

Post a Comment