Monday, May 2, 2016

මනසින් නික්මීම ගෝතම ශාසනයයි
සචිත්ත පරියෝදපනං .. ඒතං බුද්ධානුශාසනං. .. මේ අනුශාසනය කියනවාට වඩා බුදු පණිවිඩය ලෙස ගැනීම අර්ථවත්වේ. ඇත්තෙන් ම මේ පොඩි ළමයෙකුට වුවත් තේරුම් ගතහැකි දහමක් ... ගැඹුරු බව කියන්නේ අපව අන්දවන්නයි. තථාගත දහම යනු පවත්නා ආකාරයයි.යථාර්තයයි... සැබවයි. ඇත්ත ඇති සැටියෙන්ම දැක්මයි... මොකක්ද මේ ඇත්ත. උපදින කොට මෙය සුදු රෙදි කඩක් මෙන් පිවිතුරුය.... ප්‍රභාස්වරය. මනසට කිසිම රූපයක්.. හැඩයක් ... පාටක්.. පැවත්මක් .... නැත. හැඩ වැඩ දමා ගන්නේ අප විසින්මයි. අප වටපිටාවෙන් මය. මෝඩ බූරුවා... කාලකන්නියා... තකතිරුවා... පෙරේතයා.. දක්ෂයා ... කාල කළමණාකරුවා ... ඥානවන්තයා ... නිර්ලෝභියා.. මේ හැම තැනම ඇති එක දෙයක් වේ.ඒ සිත හා බැදුන සිතුවිල්ලයි. මේ තියෙන සිතෙන්ම සිත විමසන්න්න.එවිට ඇති නැතිවන දහමක් මිස සැබෑ මමෙක් නැති බව පෙනේ. එවිට මතුවන ප්‍රඥාවෙන් ඔබට සියල්ල පැහදිළිවේ.. මග ඉබේම විවරවේ. නිවේ. ඒ සදහා උත්සහ කරන්න කරන්න ඥානමග දුරස්වේ. ප්‍රාර්ථනා.. පෙරුම් පිරීම .... දාන .. ශීල.. ව්‍රත සමාදානය ඇවැසි නොවේ. සෝත ආපන්න .... සෝතාපන්න යනු දිය පහරට වැටීමයි.එසේ වැටෙන්නේ මමෙක් නැති බව දැක්මෙන් ඉබේමයි.එසේ වැටුණ කෙනා ඉබේම කරදරවලින් තොරව නිදහසේ ගලා යයි. තමායැයි අල්ලා ගත් කෙනා ඉවුරුවල හැපී සුළියක් සාදාගෙන තමා වටා ඇති අන් සියල්ල ඇද ගෙන තමාත් භ්‍රමණයවේ.(භවෝඝය) නිරතුරුව උත්සහ කළත් මමායනය බිදෙන තුරු ගොඩට ඒමක්නම් නැත. මෙය ඔබේ ලෝකයයි .. මගේ ලෝකයයි.( චිත්තනෙ නියතී ලෝකෝ.. ලෝකය පනවා ගන්නේ සිතෙනි ) මේ ලෝකයෙන්... සිතෙන් ... සිතුවිල්ලෙන්.... මිදෙන්නේ කොහොමද?... මෙය අමාරුබව හැමෝම කියති. හොරා අල්ලන්න නම් පළමුව හොරා ගේ තොරතුරු නැතිව බැරිබව පොලීසිය දනී. එවගේම ඇතිවන බිදෙන සිත සිතෙන්ම දකින්නේ නැතිව.. නොදැක අපහසු වෙනවා. ඔබත් සිත පළමුව හදුනාගත යුතුම වේ. සිතුවිල්ල ..... හැම විටම තමා ..( මම ).. වටා කරකැවෙන්නෙකි.. (ගැඹුරු නින්දේදී හැර ) එසේ නැතිවූ විට ඊට පැවැත්මක් නැත. සිතුවිල්ලෙන් .. මම... ඉවත් කරගන්නා ක්‍රමවේදයක් බුදු පණිවිඩයේ ඇත. පහසුම විදිහ හා ක්ෂණිකවම පලදැරිය හැකි ඒ ක්‍රමය දාරුවිරියට දෙසූ ..... දැක්කොත් දැක්කා පමණි... ඇසුණොත් ඇසුනා පමණි... දැනුනොත් දැනුනා පමණි... වින්දොත් වින්දා පමණි.. ලෙසය. දළ අදහස උපාදානය නොකරන්න ... අල්ලා නොගන්න.. යන්නයි. ඔබ දවස තුළ දකින සියල්ල සිතේ රැදේද? එහෙමනම් ඉගෙන ගන්න අපට කොච්චර ලේසි වෙයිද? ඇයි අමතක? අල්ලා නොගත් නිසාවෙනි. (උපාදානය නොකළ බැවිනි.) මෙයයි බුද්ධ පණිවිඩය ... අතහැරීම... නික්මීම... අල්ලා ගන්න තරමට දිගහැරේ.. සංසාරවීම.. (ස්වයංසාර .... ඉබේම සවිවීම) යනු එයයි. අතහැරීම නිවනට මග බවයි බුදු පණිවිඩය. අපේ දේශකයෝ අපට වදාරන්නේම මා කියන බණ හොදින් අසාගෙන ...අල්ලාගෙන.... දරාගෙන සිතේ දාගෙන.... (සුනාථ .. ධාරෙත..) කනවෝ කනවෝ යැයි.කියන්නයි. බුදුබණ මනසින් නික්මෙන්නයි. (යෙ සුප්පයුත්තා මනසාදල්හේන නික්ඛාමිනො ගෝතම ශාසනම්හි) ඥාන පහළවන්නේ මනසින් නික්මෙන විටයි. ඒකට අරමුණු බාධා කරයි. ඒත් බමුණු දහමේ වදාරන්නේ අරමුණකට සිත එකග කරන ලෙසයි. අන්තිමට කියා දෙන ගුරුවරයත් අතරමං.. අසන්නාත් අතරමං... මම අතහැරීම කෙසේ වෙතත් මම තරවීමක් පමණක් සිදුවේ. සිතුවිල්ල තමා වටාම යන්නකි. * 1.මම... 2.මලක් ... 3.දැක්කා... (සිතුවිල්ල) 1. කරන්නෙක්... 2. අරමුණක්... 3. කර්මයක් (ක්‍රියාවක්) වශයෙන් පහසුව සදහා මේ මූලිකාංග 3 කට සරලව බෙදා ගමු. * පළමුව ... මම ... අත්හරින්න. * දෙවනුව ... මම මලක් .... යන දෙකම අත්හරින්න. දැන් ඉතිරිව ඇත්තේ..... දැක්කා .... යන සොබාදමේ ක්‍රියාවලිය පමණි. ... දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති ... දැක්කොත් දැක්කා පමණි--- බුදුහිමියන් දාරුවියට වදාල දේ..? අපේ දවසේ වැඩ තුළම නැද්ද? අපි හැම දෙයක්ම හිත හිතාමද කරන්නේ.. කන්නේ බොන්නේ සමහර වැඩ කරන්නේ ...වාහන එලවන්නේ? සිතුවිල්ල ... ගැන හරිහැටි නොදන්නා නිසාම එය නවතාගන්න බැරිබව ඔබ කියාවි. භාවනා කරන්නෝත් එක තැනම හිරවී ඉන්නේ එබැවිනි. මනස තුළම ඒකාග්‍රතාවයක් ඇති කරගැන්ම හින්දු භාවනාවයි... ධ්‍යානයි... බ්‍රහ්මත්වයට මගයි.. ඒත් ආපසු ඔහු (පුද්ගල සංකල්පය) සුගතියෙන් දුගතියටම වැටෙයි. සිදුහත් බෝසතුන් තමාම මෙය දැක අවුරුදු 6කට පසුව අත්හැරියා...ඒත් ඒක දැනගෙනත් අපි තාම ඒකම අල්ලාගෙන ඉන්න හදනවා...... ඒකම ප්‍රගුණ කරන්න උපදෙස් දෙනවා. ඒකයි අරුමය. අපි නැවත .... දැක්කා.... කියන තැනට එමු. මෙතන සිතුවිල්ලක් තිබේද? නැහ. හිස් අහස දෙස බලාසිටින්නාක් මෙනි.... අරමුණක් ගෙන ඒ දෙසට සිත යොදන්න ඔබට උගන්වා ඇත්නම් ..... එම අරමුණ දෙස බලා සිට ..... එම අරමුණත්..... ඔබත් ..... අතර හිස් අහසට නෙත යොමන්න.සිත යොමන්න ඒත් සිතුවිල්ල කියන සංසිද්ධිය එතැන නැති බව ඥානයෙන් දකින්න. ටික වෙලාවක් සිට අරමුණ බලන්න.... එවිට ඒ බොදවී ඇත්නම් ඔබ තරමක් සාර්ථකය. මෙලෙස වැඩිය උත්සහ නොකර.... විවේක විටෙක දින චරියාවේ කොටසක් ලෙස කෙමෙන් අත්දකින්න බලන්න.... ඔබ ටික දිනකින්ම සාර්ථකවේවි. හැබයි....ඔබතුළ ම ඇති දැනුම පොදි... මිථ්‍යා විශ්වාස මීට බාධාකරයි. (මාරපායාසයන්) ඒවා ගැන කලබල නොවන්න. සුනීත මෙන් අශූචි කද බිම දමන්න... ආයාසයෙන් තොරව දකින්න. ඔබ මෙය පිළිගත්තේද එතැන මම ඇත. ඔබ මෙය පිළිකෙව් කළේද ඒත් එතැනත් ... මම ...ඇත. තමා නැතිව ප්‍රථිඵල අත්විදින්න. ප්‍රාර්ථනා නිශ්ඵලය. කාටහෝ ප්‍රාර්ථනාවෙන් නිවන දිය නොහැක. මරණයට පසු පිං යවන ගිණුමක්ද ගිණුම් අංකයක්ද නැත... එසේ කියන්නෝ උදරපෝෂීහුය. ඒ ඒ ක්ෂණයේ නිවන අත්විදින්න. ඒ ඒ ක්ෂණයේ සිත විපිළිසර වීම අපාය ගාමී වීම මිස ස්ථානයක් නොවේ. ... බොරු සසර බිය.... අත්හරින්න. මමෙක් දැනටත් නැති නම් ( එහා ලොවකට .... අපායකට ..... දිව්‍ය ලෝකයකට යන කිසිවෙක්ම නැහ.... යන සත්‍ය යේ පිහිටන්න. එම සත්‍ය යේ පිහිටෙන් බව දුකෙන් මිදෙන්න...) බුද්ධ දර්ශනය බවරෝගයෙන් මිදෙන්න අදාළ වන්නක් මිස වෙනත් පුද්ගලාර්ථ පසුව.... බුද්ධාගම... ලෙස බමුණු දහමින් පැමිණි දේ ලෙස විමසා සැක නොකර අත්හැර දමන්න... ඒ මොහොතේම නිවන අත්විදින්න. එයට ඔය කියන මහා ප්‍රඥාවක් හෝ පෙර පිං මහිමයක් ඇවැසි නැත. ( අසාගත් දැනුම තුළ නොසිට හංසයා කිරිවලින් වතුර වෙන්කරගන්නා සේ දේශිත සැබෑ තථාගත දහම තුළින්ම යථාර්තය ...මතු කර තමාම දැක තමාම විමසා තිරකොට ගන්න. නත්ථිමෙ සරණං අඤ්ඤං....... මෙය අන් පිහිටක් තියා තමාට තමාවත් සරණ නැති දහමකි. ඥානයෙන් විමසත්වා.. ප්‍රඥාව පහළකොට ගෙන සෝතාපන්න වෙත්වා!!!.. ඉබේ ගලායන දිය පහරට එළැඹෙත්වා. (ආනන්ද විජයරත්න)......

No comments:

Post a Comment