Friday, February 1, 2013

"කම්මස්ස කාරකො නත්තී -- කර්මරැස් කරන්නෙක් නැත.

අංගුලිමාට බල නොපෑ පෙර කර්මය අපට පමණක් බලපායිද? *****************************************

 "කර්ම" යනු ඒ ඒ පුද්ගලයන් විසින් කරන කියන සිතන, පතන දෙයින් ජනිතවන සුදු/කලු විපාක යැයි අප ඉගෙන ගෙන ඇත්තෙමු. මේ ජීවිතකාලයේදී අප සැප හෝ දුක් උදාකර ගන්නේ පෙර ජන්මයේදී කරන ලද පව් පිං වල විපාක නිසා බවද අදහමු.බුදු රදුන් වසර 6 ක් දුෂ්කර ක්‍රියා කොට දුක් වින්දේ ද එවන් කර්මයක් පලදී බව අදහන්නෝද සිටිති. ඒ අයම සමහර විට එය අරිය පරීක්ෂනයක් බවද සදහන් කරත්.මැද පිළිවෙතට එන්නට අවබෝධය ලැබුයේ එම නිශ්ඵල ව්‍යායාමය හරහාය. එහෙත් නිර්මල බුදු සමයේ දැක්වෙනුයේ ඊට හාත් පසින්ම වෙනස් උගෙන්වීමකි.

එහිදී
"කම්මස්ස කාරකො නත්තී -- කර්මරැස් කරන්නෙක් නැත. විපාකස්සච වෙදකො -- විපාක විදින්නෙක් ද නොවේ. සුද්ධ ධම්මා පවත්තන්ති -- සුද්ධ වූ ධර්මතාවයන් පමණක් පවත්නේ වෙයි. එවෙතං සම්ම දස්සනං " -- සම්‍යක් දර්ශනය එයයි.

 මෙය උපුටා දැක්වූ විට මෙය රහත් ස්වභාවය බව මිස පෘතග්ජන අපට ධම්ම මාර්ගයට පිවිසෙන දොරටුව නොවන බව ඇදහිලි, විශ්වාස, පුද පූජා ආගම සේ කරතබා ගත් උදවිය පවසත්. එක්කෝ ඔවුනට මෙය තේරැම් යන්නේ නැත.නැත්නම් තේරැම් ගන්නට උවමනාවක් නැත.නැත්නම් යන්නන්වාලේ සම්ප්‍රදායම කරපින්නා ගෙන පහසුවෙන් යන්න බලන නිසා වෙත්.නොඑසේව එයින් යැපීම් මාර්ග අවහිරවේය යන බියෙනි.

සුද්ධ ධර්ම මොනවාදැයි මෙහිලා ඔබට ගැටලුවක් ඇතිවිය හැක.දැන් අපි එය ඉතාම සරල ක්‍රමයකට තේරැම් ගන්න බලමු. . අප ජීවත්වන මෙම විශ්වය, ඝන, වායු, දුව, වැනි දේ භූතවීමෙන් ( එකිනෙක හා නොසෙල්වෙන සේ බැදීමෙන් ) හේතු ප්‍රත්‍ය ලෙස නිර්මිත වී ඇත.මෙයින් අප ජලය පමණක් ගෙන බැලුවත්, අප සිරැරෙන් 70% ක්ම ජලයයි.මිහිතලයද එසේමය.සියලු ජීව, අජීව, සැම දෙයක්ම ජලය, වායුව, හා ඒ නිසාම ඇතිවූ රසායන ද්‍රව්‍ය මත පවත්නේ වෙයි.සත්වයා ආහාර , පාන, ලෙස එකී රසායන ද්‍රව්‍යයන් ගෙන ඒ අනුසාරයෙන් තම සිරැර පවත්වා ගනිමින් ද, යම් යම් කාබනික දෑ පරිසරයට සිරැරෙන් මුදා හරිමින්ද ආහාර දාම ලෙස අන්‍යොන්‍ය සහයෝගිතාවයෙන් ජීවිතය ගෙවත්.

අප සිරැර එන්ජිමක් නොවන්නේ සිරැර හා ඇසුරැ කරන විඤ්ඤානයක් හෙවත් මනසක් මිනිසාට ඇති හෙයිනි.එවිට අපට ගැටලු වක් වන්නේ මෙම මනස සුද්ධ ධර්මතාවලට අයත් නොවන බවට කරන ප්‍රකාශයන්ය. ඉන්ද්‍රියවලට හසුවන ලෝකය රෑප ලෝකය ලෙසත්, මනස අරෑප ලෝකයට අයත් බවත් එසේ විග්‍රහ කෙරේ. මොළය ඉන්ද්‍රියයක් වන අතර අනෙක් ඇස, කණ, නාසය, දිව. හා කය යන ඒවා එක්ව සෑදුන ඉන්ද්‍රියායතන හරහා එන සංඥා මොළයේ ඇති දත්ත හෙවත් තොරතුරැ (මතකය) සමග සංජානනයවී තොරතුරැ වේගය වැඩි කොට මතකයක් නැති සිරැරෙන් බැහර ඇති මනසට ලබාදෙයි.එය එවිට චින්තන ශක්තිය ලබයි. විවිධ සංකල්ප. දහම් නිර්මාණය කරයි.සැලසුම් කරයි.මෙයට උපකාර වන්නේ අප ඇසුරැකරන කාමලෝකය තුළ ජනිතවන කෙලෙස්ය. කෙලෙස් යනු අප බාහිර සිරැර හා මනස හෙවත් අරෑප ලෝකය යා කරන පාලමයි.මේ පාලම සිදබිද දමන්නට කෙනෙක් සමත් වුවහොත් ලෝක දෙක වෙන්කළහැක. . ‍

බුද්ධකාලීන සමාජයේ විසූ ආලාරකාලාමාදීන් මෙය කරන්න උත්සහ කෙළේ සිත දියුණු කිරීමෙන්ය. එසේ කරන්නට කරන්නට සසර දිගුවිය. එය හරියට පැදුරේ වාඩිවී සිටිමින්ම එය හකුලන්න දරන වෑයම බදු විය.නමුත් මෙය කළ නොහැක්කක් බව අවබෝධයෙන්ම වටහාගත් බුදුපියා වදාළේ
"යේ සුප්ප යුත්තා මනසා දල්හේන නික්ඛාමිනො ගෝතම ශාසනම්හි" යනුවෙනි. එහි සරල අදහස දැඩි ලෙස බැදුනු මනස අතහැරිම හෙවත් මනසින් නික්මීම අධිගමයට පත්වන මාර්ගය බවයි.මනසින් නික්මුණ විට පුද්ගල සංඥාව බැහැරවේ. එය උන් වහන්සේ තේරැම් ගත්තේ අවුරැදු 6 ක් කළ වෑයමක ප්‍රථිඵලය වශයෙනි. එහෙත් එය ශ්‍රවණය කළ ශ්‍රාවක පිරිස් වහ වහා අවබෝධ කොට දහම් මගට බටහ.අධිගමයට පත්වූහ.එසේ පහසු වූයේ පවත්නා දෙයක් නැති බවත් සියලු ජීව, අජීව කොටස් හුදෙක් ධර්මතා ලෙස ගෙන තණ්හාව ක්ෂය කිරීමෙනි.තණ්හාව හෙවත් කාමලෝකයට සම්බන්ධ ඇලීම්. ගැටීම් හරහා සිතුවිලි හෙවත් චින්තන හටගනී.

මේ එකිනෙක ක්‍රියාවලීන් අප විග්‍රහ කරන්න හදන්නේ කාලය නමැති රාමුව තුළ සිටය.පට්ච්ඡ සමුප්පාද ධර්මය, හේතුඵලවාදය යන මේ සියල්ල කාල රාමුවකට හසුවේ.එය චක්‍රයක් ලෙස දකින්නේ එබැවිනි. . සත්‍ය දකින්නට කාල රාමුවෙන් එලියට ආ යුතුය.එය කරන්නට ජීව, අජීව, වශයෙන් ඇතිවී. පැවතී. විනාශව(
උප්පාද,තිථි, භංග) යන භෞතික යමක් නැති බව ප්‍රඥාවෙන් දැකිය යුතුය.කාලය යනු කුමක්ද යන්නත් මෙහිදී මදක් හෝ දැන සිටිය යුතුයැයි හගිමි.කාලය යන ධර්මතාව විශ්වයේ චුම්භක බලය මත සිදුවන්නකි.සියලුම මන්දාකිණි මෙම භ්‍රමණ බලයට හසුව ඇත. එසේම අප සිරැර, බාහිර පාරිසරක දෑ සියල්ලෙහි අණුක කොටස් එම න්‍යෂ්ඨීන් වටා භ්‍රමණය වේ.එම චලනයට සීඝ්‍රයෙන් හසුව සිටින සියල්ලට කාලය ඇත.අවකාශය ඇත.

බීජයක් පැලවී ගසක් වන්නට ගතවන කාලය අප ගණනය කරමු.ඇත්තටම සිදුවන්නේ කිමෙක්ද? සෑම ක්ෂණයකම ඒ විපරීත වීමකි.දිරායාමකි.මෙහි ඇති සීඝ්‍රතාවය අප ඉන්ද්‍රියවලට හසු නොවන්නේ ඒවා ඒ තරම්ම ප්‍රාථමික මට්ටමක ඇති බැවිනි.අපේ ඇසට ඇස වත් දැකිය නොහැක.ශරීරය තුළ දැකිය නොහැක.ඒවා සීමිත පරාසවල ක්‍රියාත්මක වේ.බිළිදෙකු පිළිසිද , බිහිව, මිය යන තුරැම සිදුවන එම විපරිනාමය අපට නොවැටහේ.අප මතකයෙන් කාලය අල්ලා ගෙන දැනුමෙන් ඔලු පුරවා ගෙන උපන් පුද්ගලයාම ජීවත්වන බවත්, ඔහුම වැඩී,ජරාවට පත්වී මියයන බවත් දකින්නේ මෙම ධර්මතාවය නොදැක ඒ සිරැර "මගේ" කර ගැනීමෙනි. ඒ නිසාම බුදු දහමට උප්පාද +තිථි+භංග කියන ත්‍රිත්වය පසුව එක්කොට ඇත.එනිසා උපත, විපත මැද පුද්ගලයාගේ රෑපයක් අප ප්‍රදර්ශණය කරවමු. .

 අප මේ තුළ කෙතරම් ගිලී සිටින්නේද යතහොත් මේ ධර්මතාවය පිළිසිද දුටු බුදු පියා පවා පුද්ගලයෙක් සේ සළකා වැදුම් පිදුම් ප්‍රාර්ථන කරමු. සිදුහත් කුමරැ ගේ මලගම සිදුවූයේ බුද්ධත්වයට පත්වීම සමගමය.බුදුන් මියගියා නොවේ.ඒ පරිනිර්වාණය වන්නේද එබැවිනි.උන්වහන්සේ ගේ ධර්මයද දක්නේ පොත් ගොඩක් වශයෙනි.සංඝ හෙවත් අර්හත්වය දකින්නේ ද සිවුරැ හැදි පිරිසක් ලෙසිනි. අරැමය මෙයයි.මෙම ධර්මතාවය තේරැම් ගැනීම පහසුය.සැකයක් නැත්තේ තමාම දකින බැවිනි.තමාට වැටහෙන බැවිනි. තමා තුළම පරීක්ෂාවට ලක්කොට දැකිය හැක.

මේ සදහා මූලික දැනුමක්, ගුරැවරයෙක් සිටීම සෑහේ. කාලි බැමිණිය සෝවාන් වි ඇත්තේ හේමවත, සාතාගිරි යන යකුන් දෙදෙන අහසේ දී මුණ ගැසී කරන දහම් සාකච්ඡාවකට කන් යොමු කිරීමෙනි.විශාල පොත පත දැනුමක් නොව විමර්ශණ දැක්මක් සෑහේ.සත් අවුරැදු දරැවෙක්ට පවා තේරැම් යන්නකි.ඊට පෙර කළ පව් පිං නොව ඇවඅසි වන්නේ හොද නැණසකි.ඒ නිසාම අංගුලි මාල අධිගමයට පත්විණි. කාලයට හසුවූ පුද්ගල බද්ධ දහමක් ප්‍රගුණ කරන අය අංගුලිමාල රහත්වූයේ අති දීර්ඝ සසරේ කරන ලද කුසල සම්භාරයන් නිසා බව කියන අතර කාලයෙන් ඉවතට ගිය අකාලික වූ දහමක් අපට දෙසූ බව අමතක කරත්. . මේ මොහොතේ දැක ඒ මෙහොතේම ප්‍රත්‍යක්ෂ කළ හැකි.එසේම පවුල් ජීවිතයක් වුව රකිමින් මෙම ධර්ම මාර්ගයට වැටිය හැකි බවට විශාකා චරිතය දෙස්දෙයි.

මෙය අමාරැවෙන් සීරැවට වාඩි වී හිත තදකරගෙන කරන සටනක් නොවේ.කළ යුත්තේ සුද්ධ ධර්මතාවයන් ගේ චලනයක් මිස ඉන් එහා දෙයක් නැති බව ගැඹුරින් වටහා ගැනීමෙනි.එම දර්ශණය විදසුන් හෙවත් විනිවිද දැක්මයි.ඥාන මාර්ගයයි.( මෙය දැනුම හරහා අටුවා ටීකා ඇදගෙන තර්ක කරන්නට නොවේ).තමා තුළට බහා වහ වහා අවබෝධ කොට මේ ජීවිතකාලයේදීම නිවන අවබෝධයටයි. අවශ්‍ය ඇත්තෝ තමා තුළට බහා විමසත්වා! බැහර කරත්වා!

ආනන්ද විජයරත්න

No comments:

Post a Comment