Friday, February 1, 2013

........... ලෝක ධම්මතාවය ........


“ලෝක ධම්මතාවය "


බුදුවරයෙක් ලොව පහල වුවත් නැතත් මෙම ධර්මතාවය පවත්නේ වෙයි,........(උප්පාදොවා තථාගතා.... අනුප්පාදොවා...) "මම අපෙ අම්මා පිළිගත් දහමේ හිටියනම් මම තාම එතැන. මම ධර්මය දේශණා කරන්නේ සිංහල බෞද්ධයන්ට , මුස්ලිම් අයට ,ක්‍රිස්තියානි අයට නෙමෙයි. බුද්ධිමත් මිනිසුන්ටයි" ( සෝම හිමි "ලෝක ධම්මතාව" දේශණා )
 මම මේ ලිපිය සදහා පදනම් කරගන්නේද ඒ හර පද්ධතියයි.

 බුදුවරයෙක් ලොව පහළ වුවත් නැතත් මෙම ධර්මතාවය පවත්නේ වෙයි.එම ධම්මතාවය තුළ ගමන්කොට බුදුවරැ ලොව පහලවෙත්.එසේ පහළවන්නේ අත්‍යන්තයටම ආත්ම සංකල්ප මුල්කොට ගෙන තම තමාගේ ගොඩ වැඩිකරගන්නා සමාජ පරිසරයකට එහි නිශ්සාර බව පෙන්වා දීමටය.එම මග ඉතාම සරල වේ.වට පිටාවෙන්ම හා තමා තුළින්ම මෙය දැකගත හැක. ගලායන ජල පහරක් උදාහරණයට ගන්න.ඇත්තටම මෙහි ජලය කියා නිශ්චිත දෙයක් තිබේද? අපට එය ගලන බවක් දිස්වේ. ජීවිතයද (මම) එසේ වේ. චක්‍රාකාර මගක ගමන් කරයි.ඊයේ වට වැස්සේ ජලයම අද වහිනවා නොවේ. නමුත් ධර්මතාවය තුළ ජලය පොදුවේ. මෙම පොදු ජලාශය තුළ බුබුළු මතුවේ.ඒ බුබුලු මොහොතකින් පුපුරා හැලී එම ජලයටම එක්වේ.එයින් තව දිය බුබුලක් මතුවේ. එය පෙර එකම නොවේ. එසේ නොවන්නේ ද නොවේ.හේතුව දෙකටම පොදු ධර්මතාවය ජලය විමයි.


මෙයයි සංසාරික තත්වය.හැම බුබුලක්ම එකාකාරී නොවේ.විවිධය,විෂමය,එයට බලපානුයේද සංස්කාරවල වෙනස්වන හා සංස්කරණය වන ධර්මතාවයේ සීඝ්‍ර බවයි.


ජල අංශුවක් ගෙන බලන්න. එය වායුව නිසා හටගැනී ඇත.වායු අංශුවක් දකින්න එය තවත් අංශූන් ගේ එකතුවකි. මෙසේ ගැඹුරට විමසා බැලීමේ දි මේවා එක්තරා විද්‍යුත් ශක්තියක් , චුම්භක බලයක් පදනම් කොට පවත්තන් වෙයි.

මෙයයි අප නොදුටු බුදු හිමි වදාළ සංස්කාරික තත්වය. මේවාට තිර පැවත්මක් නැත. ඇත්තේ චලනයකි.එනිසාම ක්ෂණයක් පාසා විපරීතවේ. උපන් තැනම මිය යන ධර්මතාවයක් පමණකි. මෙය තිර කොට ලෝකයක් ලෙස, මගේ ලෙස ඇද බැද තබා ගන්නේ නොදැනුවත් නම තුළිනි. ගත යුතු හරයක් නැත.සියල්ල මායාවන්ය.
(
හොලෝ ග්‍රැෆි ලිපිය බලන්න)

මේ ධර්මතාවය කිසිවෙකුට වෙනස් කළ නොහැක.බුදු හිමියන් පවා මීට අනුගතය.අප සියලු දෙනම එම ධර්මතාවයේ සංඝටකය. කළ හැකි එකම දෙය නිවැරැදිව දැකීමය.ඒ තුළ සසර බිය නොදැනේ.අපාය බියක් නැත. ජාති,ජරා,මරණ යන මේවා දැනුමේම කොටස් ලෙස වැටහේ. එම වැටහීම තුළ සැනසුම ඇත.එහා ලෝකයට ගෙන යන්න කියා රැස්කිරීමක් නැත්තේ එයද මායාවක් බව දන්නා බැවිනි.එලැඹි මොහොත මිස අතීතයද මතක ගොන්නකි. අනාගතය පැමිණ නැත. නුවණින් මේ වටහාගත් කෙනාට දුටු දේ දුටුවා පමණි... ඇසූදේ ඇසුනා පමණි. ඒ ගැන ඇලෙන්න යන්නේ නැත. සැමට තෙරැවන් සරණයි!

 ආනන්ද (Andaw)

No comments:

Post a Comment