Friday, February 1, 2013

විදසුන් වැඩීම හෙවත් විනිවිද දැක්ම


විදසුන් වැඩීම හෙවත් විනිවිද දැක්ම



 ලෝකයේ ඇති තතු ඒ අයුරින්ම පසක් කර ගන්නට අපට උදව් වන්නේ පළමුව තමා කවරෙක්ද යන්න නැණ නුවණින් විමසා බැලිමයි.මෙය විදර්ශනයකි.භාවනා ඉරියව්වක සිටම මෙය කළයුතු යැයි භාවනා ප්‍රගුණ කරන අය සිතතත් එය එසේ නොවේ.(යටියන්තොට කල්‍යාණසිරි හිමි)
තමාට කැමති ඉරියව්වක සිට අවශ්‍ය වේලාවක ධර්ම කරැණු ගෙන මුල සිට අගට, අග සිට මුලට මෙනෙහි කිරීම විදර්ශනයයි.ඇත්ත ඇති සැටියෙන් වටහාගන්න කරන එම උත්සහය තුළ යථාභූත ඥානදර්ශනය පහලවේ. අපට ඇති මූලික ගැටලුව දුකය. දුක ඇතිවීම දුක්ඛ සමුදයයි. මේ පිළිබදව දම්සක් පැවතුම් සූත්‍රය තුළ ඇති කරැණු මහෝපකාරීවේ.පෙර නොඇසූ විරෑ අයුරින් තමාට දහම් ඇස පහළ විණ,නැණ , නුවණ, ප්‍රඥාව, ප්‍රඥාලෝකය පහළ විනැයි වදාළහ.එතෙක් නොදුටු තිබූ මෙම කරැණු උන්වහන්සේ ස්වයං අවබෝධය තුළ දැක විවරණය කළහ.එම සත්‍යය පිළිසිද දුටුවාහුය.දුකට හේතුව වශයෙන් වදාළේ ඉන්ද්‍රිය ඇසුරෙන් ජනිතවන දැඩිව අල්වා ගැනීම තුළ මිනිස් සංතානයේ ඇතිවන තණ්හාවයි.එය දැඩිව මනස සමග "හාව" බද්ධව පවත්නේ වෙයි. මෙකී තණ්+හාව, කාමතණ්හා, භව තණ්හා, විභව තණ්හා යැයි තෙවැදෑරැම් වේ.කාම තණ්හා යනු ඇස, කණ, නාසය, දිව, සිරැර, මන, යන ඉන්ද්‍රියයන්ට ගෝචරවන මිහිරියාවට ඇලී , ගැලී. සැප ම සොයමින් ඒ පසුපස ම හඹායාමයි.නැවත නැවත විදීමේ නොතිත් ආශාවයි.නන්දි රාගයයි.භව තණ්හා (ශාස්වත දෘෂ්ඨිය) යනු ආත්ම වශයෙන් ගෙන "මම" "මාගේ" ආත්මය වශයෙන් පිළිගෙන නැවත, නැවත, දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍යාදී ආත්මවල ඉපදීමට ඇති දැඩි කැමත්තයි.එය නැවත නැවත සිහිපත් කොට එකී සතුට ප්‍රාර්ථනයයි.විභව තණ්හා ( උච්චෙද දෘෂ්ඨිය) යනු නැවත ඉපදීමක් නැතයි සිතා මේ ජීවිතයේ උපරිම සතුට භුක්ති විදීමට පෙළැඹීම හා නැවත නැවත එහිම ගැලී සිටීම වේ.කාම/භව/විභව තණ්හා පිළිබද සැබෑ තත්වය ( යථාභූත ඥානදර්ශනය ) පිරිසිද දැක්ම "සත්‍ය ඥානය" වේ. මෙම දුක නැති කළ යුතුය යන සැබෑ උවමනාව "කෘත්‍ය"ඥානයයි , දුක සහ මුලින්ම උදුරා දැමීම තුළ " කෘත" ඥානයට පත්ව ඒ බව වදාළ සේක.බුද්ධ තත්වයට පත්වන්නහු මේ සත්‍ය,කෘත්‍ය,කෘත, යන ඥාන 3 ම එක්වර අවබෝධ කරත්. අප සම්බන්ධයෙන් ගලපා ගත්විට දුකට මුල උපත හෙවත් ඉපදීමයි.ඇස, කණ, නාසය, දිව, කය, මන. යන ඉන්ද්‍රිය පහළවීමයි.

වෙන විදිහකට කියනවා නම් සොබා දහමේ ක්‍රියාවලියට අනුගත වීමයි. බුදුවරයෙකුට වුව මෙම ධර්මතාවයම පොදුවේ. මෙසේ සත්වයෙක් ඉපදීම හේතු ඵල ධර්මතාවය මතම සිදුවන්නක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.එයම විශ්ව චලන ශක්තියයි.එය වැළකීමට අපට බැරිය. එසේ නම්අප නො ඉපද ඉන්න හේතුව තම තමාම සොයාගත යුතුය. තමන් යැයි කෙනෙකු සිටී යැයි පිළි ගැනීම හෙවත් අවිද්‍යාවම මීට මුල්වේ. එසේනම් මෙම අවිද්‍යාව හෙවත් මුලාවෙන් අප මිදෙන්නේ කෙසේද? එහෙමනම් අප සතු මෙම ඉන්ද්‍රි 6 හි ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කළ යුතුය.එකක් අරගෙන විග්‍රහ කිරීම තුළින් සියල්ලම පිරිසිද දැකිය හැකි බැවින් උදාහරණයක් ලෙස "ඇස" අරගමු. ලදරැ අවධියේ වර්ණ සංඥා පමණක් හදුනා ගන්නා ඇස පසුව වයසින් මුහුකුරායත්ම දකින දේ පිළිබදව සංජානනයේ යෙදේ. ඇසත් මනසත් එකතුව දැනුම පෝෂණය වේ.වර්ණ ගැන මූලික හැදිනීම සම්මුතියෙන් අහුලා ගෙන සැබවටම නැති "රතු" පාටක් හදුනා ගනී. ඒ වෙන්කර දකී. මලක් හෝ මලක රෑපයක් දැක එය ද හදුනා ගනී.මේ දෙක එක් (සංජානනය) කොට රතු+මල දකී. එයට වැඩිහිටියෙක් "රෝස" යන නම දෙයි. දැන් ළමයා මේ සියල්ල කැටි කොට "රතු රෝස මල" එළිදක්වයි. පසුව "මගේ රතු රෝස මල" කෝ කියා ඔහු මව විමසයි. යෞවනයට පත්වක්ම ඔහු ආදරය ප්‍රකාශ කිරීමට ඇයට රතු රෝස මලක් තෑගි කළ යුතුය යන සංකල්පනාව සම්ප්‍රදාය තුළ ඇති කර ගනී.

සැබ වින්ම රතු කියා වර්ණයක් වේද? තමාගෙන්ම අසාගන්න.විද්‍යා දැනුමක් අද කුඩා ළමයෙකුට පවා ඇති නිසා ආලෝකයේ ඇති වර්ණ අතරින් උරා නොගෙන එකී වර්ණය තමා කෙරෙන් පිට කරයිද ඒ රතු පාටින් ඇසට දිස්වන බව වටහා ගෙන සිටී.ආලෝකය යනු කුමක් ද? සූර්යයා මතුපිට ඇති වායු අණු බිදීම තුළ අධික තාපයක් ඇතිවේ.එකී තාපය අභ්‍යවකාශය හරහා පෘථිවි වායු ගෝලය තරණය කරයි. එසේ පැමිණෙන තාපය වායු අණු වලින් නැවත පරාවර්ථනය කිරීම තුළ ආලෝකය ඇතිවේ.යම් කිසිවක් ඇහට යොමු කරන්නේ එම ආලෝකයයි.ආලෝකය පරාවර්ථනය නො කරන දේ නො පෙනේ.

 මෙලෙස මෙහි ඇති මුලාව එකිනෙක සිහිපත් කර දකින්න. මේ පිළිබදව සිහිය පවත්වා ගැනීම තුළ ඇසේ මායාව ඔබ දකී.(මනසින්)මෙහිදී දැනුම සමග මේ අරමුණු ගැටීම නිසා ඔබ කමැති සේ දකින දෙය තවෙකෙක් අප්‍රිය කරයි.මෙය හුදෙක් පුද්ගල භාවය මිස සත්‍ය නොවේ."මනෝමයා" යනු මනසේ මවන්නකි.ඇස හා එහි පෙනීම යන මේ ක්‍රියාවලිය ඔබ මුලාවට පත්කරයි.අන්ධයෙකුට මෙම රතු මල ගලපන්නේ කෙසේද? ( මගේ විදුහලේ අන්ධ සංගීත ගුරැවරියක සමග මම දිගු කලක් සේවය කොට ලත් අත් දැකීම් මට ඇත.ඇය චාරිකාවල අප සමග නිරතවෙයි.මගුල් උත්සව, අවමගුල් උත්සව වලට සහභාගී වෙයි.පිංතූර ඇල්බම් යන මේවා අපට වඩා හොදින් රස විදියි.

මෙයින් ගම්‍ය වන සත්‍යයක් ඇත.ඇස නැති තැන තවත් ඥාන ඉන්ද්‍රියයක් ක්‍රියාත්මක වන බවය.මූලික වර්ණ පවා බොහෝ විට 50% වඩා නිවැරැදිව ස්පර්ශයෙන්දකී.) මෙයත් සිතා බලන්න.ඇස සමග යමක් ගැටෙන පමණින්ම සංජානනයක් සිදු නොවන අවස්ථාද ඔබ අත් දැක ඇතයි සිතිය හැක. ඒ කවර නම් අවස්ථාවලද? සිතා බලන්න. හොදයි පෙර දිනයක මා බසයේ යද්දී ඈ කීප විටක්ම මා දෙස බැලූ බව අද ඇය දකින විටම මට පසක් විණි. දින කීපයක් මම මේ ගැන විමසමින් සිටියෙමි. දැන් මට ඇත්තේ සතුටකි. ඇයව දැන හදුනා ගන්නා අටියෙන් මීට කලින් ඔයා දැකල තියෙනවා වගේ මතකයි කියා හඩ අවදි කෙළෙමි.එතැනින් ඇරඹුණ මිතු දම පෙමකට පෙරලෙන්න වැඩිකල් ගත නොවුණි. පුදුමයකි. දිනෙක ඇය වෙනකෙකු සුරතේ වෙලී ඉදිරියේ දිස්වෙයි. මගේ සියොලග දහඩියෙන් තෙත්ව යයි.හද ගැස්ම වැඩිවනු දැනේ. සිරැර වෙව්ලනු දැනේ. මට මාවම පාලනය කරගන්න බැරි හැටි. මුෂ්ඨි ප්‍රහාරයක් දෙදෙනා වෙත මුදා හළෙමි.ඒත් මගේ දුක නිවුණාද? පළිගන්න තව තව හිත කියයි.එසේ කළොත් මට සිරගෙවල්වල තපින්න සිදුවන බවද පසෙක් වෙයි.මේ සියල්ල හුදු ඇස නිසාමද?

එහෙම නම් කලු කන්නාඩියක් පළදා ගෙන ඉන් මිදිය හැක.ඇසට වැට බදිනවාද?........ සිතට වැට බදිනවාද?....... මේ දෙකම ඔබට කළ නොහැක.ඇයි?........ ඇසේ කාර්ය හා ස්වභාවය එයයි. එවගේම සිතේ කාර්යය හා එහි ධර්මතාවහෙවත් සොබාව එයම බැවිනි.එහෙම නම් වරද ඇත්තේ කොහේද? සිතුවිලි ඔහේ ගලායන්න හරිනවාද? මෙතැන දී ඔබ සිත ගැන යමක් දන්නේද? එයද ඉන්ද්‍රියයකි.සිතක් ඇති නිසාම සිතන්නෙක් ද සිටී.ඒ අන් කවරෙක් නොව තමාමය.ඒ නිසා චින්තනය ඇතිවේ.

ඉන් නිදහස් වන්නේ කෙසේද? එසේ එයින් මිදෙන ආකාර ඒ ඒ පුද්ගලයන් ගේ නැණ නුවණ පදනම් කොට ගෙන විවිධ උපමා , රෑපක යොදා ගෙන අවු.45 ක්ම දේශණා කොට ඇත. ඒත් නුවණ ඇත්තා "ධම්ම' යන්න මනස් "සංඛාරයක්' බව අවබෝධ කරයි. ඉන්ද්‍රිය ආරම්මණ අල්ලා ගැනීම නිසා මෙම භවය සැකසෙන බවත්, විඤ්ඤාන බීජ හට ගන්නා බවත් දකී.ඇසෙන, පෙනෙන, දැනෙන, සිතන, යන මෙම ධම්මතාවයන්ට කතෘත්වයක් හෙවත් කරන්නෙක් ඈදා ගැනීම තුළ ඇසෙනවා..... පෙනෙනවා...... විදිනවා...... සිතනවා..... වැනි ක්‍රියා හෙවත් ක්‍රියාවලීන් බිහිකොට දුක් උපදවා ගනී. එසේ වන්නේ මෙම ඉන්ද්‍රිය මුලාවම නිසා බව තේරැම් ගැනීම, විදර්ශනය කොට අවබෝධ කිරීම, දැකීමකට පත්වීම තුල දුක මුලින්ම උදුරා දමා භවය නිරෝධ කළ හැක."

 “කම්මස්ස කාරකො නත්ථි ......
 විපාකස්සච වෙදකො
 සුද්ධ ධම්මා පවත්තන්ති ........
 ඒවෙතං සම්ම දස්සනං"

කර්ම කරන්නෙක් නැත .... විපාක විදින්නෙක් ද නැත....... ඇත්තේ සුද්ධ ධම්ම පමණි.           ( ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ යන) සම්මා දර්ශනය එයයි.

මෙම දර්ශනයට පත් වන්න විදර්ශනය හෙවත් විනිවිද දකින්න. එවිට මුලාව පහව යනු ඇත.එවිට මේ ලෝකය තුළ ඉන්ද්‍රිය වින්දනය, ආත්ම යෙන් ආත්මයට යන්න පිං පොදි සැකසීම, ඊලග ආත්මයක් නැතයි සිතා අසීමිත වින්දනය හැර පියා, අපාය, දිව්‍ය ලෝක , බුහ්ම ලෝක මනසින් අල්ලා නොගෙන අනාත්මය අවබෝධ කොට මේ දිවි ගමන තුළම සත්‍යයේ සැනසීම ලැබ දුක මුලිනුපුටා දමා, ඔබ සැම නිවී සැනසීමට පත්වේ.

ආනන්ද විජයරත්න


No comments:

Post a Comment