Monday, August 26, 2013

ජීවිතය යනු කුමක්ද?.. දකින්න... යථාර්ථය.

පෙර නොතිබීම ඇසට*චක්ඛු ධාතුව+රූපාරම්මණය හෙවත්රූපායතනය* රූප මුණ ගැහීම සමග පහළවන ධර්මතාව විඤ්ඤාණයට කියන්නේ චක්ඛු විඤ්ඤාණය*චක්ඛායතනය සැකැස්ම* =(තිණ්ණං සංගති ඵස්සෝ) +වේදනා සංඤා චේතනා තණ්හා මනසිකාර---නැවත*මනධාතුවට ධම්ම ධාතුව* මනසට අරමුණ මුණ ගැහීම සමග පහළවන ධර්මතාව විඤ්ඤාණයට කියන්නේ ම‍නෝ විඤ්ඤාණය*මනායතනය සැකැස්ම* =(තිණ්ණං සංගති ඵස්සෝ) +වේදනා සංඤා චේතනා තණ්හා මනසිකාර----------මෙම ක්‍රියාවලිය අනාත්මයි, සත්ව පුද්ගල සංඥාවෙන් තොරයි.මම යන්න මුලාවක්.
දකින දෙය ස්ථිර ලෙසම තියෙනවා යන මුලාවෙන් තොරවන්නට නම් යම් සම්මුති නමකින් ස්වභාවයකින් තොරව දකින්නට නම් පෙනෙන විටම අදහස විය යුත්තේ මේ දැකීම පෙර නොතිබීම හටගෙන එතැන ම ඉතිරි නැතිව අවසන් වන බවත් නැවත සිහිවෙනවා නම් එය මනසේ මුලාවක්මයි යනුවෙනි.මනසින් සිහිකිරීමේදී ද මනසද පෙර නොතිබීම හටගෙන එතැන ම ඉතිරි නැතිව අවසන් වන බවත් නැවත නැවත අඛණ්ඩව මේ සිද්ධාන්තය සිදුවීම බව වටහාගත යුතුය. ආයතනයෙන් ආයතනය මෙසේ සිදුවෙයි.
ඇස- මාංශ චක්ෂුසය (සම්මුතිය තුළ පමණක්හමුවේ)-
(පරමාර්ථ විමසීමේදී)-චක්ඛු ධාතුව-චක්ඛු ඉන්ද්‍රිය- මෙය සතර ධාතු නොවේ.
සම්මා දිට්ඨිය ඇතිවීමට මෙසේ වඩමු
දකින සියල්ල ඇසේ ස්පර්ශය ලෙසද,(චක්ඛු සම්පස්සය)
ඇසෙන සියල්ල කණේ ස්පර්ශය ලෙසද,(සෝත සම්පස්සය)
නාසයට දැනෙ ගන්ධයෝ සියල්ල නසයේ ස්පර්ශය ලෙසද,(ඝාණ සම්පස්සය)
දිවට දැනෙන සියල්ල දිවේ ස්පර්ශය ලෙසද,(ජිව්හා සම්පස්සය)
කයට දැනෙන පහස් සියල්ල කයේ ස්පර්ශය ලෙසද,(කාය සම්පස්සය)
සිතුවිලි සියල්ල මනසේ ස්පර්ශය ලෙසද,(මනෝ සම්පස්සය)
ජරා මරණ
මේ මොහොතේ ඇතිව නැතිව යන ධර්මතාව වන ඒ ඒ ආයතන 6 තුළ පංචුපාදනස්කන්ධ සැකසීමත්
ආයතන 6 සැකසීමත් (චක්ඛායතන සෝතායතන.....මනායතන)
හේතු යෙදෙන කොට ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන නිසා ඵලය ද අවසන් (සන්තතිය නිසා මෙය නොපෙනේ)
ඉහත ජරා මරණ ලෙස ප්‍රපංච ඔස්සේ මේ මොහොතේ පැනවෙන සියල්ල සිහිකරන්න එලෙසින්ම.
ඇති බවට හෝ නැති බවට මේ මොහොතේ හමුවන සියල්ල දෙස විමසිලිමත්වන්න. ඇසට හමුවන වර්ණ සටහන හැර වෙන යමක් තිබේද? ඒ ඔස්සේ සිතින් පනවා ගන්නා හැඩ තලය ප්‍රමාණය වටිනාකම් කැමැත්ත අකැමැත්ත ආදිය තිබුනේ ගොඩනැගුනේ කොහේද? සිතේය.
එසේනම් දකින සියල්ල ඉදිරියේ මුලා නොවිමට දකින මොහොතේම සිතන්න සියල්ල වර්ණ සටහන් ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
ඇසෙන සියල්ල ඉදිරියේ මුලා නොවිමට අසන මොහොතේම සිතන්න සියල්ල ශබ්ද රූප ලෙසත්, සද්දායතන ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
නාසයට දැනෙන ගන්ධයන් සියල්ල ඉදිරියේ මුලා නොවිමට නාසයට ගන්ධයන් දැනෙන මොහොතේම සිතන්න සියල්ල ගන්ධ ධාතුව හෙවත් ගන්ධ රූපය ලෙසත්, ගන්ධායතන ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
දිවට දැනෙන රස සියල්ල ඉදිරියේ මුලා නොවිමට රස දැනෙන මොහොතේම සිතන්න සියල්ල රස ධාතුව ලෙසත්,රසායතනය ලෙසත් රස රූපය ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
කයට දැනෙන පහස සියල්ල ඉදිරියේ මුලා නොවිමට කයට පහස දැනෙන මොහොතේම සිතන්න සියල්ල පොට්ඨබ්බය ලෙසත්, පොට්ඨබ්බායතනය ලෙසත්
පොට්ඨබ්බ රූපය ලෙසත් ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
සිතෙන සියල්ල ඉදිරියේ මුලා නොවිමට හිතෙන මොහොතේම සිතන්න සියල්ල සංකල්පනා ලෙසත්, මනායතනය ලෙසත්, විත්තජ රූප ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
සම්මා සංකල්පයන් ගෙන ලෝකය දකින්න. (නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා)
පරිහරණය කරන සියල්ලෙහි ආශ්වාදයන්ට වඩා ආදීනව වැඩි ලෙසින් දැක නිස්සරණයන්ට හිත තබන්න.
සංඤා විපල්ලාසයන්ගෙන් තොරව දකින්න. සැප ලෙස නොව දුක් වශයෙන්ද, සුබ ලෙස නොව අසුභ වශයෙන්, නිච්ච ලෙස නොව අනිච්ච වශයෙන්, ආත්ම ලෙස නොව අනාත්ම වශයෙන් දකින්න.
මහා භූත හා උපාදාය රූප කිසිවක් ආත්ම ස්වභාවයට අයත් නැති වග දකින්න
රූපය මනසේ හුදු මායාවක් පමණි. වර්ණ ධාතු ඔස්සේ හැඩ තල මනසින් ගනිමින් බාහිරින් දැකීම අවිද්‍යාවයි.
ලෝකය නමින් මේ මොහොතේ මනසට හමුවන හේතු යෙදෙන කොට ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන සියල්ල මනසේ මායාවන් පමණි.
කාල පරාශයන් ගෙන බලන්න. ඊයේ නම් වූ දවස කෝ? එය හුදු සංකල්පයක් පමණක් නොවේද? අතීතය නිරුද්ධය. අනාගතය තවම පැමිණ නැත. එය ද හුදු මනකඃල්පිතයක්මය. ඒ දෙකම මේ මොහොතේ සිතුවිලි මාත්‍රයන්ය. තත්පරයෙන් තත්පරය ගෙවි ගෙවී යනවා ඒවා එකතුවෙනවා කියා දෙයක් තිබේද? එය මනසින් හදාගෙන එකතුකරගෙන විනාඩිය පැය දවස සතිය මාසය අවුරුද්ද නමින් සංකල්ප ගොඩ නැගීම උන්මත්තක පෘතග්ජන ස්වභාවය නෙවේද? සැබෑවටම (ඇති බවට හෝ නැති බවට හෝ ) මේ මොහොත තුළ පමණක් අත්දකින ලෝකයක් ජීවිතයක් මිස කිසිවක් නැත.
සිහියෙන් වර්තමානයේහරි මැදම හිදින්න. මේ මොහොතේ යෙදෙන ධර්මතාවට සිත තබන්න. එය වේගවත් ක්‍රියාවලියක් වුවද එහි වේගය ගැන සිතීම අනවශ්‍යය. සත්‍ය ලෙසින් ම සිදුවන ධර්මතාව මෙනෙහි කරන්න. ඒ ලෝකයන් කෙරෙහි කළකිරීම ඇති වන තුරු නුවණින් විමසන්න.
මේ මොහොතේ ඇතිව නැතිව යන සිතුවිලි මිස කාලත්‍රයක් පනවා ගැනීම පුද්ගලභාවයේ ඇති අවිද්‍යා සහගත දෝෂයන්ය. මේ මොහොතේ ඇතිව නැතිව යන සිතුවිලි වලින් මිස ලෝකයක් අපට කිසිකලෙක අන් ක්‍රමයකට මුණ නොගැහේ.
යමක් හෝ දෙයක් හෝ පුද්ගලයෙක් හෝ සිදුවීමක් සිහිකිරීම හුදු සංකල්පයක් පමණක් නොවේද? හේතුව (එවැන්නක් ඇති බවට මනසට එන්නේ මුලා ස්වභාවය නිසාය) ඇති බවට හෝ නැති බවට මේ මොහොතේ ගොඩනැගෙන සිතිවිලි මාත්‍රය යෙදෙනවා නම් පමණක් ඒවා ඇති බවට හෝ නැති බවට මේ මොහොතේ හමුවේ. ඒවාද ඇති බවට හෝ නැති බවට මේ මොහොතේ ම අවසන් වේ.
දැකීම දැකීම් මාත්‍රය පමණි. එම දැක්ම මනසින් යළි සිහිකිරීම ප්‍රපංච බවට පත්වේ.දැකීම මුලාවෙන් නම් මුලාවට පත් ප්‍රථිපල හමුවේ.

Sunday, August 25, 2013

“ සසර “ සැබවටම ඇත්තේ කොහේද?

“ සසර “ සැබවටම ඇත්තේ කොහේද?

August 25, 2013 at 12:41pm
අද උදයේ රෑපවාහිනී නාලිකාවක් හරහා දේශණයක් කළ වියත් හිමිනමක් පැවසූයේ අප සසර වශයෙන් හදුනාගත් දේ ඇත්තේ සිතුවිලි සමග බවත්, එය මේ ජීවිතකාලයේ අත්දකින දෙයක් බවය.මේ ගැන විමසීමක් මේ ලිපියෙන් කරන්න අදහස් කරමි.නුවණැත්තෝ කන් යොමත්වා! පළමුව “සසර‘ යන්නෙහි අරුත මදක් විමසා බලමු.විවිධ අරුත් තිබෙන්නට හැක. මා දක්නේ ඉබේ සාරවත් වීම ,හෙවත් “ස්වයංසාර“ වීම “සසර“ බවයි. එය එලෙස සිදුවන්නේ කෙසේදැයි බලමු. මෙලොවට බිහිවූ අප ඇස,කණ, නාසය,දිව.කය, මන, වශයෙන් ඇති ඉන්ද්‍රියයන් එකකට එකක් සමෝධානව ගන්නා අරමුණු අප ඉදිරියට මෙහෙයවන ගාමක  බලයයි. එනිසා ඒවා ඉන්ද්‍රියායතන වශයෙන් ගැනීම ඉතාම නිරවද්‍ය වේ.මේ නිසා මානවයා අන් සතුන් පරදවා තම බලය මිහිමත තහවුරු කොට සිටී.එම චෛතසික බලය නිසා ලොව ආගම්, දර්ශන, දාර්ශනික මතිමතාන්තර, ආකල්ප, සංකල්ප, මතවාද, දෘෂ්ඨි, විද්‍යා, යනාදිය මානව සංහතිය කෙරෙන් බිහිවිය.                                               සිත ගැන විවරනයක් සපයන බුදුසමය  මෙය ශරීරයක් නැති, දුරගමන් ඇති, ගුහාවක සැගව ඇති, දෙයක් ලෙස විවරණය කරයි. මේ සිත එක මොහොතක එක තැනක රදවා ගැන්ම අසීරු කරුණකි. බුදු සමයට සමකාලීනව සිත සමාධිගත කොට ධ්‍යාන වඩවා අහසින් පවා යාමේ පෙළහර දැක්වූ ආචාර්යවරුන් වූ බව පොතපතේ දසහන්ව ඇත. සිදුහත් මහ බෝසතාණෝ පවා ඔවුන් ගෙන් කිහිප දෙනෙකු හමුව ඔවුනගේ ක්‍රම ශිල්ප හදාරා පරතෙර දුටු බව පෙල දහම කියයි. එහෙත් එතුමාට හමුනොවූ දෙය මරණය ජය ගැන්මයි. ඒ සදහා තුමූම අනුගමනය කළ ක්‍රමවේද අත්හදා බලමින් අවසන එම මාවත පසක්කෙළේය.                                         එය එවකට එදා සමාජයේ මුල් බැස තිබූ ආත්මවාදය (ශාස්වත) ආත්මයක් නැත..... ( උච්ඡේද වාදය ) යන දෙකම පිළිකෙව් කළ එකක් වීය. උන්වහන්සේ පෙන්වා දුන්නේ ආත්මයක් වෙනුවට පවත්නා ධර්මතාවයකි. මේ ධර්මතාවල පහළවීම උන්වහන්සේ “ ජාති ‘ ලෙස අරුත් ගැන්වූ අතර එම ධර්මතාවල අඛණ්ඩ වෙනස්වන ස්වභාවය “ ජරා “ ලෙස හදුන්වා දුනි. මේ ශුද්ධ ධර්මතාවයන් ගේ  විපරීතය “මරණ“ ලෙස අවබෝධ කොට ගන්නා ලදී. මේ තුළ කරන්නෙක් හෝ කරවන්නෙක් නොමැතිවීම මේ දහමේ සුවිශේෂි බවට හේතුවිය. කම්මස්සකාරකො නත්ථි.... (කර්ම හෙවත් ක්‍රියා කරන්නෙක් නැත)විපාකස්සච වෙදකො...       (විපාක විදින්නෙක් ද නැත )සුද්ධ ධම්මා පවත්තන්ති...    ( ආපෝ.තේජෝ,වායො,පඨවි.. යන සුද්ධ ධර්මතා පමණක් විද්‍යමානවේ )එවෙතං සම්ම දස්සනං ...     ( සම්ම්‍යක් දර්ශනය මෙය වේ )එනිසාම මෙය “ ලෝක ධම්මතාවය ‘ ලෙස වඩාත් ප්‍රචලිත විණි. කතාබහට ලක්විණි.                             මෙය වේදාන්ත දහමට පටහැණි වූ දහමක් නිසා  එම දහමට නැඹුරුව සිටි මහණ,බමුණෝ, එකී දහමේ පූර්වාංග යන් මේ තුළට ඔබ්බවන ලදී.ඒ සදහා පෙළ දහමට පසු කාලීනව  විවිධ නිරුක්ති, අට්ඨකතා සැපයිණි. බුද්ධ භාෂිතය යට යමින්  නැවතත් ඉපිදෙමින් මිය යමින් ගමන් කරන බියකරු “සසරක්“ලෙසට දක්කවමින් ආත්ම දහමකට නැවත මග හෙළිකළහ. අද එයින් ගැලවී ගත හැක්කේ මේ මග නැණ නුවණින් පිරික්සූ සීමිත පිරිසකට පමණය. ඔවුන් මේ ජීවිතය තුළම නිවුනාහුය. අන් අය කෙළවරක් නොදත් බියකරු සසරක අනාගත හින දකිමින් මේ ලැබුවාවූ මිනිස් ආත්මය ඊට යටකොට දුකේම ගැලි සිටිත්.  එකී මගෙහි යන අයට අතීත දුක් වේදනා ඇත. සිහින මවන අනාගතය ලංකර ගත නොහැකිව අප්‍රමාණ වේදනා ඇත. මේ දෙක ගැනම සිතමින් එළැඹි මොහොතද නිකරුනේම කා දමත්.                                සිත නැති තැනක කය නොපවත්නා බවද , කය නොමැති තැනක සිත නොපවත්නා බවද, මේ දෙක එකකට එකක් බැදී යමින් සසර සාදන බව ද නොරහසකි. අතීතය ඇත්තේද සිත තුළ සිහිනයක් ලෙසිනි.අතීත සිදුවීම් අල්ලාගෙන වෙදනාවට පත්වීම නිශ්ඵල දෙයකි. අනාගතය පැමිණෙමින් තිබේ. එය අප සැළසුම් කළ පරිදි , හිතන පතන පරිදි, ඉටුවේදැයි කාට නම් කිව හැකිද? අසේ නම් නොඑළැඹ් අනාගතය තැන කල්ඇතිව සිහින දැකීමත් , පැතුමන් බොදවී යාම තුළ දුකටපත්වීමත් නිශ්ඵල ක්‍රියාවකි. එසේ නම් ඇත්තේ කුමක්ද? මේ එලැඹි මොහොතයි. පච්චුප්පන්නයයි.ඒ තුළ සිහියෙන් විසීමයි ඇවැසිවන්නේ.මේනිසා නොඑළැඹි අනාගතය අල්ලා නොගෙන සිටිම මේ භවයේ කෙළවර වේ. අතීතයත් , අනාගතයත් නිශ්ඵල බව දැක නුවණින් අත්හරින්නා නිවුනාවෙයි. සසර නැවතුවා වෙයි.  සැමට අවබෝධයම වෙත්වා! ඒ තුළ නිවෙත්වා!     
Ananda Wijayarathna
                            

Friday, August 23, 2013

“ අකාලිකො භගවතො ධම්මො “ ( භාග්‍යවතුන් වහන්සේ ගේ දහම කාලයට හසු නොවන්නකි )

August 23, 2013 at 11:21am
                                  විදුදරයන් මෑතක් වනතුරුම විශ්වයට ආරම්භයක් හා වයසක් ඇතැයි අනුමාන කළහ. එහෙත් අද එබන්දක් නැති වග තහවුරු කරගෙන ඇත. නමුත් දැනට වර්ෂ 2600කට පමණ පෙර බුදුහිමියන් තම දහම අතීත, වර්තමාන, අනාගත, යන කාල 3ටම අයත් නොවන එකක් බවත්, ඇත්තේ ක්ෂණිකව වෙනස්වන “ පච්චුප්පන්නයක් (ක්ෂණයක්) “ බවත් තම නුවණින් පිරික්සා බලා දෙවා වදාළහ. මෙම ධර්මතාවය වක්‍රාකාරයට හේතු + ප්‍රත්‍ය , මත “ජාති“ “ජරා“ “මරණ“ වශයෙන් අඛණ්ඩව  ගමන්කරනා එකක් බව පිරිසිද වදාළහ. එහි ඇරඹුමක්, නැවැත්මක්, අවසානයක්. නැතිකම නිසාම එය අකාලික දහමක් විණි.                               

මෙහි “ ජාති “ යනු ධර්මතාවයන් ගේ පහළවීමයි. භූතවීමයි. .....  “ජරා“ යනු ඒවායේ ක්ෂණයක් පාසා සිදුවන වෙනස් වීමයි.  “මරණ“ යනු විනාශයයි. මේ කොතැනින් පටන්ගත්තත්... ඇරඹුමකි .... අවසානයකි. පොට වරදවා ගත් අප “ ජාතිය“ යනු පුද්ගලයෙකු ගේ ඉපදීම ලෙසත්,  “ජරාව “ යනු කාලයා ගේ ඇවෑමෙන් වයසට යාම ලෙසත් , “මරණය “ යනු එම පුද්ගලයා ගේ අවසානය බවත් මුලාව තුළ වටහාගෙන සිටිමු.         මේ නිසා “සිරිබිරිස්“ ට උප්පැන්නය අනුව උපන් වෙලාවක් ඇත..... මියගිය වෙලාවක් ඇත. ඒ දෙක අතර ඔහු අවු.80ක් ආයු වළදා ඇත. මේ සිරිබිරිස් “ආයුපාල“ වී නව උපතක් ලබයි.සිරිබිරිස්ව සිටි කාලයේ කළ, කී , දේ විපාක ආයුපාල වී ගෙවයි. මෙය          “ සංසාරය “ ලෙස  විස්තර කරන අපේ යතිවරු බුදු හිමියන් ගේ “ අනාත්ම දහම“....... ආත්ම දහමක්..... බවට පෙරළා ඇත.
මෙය කාගේ වුවමනාවට කොයිකාලයේ සිදුවුණිදැයි අප නොදනිමු. ඒ ගැන කිසිදු වගවිභාගයක් නැතිව ගිරවු මෙන් කට පාඩමෙන් අද ද ටික දෙනෙකු හැර දේශණා කරනු ඇසේ.              

 “ බුද්ධ ධර්මය “.... විශ්ව සාධාරණ දහමකි. ඊට අයිතිකාරයෝ නැත. කැමති කෙනෙකුට එව,.. බලව.. කියා දැක්වූවෙකි. තම තම නැණ නුවණින්ම මිස කවුරු හෝ කිවු පළියට පිළි නොගෙන තමා තුළ හා තමා අවට දකිමින් , විමසමින් , ගවේෂණය කොට ඇත්ත ඇති සැටියෙන් වටහාගත යුත්තකි. එය හරියට රන්කරුවෙක් නියම රන් දැයි පරීක්ෂාකරන අයුරින් සිදු කරනලෙසටයි ධර්මාවවාදය.                 මුලු විශ්වයටම මෙම ජාති,ජරා,මරණ, යන ධම්මතාවය පොදුවේ. කරන්නෙක් හෝ කරවන්නෙක් නොමැතිව එකිනෙකට හේතු ප්‍රත්‍ය වෙමින් කාලයට හසු නොවන අනවරත වක්‍රාකාර ගමනක් යෙයි. එය උප්පාද+වය (  = ධම්මිනො =  ධම්මතාවය)  , ආකාරයට අතොරක් නැතිව උපත හා කැටුව විපත ද රැගෙන එන්නෙකි. (පසු කලෙක ආත්ම දහමක් නිපද වීමට “ උප්පාද“ ... “තිථි“... “ භංග“ .. ලෙස පැවැත්මක් කාලය සමග  තිර කළහ.) මෙකී අනිත්‍යතාවය ජීව, අජීව, සැමට පොදු වූවෙකි. බීජයක් සිටුවා , ඵලයක් ලබන්න කාලයක් ගතවෙන බව අප දකිමු. එහෙත් බීජය පැලවි, ගසක් වි , අතු ඉති.මල්,පල. දරා සිදුවන මේ වෙනස ... ජරා ලෙස නොදකිමු. ධම්මතාවයන් ගේ හැසිරීමේ ඵලයක් ලෙස මේ ඉබේ සිදුවන බව පසක් නොකරමු.       

මේ දහම තම තම නැණ නුවණින් විමසා බලා තිරකොට දත් අය “ තමා “ කියා කෙනෙකු නැති බවත්, පවත් නේ අපට වෙනස් කළ නොහැකි , අපේ කැමැත්තට අනුව නොපවතින , හුදු ධර්මතාවයක්ම බවත්, එය බුදු,පසේ බුදු, මහ රහත් . සැමටද පොදුවූවක් බවත් දැක ඒ ගැන කම්පානොවී ඉබේ සිදුවන එම ක්‍රියාවලියට අනුගත වෙමින් නිවි සැනසිල්ලේ පසුවෙත්.                                                                            
බුදු හිමියන් පිලිකෙව් කළ ආත්මීය වේදාන්ත දහම අද පවා පිලිගන්නා උදවිය මරණින් මතු උපතකට ලකලෑස්ති වෙති. එනිසාම ඔවුනට උපතක් ඇත, ජීවත්වන කාලයක් ඇත, ලෙඩ දුක් ඇත,  බියකරු මරණයක් ඇත. එනිසාම දුක උරුම කොට ඇත. ඉපිදෙමින් , මියෙමින්, නැවත උපදිමින් යන බියකරු සසරක් ඇත.        

බුදු හිමි ගේ අකාලික වූ අනාත්ම වූ දහම හරියාකාරව වටහා ගත් අය පවතින ධර්මතාවයන්ට අනුගත වෙමින් ඒ ගැන කම්පා නොවෙමින් ජීවිතය තුළම සුගතිගාමීවෙත්. අන් අය බුදු හිමියන් අනුමත නොකළ ආත්මීය දහමක බියකරු සසරක හීන දකිමින් ,අපාය,දිව්‍ය ලෝක,දකිමින් , ..... ප්‍රේත, කුම්භාණ්ඩ, සුර,අසුර, බ්‍රහ්ම දකිමින් ,දොළ පිදේනි, පුද පඩුරු දෙමින් යාතිකා කරවමින් දහසක් කරදර මැද්දේ ජීවිතය කාලකන්ණි කොට ගෙන දුගතිගාමී වෙත්.   
(  බුදු සමය ප්‍රඥාවන්තයින්ට පමණකි. මෙම සත්‍ය දර්ශනය එවන් අයටයි. )
ආනන්ද විජයරත්න(විශ්‍රාමික විදුහල්පති)

Thursday, August 22, 2013

විඤ්ඤානය නිසා නාම රූප පවතීද?......... නාමරූපනිසා විඤ්ඤානය පවතීද ?

විඤ්ඤානය නිසා නාම රූප පවතීද?
^^^^^^^^^^^^^^^^^^^
නාමරූපනිසා විඤ්ඤානය පවතීද ?
^^^^^^^^^^^^^^^^^^^
එකකට එකක් හේත්තුකොට තබා ඇති බටදඩු මිටි දෙකක් එකක් නිසා අනික නොවැටී පවතී. එකක් ඉවත් කරනවිට අනෙක බිමවැටේ. මේ අයුරිනුයි විඤ්ඤාන හා නාම/රූප පවත්නේ. එකක් නැති තැනක අනෙක නැත.
එනිසා කවුරු හෝ ආත්මයෙන් ආත්මයට ගමන් කරන විඤ්ඤානයක් ඇතැයි පැවසුවොත් “සාති“නම් භික්ෂුව බුදු හිමියන් විසින් එසේ ප්‍රකාශ කිරීම තුළ ගර්හාවට ලක් කළ සේ අප විසින්ද එසේ පවසන්නා ගර්හාවට ලක්කළ යුතුවේ.
අප ගෙවන මේ ජීවනගමන තුළම මිස මෙම සම්බන්ධය පරලෝකයකට බැදෙන හුයක් නොවේ.

කලල රුවකට විඤ්ඤානය ඇතුලුවේද?

මළවුන්ට පිංපෙත් පැමිණවීම ආත්ම දහම කරපින්නාගැනීමක් නොවන්නේද?

මළවුන්ට පිංපෙත් පැමිණවීම ආත්ම දහම කරපින්නාගැනීමක් නොවන්නේද?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
බෞද්ධ ජනසමාජයේ බොහෝ දෙනා කටයුතු කරන්නේ ආත්මවාදී සිතුම් පැතුම් අනුවය. ඒ ගැන පැහැදිලි වන්නේ ආත්මයෙන් ආත්මයට සසරෙහි යෑමට තිබෙන ආශාව නිසා නොයෙක් ප්‍රාර්ථනා ඇතුව කරනු ලබන පින්කම් වලිනි. මෙයින් සනාථ වන්නේ පුනරුප්පත්ති සංකල්පය අනුව, මිය යන පුද්ගලයාගේ ආත්මය මේ ආත්මයෙන් ඊළඟ ආත්මයට යන බව බොහෝ බෞද්ධයන්ගේ පිළිගැනීම වී ඇති බවයි.

මළවුන්ට පින් අනුමෝදනා කිරීමේ දී ද සම්පූර්ණ විශ්වාසය තබා කටයුතු කරන්නේ, මිය ගිය පුද්ගලයාගේ ආත්මයම නැවත කොහේ හෝ උප්පත්තියක් ලබා ඇති හෙයින්. මේ අනුමෝදනා කරන පින ඔහුට ලබා ගත හැකි බවට ය. බුදුසමය තුළට ඉතා සියුම් ලෙස ආත්මවාදය පෑල දොරින් ඇතුල් කිරීමට කෙසේ හෝ තිරෝකුඩ්ඩ සූත්‍රය ද පෙළ පොතට ඇතුළත් කර තිබේ. අනාත්මය හා තම තමුන් කරන කුසල අකුසල කර්ම විපාක තම තමුන් විසින්ම විඳිය යුතු ය. තමාට පිහිට තමාය යන බුද්ධ වචනයත් සමග තිරෝකුඩ්ඩ සූත්‍රය පිළිගත හැකි දැයි විමසා බැලීම මැනවි. අනුව මෙලොවදීත් “මම” යනුවෙන් සත්වයෙක් පුද්ගලයෙක් නැත්නම්, ආත්මයක් නැත්නම්, පුනරුප්පත්තියක් නොමැතිනම් මැරුණු පුද්ගලයාම නැවත උපදින්නේ කෙසේද? බුදුන් වහන්සේ අනාත්ම ධර්මය දේශනා කළේ කුමන හේතුවක් නිසා ද? මේ ගැන සිතා බැලීමට බෞද්ධයා උනන්දුවිය යුතු ය.

ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය බුදුන් වහන්සේ අනාත්ම ධර්මයෙන් ලොවට අනාවරණය කළේ කරන්නෙක් කරවන්නෙක් නොමැතිව හේතු ප්‍රත්‍ය අනුව කෙරෙන සිදුවීමක් (වීමක්) ගැන ය. අනාත්ම ධර්මයේ මූලික අරමුණ ආත්ම දෘෂ්ටියෙන් ශ්‍රාවකයා මුදාගැනීමයි. බෞද්ධයකු තුළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මේ ලක්‍ෂණය ගැන හොඳ අවබෝධයක් නිතැනින්ම තිබිය යුතු ය. බුද්ධිය වැඩි දියුණු කිරීම පිණිස ප්‍රගුණ කටයුතු මාර්ගය ආර්ය මාර්ගයයි. ආර්ය මාර්ගය වැඩීම පිණිස ත්‍රිලක්‍ෂණය උපකාර වේ.‘

ඉංගිරිය සුදම්පාය ධර්මායතනවාසී,
බෝකුන්දර කුසලධම්ම හිමි.

Wednesday, August 7, 2013

සත්වයා ආවේ කොහිසිටද? .... මරණින් පසු යන්නේ කොහාටද?



සත්වයා ආවේ කොහිසිටද? .... මරණින් පසු යන්නේ කොහාටද?( හිනිදුම ශීලවිමල විමිපාණෝ )
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

ගසින් ගසට ඉගිලී යන කුරුල්ලකු මෙන් ශරීරය අතහැර ගොස් වෙනත් ශරීරයක් කරා යන ආත්මයක් බුදු දහමේ නැත. ඇත්තේ නාම,රූප,පරම්පරාවකි. අපට කයේ වෙනස්වීම ප්‍රකටව දකින්න හැකි වුවත් එහි පරමාර්ථ වූ පඨවි ආදී රූප ධාතුවල වෙනස්වීම ශුද්ධ විදර්ශන නුවණින් පමණයි දැකිය හැක්කේ. එය දැකීමට කයේ වෙනස්වීම දැකීම මහෝපකාරී වේ.
සිත හා චෛතසික හෙවත් නාමයද පරම්පරාවකි. මෙහි සත්වයෙක් , පුද්ගලයෙක්, ආත්මයක්,ඇත්තේය යන දෘෂ්ඨිය වැරදිය.

වෙනස්වන ධර්මතාවක එබදු නොවෙනස්වන ස්ථිර දෙයක් පෙන්වීමට නොහැකිය.ගංගාවේ ජලය උපමා කොට ඒ දකිමු. එහි ඇත්තේ වේගයෙන් ගලායන ජල ප්‍රවාහයකි. එක තැනකදී ස්පර්ශ කළ එම ජලයම නැවත එම තැනම සිට ස්පර්ශ කළ නොහැකිය. ඇයි? මුලින් ස්පර්ශ කළ ජලය ඒ වනවිට පහළට ගලා ගොස් ඉහළින් අලුත් ජලය එතැනට පැමිණ ඇති බැවිනි.
එලෙසම “ නාම“ හා “රූප “ යෝද ඇති වෙමින් නැති වෙමින් යන ප්‍රවාහයකි.
එහි මේ වේදනාව ..... මමය....
මේ සිත ...............   මමය .....
මේ සංඥාව ............   මමය....
මේ සංඛාරා ...........   මමය .....
මේ රූපය ............    මමය....
යනුවෙන් ගත හැකි ස්ථිර දෙයක් නැත.

හේතු නිසා ඇති වූ එම වේදනා... සංඥා .... සංකාර...... රූප.... ආදිය හේතු නැතිකළ විට නිරුද්ධවේ. වරක් ඇල්ලූ ගංගා ජල ප්‍රවාහයේ ජලය නැවත අල්ලන්න බැරිවූවා සේම එම.... වේදනා... සංඥා.... සංකාර .... රූප... ආදිය නිරැද්ධ වී නැවත නව වේදනා... සංඥා.... සංකාර.....රූප ආදිය පහළවෙමින් නව පරම්පරාවක්.... ප්‍රවාහයක් සේ ..... දිගින් දිගටම නිවන් දකින තුරු පවතී.


( හිනිදුම ශීලවිමල හිමියන් “නිහඩ සිත“ පෝස්ට් එකක් සදහා කළ පැහදිළ කිරීමකි.උන්වහන්සේට හේතු නිරුද්ධ කළ අම නිවනම සාක්ෂාත් වේවා! )