Friday, June 28, 2013

සචිත්ත පරියෝ දපනං _\-^-/_


සම්මා සම්බුද්ධ ශාසනය යනු කවරේද?

“ සබ්බ පාපස්ස අකරණං -  කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං      -  ඒතං බුද්ධානුශාසනං .,,

( සියලුම අකුසලයන් දුරුකොට කුසලයන් වැඩිදියුණු කරගනිමින්
තම සිත සංවරකර ගැන්ම බුදුහිමි ගේ අනුශාසනයයි. )

     
අප අද මෙය පහසුවට “බුද්ධාගම,, වශයෙන් ප්‍රකාශ කරමු.
මෙහිදී “ආගම,,  යන්න පළමුව විමසමු. අද හින්දු, ඉස්ලාම්, කිතුණු, යන ආගම් ගැන මදක් විමසමු. ඒවායේ සර්වබලධාරී දෙවියෙක් ඇත. දේව වාක්‍ය ඇත. ඒවා හරි හෝ වැරදිවේවා නොවිමසා පිළිගත යුතුව ඇත. ඒවා ඉක්මවා යාම දේව උදහසට හේතුවේ.ඒවායේ ස්ත්‍රෝත්‍ර ගායන ඇත. වත් පිළිවෙත් හා පුද පූජා ඇත.ඒ දෙවියන් සතුටු කිරීමටය. දෙවියන් සතුටු කළ තරමට ස්වර්ගයේ දොර විවරකර ගැන්මට ඉඩ කඩ වැඩිය.


 බුදු දහම නිදහස් චින්තනයකි. නීති රීති හෝ බලපෑම් මත කළයුතුමයැයි යමෙක් නැත. මෙය කළොත් මෙවන් ප්‍රතිඵල ඇත. කිරීම හෝ නොකර සිටීම තම මනාපය පරිදිය. හේතු ඵලවාදීය. භක්තිවන්ත වීමක් නැත. බුදු හිමි මග විවරකොට ඇත. එහි යාම නොයාම අභිමතය පරිදිය. තමා කවරේදැයි විමසමින් ඇත්ත ඇති සැටියෙන් දැකගන්න පාර පෙන්වා ඇත. එය යථාභූත ඥාන දර්ශනය ලෙස වදාරා ඇත. ලෝකය විමසමින් තමාද මේ ධර්මතාවයේම කොටසක් බව වටහා ගන්න අපට මග විවර කොට ඇත. එක් වරක් නොව කීප වරක්ම නිදහස්ව සිතා බලා මේ දහම දැක ගන්නා ලෙසයි බුද්ධ අවවාදය. රන් කරැවෙක් නියම රන්දැයි පරීක්ෂා කරන්න යම් යම් පරීක්ෂණ කරන්නාක් මෙන් ආර්ය පර්යේෂණ මගින් දහම සොයාබලා විමසා පිළිගන්නා ලෙසට බොහෝවිටම අනුබල දෙයි. “කිං සච්ච ගවේෂී,, යනු එම විමසීමේ මාවතයි.

 මෙසේ ආගමික ලක්ෂණ ඉක්මවා ඇති හෙයින් බුදුසමය තවත් එක් ආගමක්ම නොවන්නේය. බුද්ධ ශාසනය අර්ථ ගන්වා ඇත්තේ “ සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධානු ශාසනං“ යනුවෙනි. එහි අරුත මනා ලෙස දමනය කළ සිතම බුද්ධ ශාසනය ලෙසයි.. එම නිසාම බුදු දහම වෙනත් ආගම් හා එක්ව සසදා ගත නොහැකි සත්‍යයයේ මාවතක් හෙයින් මෙය “දහම,, .......නැතහොත් “ලෝක ධම්මතාවය“ ලෙස දැකීම උචිතවේ.(සෝම හිමි දේශණා)
 කාලාන්තරයක් තිස්සේ බුදුසමය තුළට හින්දු ආභාෂය මුසුවීමෙන් ස්තෝත්‍ර ගායනයට .... භක්ති ගීත ගායනයට ආත්මලාභය පතා පුදපූජා පැවැත්මට අදත් බොහෝ දෙනා නැඹුරැව සිටී. එයට බොහෝවිට හේතු කාරක වී ඇත්තේ ආත්ම ලාභය තකා කළ විකෘත ක්‍රියාදාමයන්ය. අද දවසේ අභාග්‍යය එයයි. ඒ මදිවට වානිජ රැල්ලට හසුවෙමින් “ව්‍යාපාර,, බවටද දහම නතුව යමින් පවතී. ව්‍යක්ත දේශකයෝ එකිනෙකා පරයමින් ජනප්‍රියත්වය මත මුදල් අයකරමින් මහා පිංකම් සංවිධාන කරමින් අති මහත් වූ පිරිස ඥාන මාර්ගයෙන් ඉවතට දක්කමින් සිටිනු දැකිය හැක. “මනෝ පුබ්බංගමා ධම්මා,,...... සියල්ලට මනස පූර්වාංගමවේ... යන්න බෞද්ධ තේමාවයි. එය හුදෙක් කල්පනා කිරීමට එහා ගිය වින්තනයකි. පුහුණුවකි. මේ තුළ දහම් මාවතට පය ගසන්නට (ශීලබ්බත පරාමාෂ) ශීල හා වෘත සමාදානය අතහැරිය යුතුය. එසේම ‘අස්මිමානය, හෙවත් මම වෙමි....( සක්කාය දෘෂ්ඨිය. ) යන තැනින් මදක් හෝ ඔබ්බට යායුතුය. එවිට දහම් මග විවරවේ. “පුද්ගලයෙක් නැති බව,  නුවණින්ම වටහාගන්න හැකි සමතෙක් වේද එවිට පෙළ දහමේ ඇති ආකර්ෂණීය කතාන්දර ( සාමුක්ඛන්ෂික දේශණා ) , එසේම අතීත, වර්තමාන , අනාගත , කාලත්‍රයයන් ඉවතලා දහම හෙවත් ධර්මතා කවරේද යන්න අවබෝධ කරයි. එවිට ඉන්ද්‍රිය ලෝකයෙන් ඔබ්බට ගොස් සීමා මායිම් බිද ඇත්ත දකී.
 බොහෝ විටෙක “මම,,  යන මායාවෙන් මිදීම අපට අමාරුය. මෙහිදී අප මනස කුඩාකළ සිට හැඩගස්වා ඇත්තේ “මගේ අම්මා“...“මගේ බෝලය,, ... “ මගේ පාසැල,, ...යන මමංකාරය තුළය. මේ සිරුර මගේය.. එය ඇත්තක් දැයි විමසමු.

මගේ දේවල් මට ඕන විදිහට පවත්වන්න බැරිනම් ඒක මගේ වෙන්නේ කෙහොමද? ලෙඩවෙයි... වයසට යයි.... වෙනස්වෙයි.... එයට ඕන විදිහට සිරුර පාලනය කරයි. ඇත්තේ ඉඩ දී බලා සිටීම පමණකි. හිසට යන රුධිරයේ ඔක්ෂිජන් හීන වත්ම ඔබ නොසිතාම සිරුර හරහ දමයි.(ක්ලාන්තය ) රෝග කාරකයක් පැමිණිවිට ඔබ නොවිමසා ප්‍රතිචාර දක්වයි. පරිසරයට ගැලපෙන අයුරු ඔබව වෙනසකට භාජනය කරවයි. හිරු උෂ්ණත්වය යාමනය කරන්න ඩහදිය යොදාගනී. ....


මේවා ගැන ඔබ මෙතෙක් මොහොතකට හෝ හිතුවාද?දැන් හෝ ඔබ බුද්ධ වචනයට සවන් දියයුතුව ඇත. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, යන ත්‍රිලක්ෂණය වටහා ගත යුතුය...... ජීව,අජීව,සියලු දෑ මේ තුළය. පවත්නා නිශ්චිත දෙයක් නැත. එලෙස ඇති බව සිතුවිල්ලක් පමණි. මතකය තුළ ඔබ ඊයේ ජීවත්ව සිටියායැයි සිතේ. ඇත්තටම ඊයේ කියා දවසක් වීද? මදක් විමසන්න. එය පිළිගැනීමක්ම නොවන්නේද? කාලය යනු මායාවක් නොවේද? බුද්ධ වචනය “ උප්පාද + වය ධම්මිනෝ,,.... ය. අදහස උපත හා විපත එක්වර පැමිණීම ධර්මතාවය බවයි. ආත්ම වාදයක් ජනිත කළ අය තම උවමනාවට “ උප්පාද...(උපත)..... තිථි (පැවැත්ම)..... භංග          ( විනාශය) කියා මැදට පැවැත්මක් එක් කළහ.

එනිසා අවුරැදු 80 ක් ආයු වළදා අපවත්වෙයි. වැළදූ දෙයක් නැත. තිබූයේ හුදෙක් වෙනස්වීමය. අඹ ඇටයක් සිටුවා ගසක් පැල කොට ගෙඩියක් කන්න කාලයක් බලා සිටිය යුතු බව චින්තනයේ ඉන්න අපට පෙනේ. දැනේ. අප නොදකින්නේ ඇටය තුළ සිදුවන රසායනික වෙනස් කම්... පැලය ලොකු වෙන්න කරන උත්සහයන්... පළිබෝධ වලින් බේරෙන්න යොදන උපක්‍රම ... ජලය, පෝර වැනි සාධක පරිවහනය.. මලක් හට ගැන්වීම... පරාගන උපක්‍රම ... ගෙඩියක් මේරීම... බීජයක් නිමවා ඊලග පරපුර සූදානම් කිරීම යන මේ දෑය. මේවා අවම වේග කැමරාවලින් හසු කොට දකින්න අපට හැකිය.
අපද වයසට යන්නේ මේ අයුරින්ම නොවේද? පැවැත්මක් කොහේද? නැවත්මක් කොහේද? නැත. අති ධාවන ගමනක අප යෙදී සිටිමු.( ලහු පරිවත්තං චිත්තං - සිත  සීඝ්‍ර පරිවර්ථනය ) මේවා කරවන දේවල් නොවේ. සිදුවන දේවල්ය. එනිසා එය ලෝක ධම්මතාවය ලෙස හදුනා ගමු. මහා භූත එකිනෙක සංයෝජනයෙන් හේතු භූතව නිරන්තර සංස්කරණය වෙමින් ඉන්ද්‍රිය ලෝකය මවාපායි. ඒ තුළ බුදු වරු පහළවෙත්. අවසන ඊටම එක්වෙත්. එනිසාම තමන් වදාළ දහම මිස වෙනයමක් ගුරැකොට නො ගන්නා ලෙස අවවාද කර ඇත. මෙය සංතතික දහමක් වන්නේ එබැවිනි. එනිසා පුද්ගලයන් එකි නෙකා බැදී සිටිත්. ඔබ කරන දේ විපාක ඔබට පමණක් නොව මටද බලපායි. මතුපිටින් වෙන් වෙන්ව දකින පුද්ගලයෝ සිටියත් අප හැම එකම සංතතියක වේ.

ජලයෙන් පැන නැගුන දිය බුබුලක් බිදී විසිරී එම ජලයටම එක්වේ. එකී ජලයෙන්ම තව දිය බුබුලක් පැන නගී. මෙය පෙර පැවැති බුබුලම යැයි ඔබ කියන්නේද? එය එසේ විය නොහැක. එසේ නම් ජලය නොවන්නේද? ඒත් විය නොහැක. ඇයි ? දිය බුබුලු දෙකටම පොදුවූයේ මෙම ජලයම බැවිනි. අප සිරුරද එම ජලයෙන්ම නිර්මිතය. ඔබ දැල්වෙන ඉටිපන්දමක් පිහිට කොට ගන්න . එය දැල්වෙන්නේ ඉටි වාෂ්ප හා වායුව ප්‍රයෝජනයට ගනිමිනි. අපත් උපයෝගී කරගන්නේ පරිසර සාධකමය. නිබද සිදුවන මෙම හේතුකාරණා නිසා “සසර ,, පවතී. “භවය,,.... පවතී. පුනර් භවය යනුද මේ ජීවනමග ක්‍රියාදාමයක් බව මේ කියවන විට පසක්වේ.

 එහෙනම් අප අපට ඕනෑ විදිහට ජීවත්වෙමු. මොකටද මේ ආගමක් කියා අසන අය සිටී..... ඒ වෙලාවට මම කියන්නේ හොදයි ඔබට ඕන විදිහට ජීවත්වන්න පුලුවන්දැයි බලන ලෙසය. අප සංතතියක් නිසා එකිනෙකා ගේ ක්‍රියාකාරකම් මානව සමාජයට දරාගන්න බැරි විටෙක ගැටලු පැන නගී. මෙයද හේතු ප්‍රත්‍යකාරකවේ. එනිසා එදාට වඩා අද සිත දමනය ඉතාම වැදගත්වේ. අද පවතින අපරාධ රැල්ල එම චිත්ත සමාධිය නැතිවීමේ ප්‍රථිඵලයක් මිස වෙන මොකක්ද? එකී දමනය ඇති කරවාලන්න වර්තමාන බොදු පිළිවෙත් ප්‍රයෝජනයක්වීද?
පෝදා පොසොන් දේශණයක් ලන්ඩන් වල සිට පැවැත් වූ හිමිනමක් වදා ළේ එම නගරයේ හිතුමතේ පාර පනින අයවත්, තරගයට රිය පදවන රියදුරන්වත්,තමා නොදුටු බවය. එසේම කුණු කසල බිදක් දුටුවිට ඒවා අදාළ භාජනයකට හෙළා තම ගමන යන දරු පිරිසක් ද , එහි තමා දකින බවය....... නිවේදකයා ඊට හේතු විමසූ ව්ට එම හිමිනම කීවේ, ඒවා ගෙදරින් පාසැලෙන් ලද පුහුණු බවය. දැන් එහෙම නම් බුදු දහම කුමක්ද? වැටහේ. තම සිත දමනය කර නිසි මග යාම නොවේද?

මහා දන්පින් කිරීමට වඩා, අවශ්‍ය අයට ඒ බෙදා හදා දීමය. නිකන්ම සරණං ගච්චාමි නොකියා එම බුදු සුවද තමා තුළට අවශෝෂණය කර ගැනිමය. ලෙඩුනට , නැතිබැරි අයට ප්‍රතිඋපකාර නොබලා සැළකීමය. එයයි නියම බුද්ධ වන්දනාව. එයම තමා සිත සැනසීම. “සංතුට්ඨීච පරමං ධනං,, (සතුට පරම ධනයයි) ඔබ වපුරන දේම අස්වැන්න සේ පෙරලා ඔබට ලැබෙන බව නිති සිහියේ තබාගන්න.ඔබට එවිට තෙරුවනේම සරණ ලැබෙනු නොඅනුමානය.
ඔබ සැමට තෙරුවන් සරණම වෙත්වා!!!


ආනන්ද විජයරත්න (andaw)


.

No comments:

Post a Comment