Wednesday, June 26, 2013

__( )__ තිමිර පටලය

ගොනාට පෙර කරත්තය යාම
බුදු හිමියන් පැවසුවේ දහම තමා තුළට එබි බලා හදුනා ගන්නා ලෙසයි. ...... මෙය මෙනෙහි කිරීමක් ලෙස සදහන් වුවත් ඉන් අදහස් වන්නේ අතීතයට ගියදෙයක් නැවත සිහිකිරීමක් නොවේ. තමන්ම තමා ගැන .... තම ඇතුළතාන්තය ගැන ස්වයං අවබෝධයක් ලබා ගැන්මය. එය අපහසු කටයුත්තක් නොවේ. සිත + කය එකට බැදී ඇත්තේ තණ්හා නමැති රැහනකිනි. එය කඩා මේ දෙක වෙන් කරන්න ඔබට හැකිද? එවිට මේ දෙක දෙකක් වශයෙන් දැනේ. එය දකින්නේ ප්‍රඥාවෙනි. පොත පත දැනුමෙන් නොවේ. අප පළමුකොට අපව රවටන ඉන්ද්‍රිය මායාව වටහාගත යුතුවේ. මෙම ඉන්ද්‍රිය කෙතරම් ප්‍රාථමිකද?

 ඇසට ඇසවත් දැකගන්න බැරිය.
 
මොනයම් හෝ වස්තුවක් නෙත ගැටුනාට එය දක්නට ආලෝකයක් ඇවැසි වේ. කණ ගැන වුවත් කිවයුතුව ඇත්තේ බල්ලෙකුට ඇසෙන හඩ අපට නෑසෙන බවය. ඔබ සවනට බෙර ශබ්දයක් ඇසේ. බෙරයෙන් අත ඉවතට ගත් වහාම හඩ නෑසී යයි. එයයි ඇත්ත.

 හැම ඉන්ද්‍රියයක්ම මායාකාරී වේ.එවන් සිතකින් , කයකින් සත්‍ය දැකිය හැකිද? එහෙම නම් මේ ඇත්ත , ලෝක සත්‍යය.. අප ඉන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නවාද? ඊට එහා ගිය දෙයක් යොදා ගන්නවාද? ඒ මොකක්ද? මදකට විමසන්න. ඒ බලය ඇත්තේද, ඔබ තුළම මිස බැහරක නොවේ.


මේ සදහා භාවනාව කෙතරම් උචිතද?
 අප අනුදක්නා බෞද්ධ භාවනාව තුළ කයේ හා මනසේ බන්ධනය තව තව වැඩිකරයි. ගැලවීමක් ඇත්තේම නැත. සිදුහත් බෝසතාණෝ වසර 6 ක් අෂ්ඨ සමාපත්ති ආදී එවකට තිබූ දේ වල ඇලී ගැලී සිට ඒවායේ නිසරු බව දැක අත්හැර තුමූම ස්වයං අවබෝධයෙන් තිමිර පටල ගලවා දමා බුද්ධත්වය පසක් කළ සේක. ඒ මග අපටද විවරකළ සේක. අද අපට ඇත්තේ ඒ මග යාම පමණි. පළමුව මදක් හෝ “මම“ කියන තැනින් ඔබ්බට පය තැබිය යුතුය. එවිට බුද්ධ ගුණය ඔබ තුළට කාන්දු වන්න පටන්ගනී. එය පෙර ඔබ සිටිය තැන හෝ දැන් ඉන්න තැන නොවේ. ආර්යදර්ශනයයි. බුදුන් දැකීමයි. එවිට මග පැහදිළිවන්න පටන් ගනී. ඔබ මෙතෙක් සිටි මුලාව දුරුවේ. අදුර ටික ටික ඉවත්වේ. ඉන්ද්‍රිය ලෝකයෙන් ඔබ්බෙහි ඇති ලොවක් ඔබට දෘෂ්‍යමානවේ.


ඇත්තේ ධර්මතා මිස වෙන යමක් නොවන බව දකී. සත්ව සංතතියක් මිස ඔබ හා මම කියා වෙන්කොට ගන්නා බැමි ලිහේ. මෙතෙක් අදුරේ අත පත ගෑ ඔබට නවමු මාවතක් විවරවේ.

ඔබ පළමුව ආර්ය වී ආර්ය මාර්ගයේ යනු විනා........... “ආර්ය මාර්ගයේ“ ගොස් සත්‍ය දකිනවා යන්න “ගොනාට පෙර කරත්තය යාමක් වැනිය. මෙම මුලාව වැරදි දේශණ හා අර්ථ කථන නිසාවෙනි.

සැමට සම්බෝධිය පහළවේවා!



ආනන්ද විජයරත්න



No comments:

Post a Comment