“ සසර “ සැබවටම ඇත්තේ කොහේද?
අද උදයේ රෑපවාහිනී නාලිකාවක් හරහා දේශණයක් කළ වියත් හිමිනමක් පැවසූයේ අප සසර වශයෙන් හදුනාගත් දේ ඇත්තේ සිතුවිලි සමග බවත්, එය මේ ජීවිතකාලයේ අත්දකින දෙයක් බවය.මේ ගැන විමසීමක් මේ ලිපියෙන් කරන්න අදහස් කරමි.නුවණැත්තෝ කන් යොමත්වා! පළමුව “සසර‘ යන්නෙහි අරුත මදක් විමසා බලමු.විවිධ අරුත් තිබෙන්නට හැක. මා දක්නේ ඉබේ සාරවත් වීම ,හෙවත් “ස්වයංසාර“ වීම “සසර“ බවයි. එය එලෙස සිදුවන්නේ කෙසේදැයි බලමු. මෙලොවට බිහිවූ අප ඇස,කණ, නාසය,දිව.කය, මන, වශයෙන් ඇති ඉන්ද්‍රියයන් එකකට එකක් සමෝධානව ගන්නා අරමුණු අප ඉදිරියට මෙහෙයවන ගාමක බලයයි. එනිසා ඒවා ඉන්ද්‍රියායතන වශයෙන් ගැනීම ඉතාම නිරවද්‍ය වේ.මේ නිසා මානවයා අන් සතුන් පරදවා තම බලය මිහිමත තහවුරු කොට සිටී.එම චෛතසික බලය නිසා ලොව ආගම්, දර්ශන, දාර්ශනික මතිමතාන්තර, ආකල්ප, සංකල්ප, මතවාද, දෘෂ්ඨි, විද්‍යා, යනාදිය මානව සංහතිය කෙරෙන් බිහිවිය. සිත ගැන විවරනයක් සපයන බුදුසමය මෙය ශරීරයක් නැති, දුරගමන් ඇති, ගුහාවක සැගව ඇති, දෙයක් ලෙස විවරණය කරයි. මේ සිත එක මොහොතක එක තැනක රදවා ගැන්ම අසීරු කරුණකි. බුදු සමයට සමකාලීනව සිත සමාධිගත කොට ධ්‍යාන වඩවා අහසින් පවා යාමේ පෙළහර දැක්වූ ආචාර්යවරුන් වූ බව පොතපතේ දසහන්ව ඇත. සිදුහත් මහ බෝසතාණෝ පවා ඔවුන් ගෙන් කිහිප දෙනෙකු හමුව ඔවුනගේ ක්‍රම ශිල්ප හදාරා පරතෙර දුටු බව පෙල දහම කියයි. එහෙත් එතුමාට හමුනොවූ දෙය මරණය ජය ගැන්මයි. ඒ සදහා තුමූම අනුගමනය කළ ක්‍රමවේද අත්හදා බලමින් අවසන එම මාවත පසක්කෙළේය. එය එවකට එදා සමාජයේ මුල් බැස තිබූ ආත්මවාදය (ශාස්වත) ආත්මයක් නැත..... ( උච්ඡේද වාදය ) යන දෙකම පිළිකෙව් කළ එකක් වීය. උන්වහන්සේ පෙන්වා දුන්නේ ආත්මයක් වෙනුවට පවත්නා ධර්මතාවයකි. මේ ධර්මතාවල පහළවීම උන්වහන්සේ “ ජාති ‘ ලෙස අරුත් ගැන්වූ අතර එම ධර්මතාවල අඛණ්ඩ වෙනස්වන ස්වභාවය “ ජරා “ ලෙස හදුන්වා දුනි. මේ ශුද්ධ ධර්මතාවයන් ගේ විපරීතය “මරණ“ ලෙස අවබෝධ කොට ගන්නා ලදී. මේ තුළ කරන්නෙක් හෝ කරවන්නෙක් නොමැතිවීම මේ දහමේ සුවිශේෂි බවට හේතුවිය. කම්මස්සකාරකො නත්ථි.... (කර්ම හෙවත් ක්‍රියා කරන්නෙක් නැත)විපාකස්සච වෙදකො... (විපාක විදින්නෙක් ද නැත )සුද්ධ ධම්මා පවත්තන්ති... ( ආපෝ.තේජෝ,වායො,පඨවි.. යන සුද්ධ ධර්මතා පමණක් විද්‍යමානවේ )එවෙතං සම්ම දස්සනං ... ( සම්ම්‍යක් දර්ශනය මෙය වේ )එනිසාම මෙය “ ලෝක ධම්මතාවය ‘ ලෙස වඩාත් ප්‍රචලිත විණි. කතාබහට ලක්විණි. මෙය වේදාන්ත දහමට පටහැණි වූ දහමක් නිසා එම දහමට නැඹුරුව සිටි මහණ,බමුණෝ, එකී දහමේ පූර්වාංග යන් මේ තුළට ඔබ්බවන ලදී.ඒ සදහා පෙළ දහමට පසු කාලීනව විවිධ නිරුක්ති, අට්ඨකතා සැපයිණි. බුද්ධ භාෂිතය යට යමින් නැවතත් ඉපිදෙමින් මිය යමින් ගමන් කරන බියකරු “සසරක්“ලෙසට දක්කවමින් ආත්ම දහමකට නැවත මග හෙළිකළහ. අද එයින් ගැලවී ගත හැක්කේ මේ මග නැණ නුවණින් පිරික්සූ සීමිත පිරිසකට පමණය. ඔවුන් මේ ජීවිතය තුළම නිවුනාහුය. අන් අය කෙළවරක් නොදත් බියකරු සසරක අනාගත හින දකිමින් මේ ලැබුවාවූ මිනිස් ආත්මය ඊට යටකොට දුකේම ගැලි සිටිත්. එකී මගෙහි යන අයට අතීත දුක් වේදනා ඇත. සිහින මවන අනාගතය ලංකර ගත නොහැකිව අප්‍රමාණ වේදනා ඇත. මේ දෙක ගැනම සිතමින් එළැඹි මොහොතද නිකරුනේම කා දමත්. සිත නැති තැනක කය නොපවත්නා බවද , කය නොමැති තැනක සිත නොපවත්නා බවද, මේ දෙක එකකට එකක් බැදී යමින් සසර සාදන බව ද නොරහසකි. අතීතය ඇත්තේද සිත තුළ සිහිනයක් ලෙසිනි.අතීත සිදුවීම් අල්ලාගෙන වෙදනාවට පත්වීම නිශ්ඵල දෙයකි. අනාගතය පැමිණෙමින් තිබේ. එය අප සැළසුම් කළ පරිදි , හිතන පතන පරිදි, ඉටුවේදැයි කාට නම් කිව හැකිද? අසේ නම් නොඑළැඹ් අනාගතය තැන කල්ඇතිව සිහින දැකීමත් , පැතුමන් බොදවී යාම තුළ දුකටපත්වීමත් නිශ්ඵල ක්‍රියාවකි. එසේ නම් ඇත්තේ කුමක්ද? මේ එලැඹි මොහොතයි. පච්චුප්පන්නයයි.ඒ තුළ සිහියෙන් විසීමයි ඇවැසිවන්නේ.මේනිසා නොඑළැඹි අනාගතය අල්ලා නොගෙන සිටිම මේ භවයේ කෙළවර වේ. අතීතයත් , අනාගතයත් නිශ්ඵල බව දැක නුවණින් අත්හරින්නා නිවුනාවෙයි. සසර නැවතුවා වෙයි. සැමට අවබෝධයම වෙත්වා! ඒ තුළ නිවෙත්වා!
Ananda Wijayarathna
Ananda Wijayarathna
No comments:
Post a Comment