Friday, August 23, 2013

“ අකාලිකො භගවතො ධම්මො “ ( භාග්‍යවතුන් වහන්සේ ගේ දහම කාලයට හසු නොවන්නකි )

August 23, 2013 at 11:21am
                                  විදුදරයන් මෑතක් වනතුරුම විශ්වයට ආරම්භයක් හා වයසක් ඇතැයි අනුමාන කළහ. එහෙත් අද එබන්දක් නැති වග තහවුරු කරගෙන ඇත. නමුත් දැනට වර්ෂ 2600කට පමණ පෙර බුදුහිමියන් තම දහම අතීත, වර්තමාන, අනාගත, යන කාල 3ටම අයත් නොවන එකක් බවත්, ඇත්තේ ක්ෂණිකව වෙනස්වන “ පච්චුප්පන්නයක් (ක්ෂණයක්) “ බවත් තම නුවණින් පිරික්සා බලා දෙවා වදාළහ. මෙම ධර්මතාවය වක්‍රාකාරයට හේතු + ප්‍රත්‍ය , මත “ජාති“ “ජරා“ “මරණ“ වශයෙන් අඛණ්ඩව  ගමන්කරනා එකක් බව පිරිසිද වදාළහ. එහි ඇරඹුමක්, නැවැත්මක්, අවසානයක්. නැතිකම නිසාම එය අකාලික දහමක් විණි.                               

මෙහි “ ජාති “ යනු ධර්මතාවයන් ගේ පහළවීමයි. භූතවීමයි. .....  “ජරා“ යනු ඒවායේ ක්ෂණයක් පාසා සිදුවන වෙනස් වීමයි.  “මරණ“ යනු විනාශයයි. මේ කොතැනින් පටන්ගත්තත්... ඇරඹුමකි .... අවසානයකි. පොට වරදවා ගත් අප “ ජාතිය“ යනු පුද්ගලයෙකු ගේ ඉපදීම ලෙසත්,  “ජරාව “ යනු කාලයා ගේ ඇවෑමෙන් වයසට යාම ලෙසත් , “මරණය “ යනු එම පුද්ගලයා ගේ අවසානය බවත් මුලාව තුළ වටහාගෙන සිටිමු.         මේ නිසා “සිරිබිරිස්“ ට උප්පැන්නය අනුව උපන් වෙලාවක් ඇත..... මියගිය වෙලාවක් ඇත. ඒ දෙක අතර ඔහු අවු.80ක් ආයු වළදා ඇත. මේ සිරිබිරිස් “ආයුපාල“ වී නව උපතක් ලබයි.සිරිබිරිස්ව සිටි කාලයේ කළ, කී , දේ විපාක ආයුපාල වී ගෙවයි. මෙය          “ සංසාරය “ ලෙස  විස්තර කරන අපේ යතිවරු බුදු හිමියන් ගේ “ අනාත්ම දහම“....... ආත්ම දහමක්..... බවට පෙරළා ඇත.
මෙය කාගේ වුවමනාවට කොයිකාලයේ සිදුවුණිදැයි අප නොදනිමු. ඒ ගැන කිසිදු වගවිභාගයක් නැතිව ගිරවු මෙන් කට පාඩමෙන් අද ද ටික දෙනෙකු හැර දේශණා කරනු ඇසේ.              

 “ බුද්ධ ධර්මය “.... විශ්ව සාධාරණ දහමකි. ඊට අයිතිකාරයෝ නැත. කැමති කෙනෙකුට එව,.. බලව.. කියා දැක්වූවෙකි. තම තම නැණ නුවණින්ම මිස කවුරු හෝ කිවු පළියට පිළි නොගෙන තමා තුළ හා තමා අවට දකිමින් , විමසමින් , ගවේෂණය කොට ඇත්ත ඇති සැටියෙන් වටහාගත යුත්තකි. එය හරියට රන්කරුවෙක් නියම රන් දැයි පරීක්ෂාකරන අයුරින් සිදු කරනලෙසටයි ධර්මාවවාදය.                 මුලු විශ්වයටම මෙම ජාති,ජරා,මරණ, යන ධම්මතාවය පොදුවේ. කරන්නෙක් හෝ කරවන්නෙක් නොමැතිව එකිනෙකට හේතු ප්‍රත්‍ය වෙමින් කාලයට හසු නොවන අනවරත වක්‍රාකාර ගමනක් යෙයි. එය උප්පාද+වය (  = ධම්මිනො =  ධම්මතාවය)  , ආකාරයට අතොරක් නැතිව උපත හා කැටුව විපත ද රැගෙන එන්නෙකි. (පසු කලෙක ආත්ම දහමක් නිපද වීමට “ උප්පාද“ ... “තිථි“... “ භංග“ .. ලෙස පැවැත්මක් කාලය සමග  තිර කළහ.) මෙකී අනිත්‍යතාවය ජීව, අජීව, සැමට පොදු වූවෙකි. බීජයක් සිටුවා , ඵලයක් ලබන්න කාලයක් ගතවෙන බව අප දකිමු. එහෙත් බීජය පැලවි, ගසක් වි , අතු ඉති.මල්,පල. දරා සිදුවන මේ වෙනස ... ජරා ලෙස නොදකිමු. ධම්මතාවයන් ගේ හැසිරීමේ ඵලයක් ලෙස මේ ඉබේ සිදුවන බව පසක් නොකරමු.       

මේ දහම තම තම නැණ නුවණින් විමසා බලා තිරකොට දත් අය “ තමා “ කියා කෙනෙකු නැති බවත්, පවත් නේ අපට වෙනස් කළ නොහැකි , අපේ කැමැත්තට අනුව නොපවතින , හුදු ධර්මතාවයක්ම බවත්, එය බුදු,පසේ බුදු, මහ රහත් . සැමටද පොදුවූවක් බවත් දැක ඒ ගැන කම්පානොවී ඉබේ සිදුවන එම ක්‍රියාවලියට අනුගත වෙමින් නිවි සැනසිල්ලේ පසුවෙත්.                                                                            
බුදු හිමියන් පිලිකෙව් කළ ආත්මීය වේදාන්ත දහම අද පවා පිලිගන්නා උදවිය මරණින් මතු උපතකට ලකලෑස්ති වෙති. එනිසාම ඔවුනට උපතක් ඇත, ජීවත්වන කාලයක් ඇත, ලෙඩ දුක් ඇත,  බියකරු මරණයක් ඇත. එනිසාම දුක උරුම කොට ඇත. ඉපිදෙමින් , මියෙමින්, නැවත උපදිමින් යන බියකරු සසරක් ඇත.        

බුදු හිමි ගේ අකාලික වූ අනාත්ම වූ දහම හරියාකාරව වටහා ගත් අය පවතින ධර්මතාවයන්ට අනුගත වෙමින් ඒ ගැන කම්පා නොවෙමින් ජීවිතය තුළම සුගතිගාමීවෙත්. අන් අය බුදු හිමියන් අනුමත නොකළ ආත්මීය දහමක බියකරු සසරක හීන දකිමින් ,අපාය,දිව්‍ය ලෝක,දකිමින් , ..... ප්‍රේත, කුම්භාණ්ඩ, සුර,අසුර, බ්‍රහ්ම දකිමින් ,දොළ පිදේනි, පුද පඩුරු දෙමින් යාතිකා කරවමින් දහසක් කරදර මැද්දේ ජීවිතය කාලකන්ණි කොට ගෙන දුගතිගාමී වෙත්.   
(  බුදු සමය ප්‍රඥාවන්තයින්ට පමණකි. මෙම සත්‍ය දර්ශනය එවන් අයටයි. )
ආනන්ද විජයරත්න(විශ්‍රාමික විදුහල්පති)

No comments:

Post a Comment