Friday, August 23, 2013

“ අකාලිකො භගවතො ධම්මො “ ( භාග්‍යවතුන් වහන්සේ ගේ දහම කාලයට හසු නොවන්නකි )

August 23, 2013 at 11:21am
                                  විදුදරයන් මෑතක් වනතුරුම විශ්වයට ආරම්භයක් හා වයසක් ඇතැයි අනුමාන කළහ. එහෙත් අද එබන්දක් නැති වග තහවුරු කරගෙන ඇත. නමුත් දැනට වර්ෂ 2600කට පමණ පෙර බුදුහිමියන් තම දහම අතීත, වර්තමාන, අනාගත, යන කාල 3ටම අයත් නොවන එකක් බවත්, ඇත්තේ ක්ෂණිකව වෙනස්වන “ පච්චුප්පන්නයක් (ක්ෂණයක්) “ බවත් තම නුවණින් පිරික්සා බලා දෙවා වදාළහ. මෙම ධර්මතාවය වක්‍රාකාරයට හේතු + ප්‍රත්‍ය , මත “ජාති“ “ජරා“ “මරණ“ වශයෙන් අඛණ්ඩව  ගමන්කරනා එකක් බව පිරිසිද වදාළහ. එහි ඇරඹුමක්, නැවැත්මක්, අවසානයක්. නැතිකම නිසාම එය අකාලික දහමක් විණි.                               

මෙහි “ ජාති “ යනු ධර්මතාවයන් ගේ පහළවීමයි. භූතවීමයි. .....  “ජරා“ යනු ඒවායේ ක්ෂණයක් පාසා සිදුවන වෙනස් වීමයි.  “මරණ“ යනු විනාශයයි. මේ කොතැනින් පටන්ගත්තත්... ඇරඹුමකි .... අවසානයකි. පොට වරදවා ගත් අප “ ජාතිය“ යනු පුද්ගලයෙකු ගේ ඉපදීම ලෙසත්,  “ජරාව “ යනු කාලයා ගේ ඇවෑමෙන් වයසට යාම ලෙසත් , “මරණය “ යනු එම පුද්ගලයා ගේ අවසානය බවත් මුලාව තුළ වටහාගෙන සිටිමු.         මේ නිසා “සිරිබිරිස්“ ට උප්පැන්නය අනුව උපන් වෙලාවක් ඇත..... මියගිය වෙලාවක් ඇත. ඒ දෙක අතර ඔහු අවු.80ක් ආයු වළදා ඇත. මේ සිරිබිරිස් “ආයුපාල“ වී නව උපතක් ලබයි.සිරිබිරිස්ව සිටි කාලයේ කළ, කී , දේ විපාක ආයුපාල වී ගෙවයි. මෙය          “ සංසාරය “ ලෙස  විස්තර කරන අපේ යතිවරු බුදු හිමියන් ගේ “ අනාත්ම දහම“....... ආත්ම දහමක්..... බවට පෙරළා ඇත.
මෙය කාගේ වුවමනාවට කොයිකාලයේ සිදුවුණිදැයි අප නොදනිමු. ඒ ගැන කිසිදු වගවිභාගයක් නැතිව ගිරවු මෙන් කට පාඩමෙන් අද ද ටික දෙනෙකු හැර දේශණා කරනු ඇසේ.              

 “ බුද්ධ ධර්මය “.... විශ්ව සාධාරණ දහමකි. ඊට අයිතිකාරයෝ නැත. කැමති කෙනෙකුට එව,.. බලව.. කියා දැක්වූවෙකි. තම තම නැණ නුවණින්ම මිස කවුරු හෝ කිවු පළියට පිළි නොගෙන තමා තුළ හා තමා අවට දකිමින් , විමසමින් , ගවේෂණය කොට ඇත්ත ඇති සැටියෙන් වටහාගත යුත්තකි. එය හරියට රන්කරුවෙක් නියම රන් දැයි පරීක්ෂාකරන අයුරින් සිදු කරනලෙසටයි ධර්මාවවාදය.                 මුලු විශ්වයටම මෙම ජාති,ජරා,මරණ, යන ධම්මතාවය පොදුවේ. කරන්නෙක් හෝ කරවන්නෙක් නොමැතිව එකිනෙකට හේතු ප්‍රත්‍ය වෙමින් කාලයට හසු නොවන අනවරත වක්‍රාකාර ගමනක් යෙයි. එය උප්පාද+වය (  = ධම්මිනො =  ධම්මතාවය)  , ආකාරයට අතොරක් නැතිව උපත හා කැටුව විපත ද රැගෙන එන්නෙකි. (පසු කලෙක ආත්ම දහමක් නිපද වීමට “ උප්පාද“ ... “තිථි“... “ භංග“ .. ලෙස පැවැත්මක් කාලය සමග  තිර කළහ.) මෙකී අනිත්‍යතාවය ජීව, අජීව, සැමට පොදු වූවෙකි. බීජයක් සිටුවා , ඵලයක් ලබන්න කාලයක් ගතවෙන බව අප දකිමු. එහෙත් බීජය පැලවි, ගසක් වි , අතු ඉති.මල්,පල. දරා සිදුවන මේ වෙනස ... ජරා ලෙස නොදකිමු. ධම්මතාවයන් ගේ හැසිරීමේ ඵලයක් ලෙස මේ ඉබේ සිදුවන බව පසක් නොකරමු.       

මේ දහම තම තම නැණ නුවණින් විමසා බලා තිරකොට දත් අය “ තමා “ කියා කෙනෙකු නැති බවත්, පවත් නේ අපට වෙනස් කළ නොහැකි , අපේ කැමැත්තට අනුව නොපවතින , හුදු ධර්මතාවයක්ම බවත්, එය බුදු,පසේ බුදු, මහ රහත් . සැමටද පොදුවූවක් බවත් දැක ඒ ගැන කම්පානොවී ඉබේ සිදුවන එම ක්‍රියාවලියට අනුගත වෙමින් නිවි සැනසිල්ලේ පසුවෙත්.                                                                            
බුදු හිමියන් පිලිකෙව් කළ ආත්මීය වේදාන්ත දහම අද පවා පිලිගන්නා උදවිය මරණින් මතු උපතකට ලකලෑස්ති වෙති. එනිසාම ඔවුනට උපතක් ඇත, ජීවත්වන කාලයක් ඇත, ලෙඩ දුක් ඇත,  බියකරු මරණයක් ඇත. එනිසාම දුක උරුම කොට ඇත. ඉපිදෙමින් , මියෙමින්, නැවත උපදිමින් යන බියකරු සසරක් ඇත.        

බුදු හිමි ගේ අකාලික වූ අනාත්ම වූ දහම හරියාකාරව වටහා ගත් අය පවතින ධර්මතාවයන්ට අනුගත වෙමින් ඒ ගැන කම්පා නොවෙමින් ජීවිතය තුළම සුගතිගාමීවෙත්. අන් අය බුදු හිමියන් අනුමත නොකළ ආත්මීය දහමක බියකරු සසරක හීන දකිමින් ,අපාය,දිව්‍ය ලෝක,දකිමින් , ..... ප්‍රේත, කුම්භාණ්ඩ, සුර,අසුර, බ්‍රහ්ම දකිමින් ,දොළ පිදේනි, පුද පඩුරු දෙමින් යාතිකා කරවමින් දහසක් කරදර මැද්දේ ජීවිතය කාලකන්ණි කොට ගෙන දුගතිගාමී වෙත්.   
(  බුදු සමය ප්‍රඥාවන්තයින්ට පමණකි. මෙම සත්‍ය දර්ශනය එවන් අයටයි. )
ආනන්ද විජයරත්න(විශ්‍රාමික විදුහල්පති)

Thursday, August 22, 2013

විඤ්ඤානය නිසා නාම රූප පවතීද?......... නාමරූපනිසා විඤ්ඤානය පවතීද ?

විඤ්ඤානය නිසා නාම රූප පවතීද?
^^^^^^^^^^^^^^^^^^^
නාමරූපනිසා විඤ්ඤානය පවතීද ?
^^^^^^^^^^^^^^^^^^^
එකකට එකක් හේත්තුකොට තබා ඇති බටදඩු මිටි දෙකක් එකක් නිසා අනික නොවැටී පවතී. එකක් ඉවත් කරනවිට අනෙක බිමවැටේ. මේ අයුරිනුයි විඤ්ඤාන හා නාම/රූප පවත්නේ. එකක් නැති තැනක අනෙක නැත.
එනිසා කවුරු හෝ ආත්මයෙන් ආත්මයට ගමන් කරන විඤ්ඤානයක් ඇතැයි පැවසුවොත් “සාති“නම් භික්ෂුව බුදු හිමියන් විසින් එසේ ප්‍රකාශ කිරීම තුළ ගර්හාවට ලක් කළ සේ අප විසින්ද එසේ පවසන්නා ගර්හාවට ලක්කළ යුතුවේ.
අප ගෙවන මේ ජීවනගමන තුළම මිස මෙම සම්බන්ධය පරලෝකයකට බැදෙන හුයක් නොවේ.

කලල රුවකට විඤ්ඤානය ඇතුලුවේද?

මළවුන්ට පිංපෙත් පැමිණවීම ආත්ම දහම කරපින්නාගැනීමක් නොවන්නේද?

මළවුන්ට පිංපෙත් පැමිණවීම ආත්ම දහම කරපින්නාගැනීමක් නොවන්නේද?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
බෞද්ධ ජනසමාජයේ බොහෝ දෙනා කටයුතු කරන්නේ ආත්මවාදී සිතුම් පැතුම් අනුවය. ඒ ගැන පැහැදිලි වන්නේ ආත්මයෙන් ආත්මයට සසරෙහි යෑමට තිබෙන ආශාව නිසා නොයෙක් ප්‍රාර්ථනා ඇතුව කරනු ලබන පින්කම් වලිනි. මෙයින් සනාථ වන්නේ පුනරුප්පත්ති සංකල්පය අනුව, මිය යන පුද්ගලයාගේ ආත්මය මේ ආත්මයෙන් ඊළඟ ආත්මයට යන බව බොහෝ බෞද්ධයන්ගේ පිළිගැනීම වී ඇති බවයි.

මළවුන්ට පින් අනුමෝදනා කිරීමේ දී ද සම්පූර්ණ විශ්වාසය තබා කටයුතු කරන්නේ, මිය ගිය පුද්ගලයාගේ ආත්මයම නැවත කොහේ හෝ උප්පත්තියක් ලබා ඇති හෙයින්. මේ අනුමෝදනා කරන පින ඔහුට ලබා ගත හැකි බවට ය. බුදුසමය තුළට ඉතා සියුම් ලෙස ආත්මවාදය පෑල දොරින් ඇතුල් කිරීමට කෙසේ හෝ තිරෝකුඩ්ඩ සූත්‍රය ද පෙළ පොතට ඇතුළත් කර තිබේ. අනාත්මය හා තම තමුන් කරන කුසල අකුසල කර්ම විපාක තම තමුන් විසින්ම විඳිය යුතු ය. තමාට පිහිට තමාය යන බුද්ධ වචනයත් සමග තිරෝකුඩ්ඩ සූත්‍රය පිළිගත හැකි දැයි විමසා බැලීම මැනවි. අනුව මෙලොවදීත් “මම” යනුවෙන් සත්වයෙක් පුද්ගලයෙක් නැත්නම්, ආත්මයක් නැත්නම්, පුනරුප්පත්තියක් නොමැතිනම් මැරුණු පුද්ගලයාම නැවත උපදින්නේ කෙසේද? බුදුන් වහන්සේ අනාත්ම ධර්මය දේශනා කළේ කුමන හේතුවක් නිසා ද? මේ ගැන සිතා බැලීමට බෞද්ධයා උනන්දුවිය යුතු ය.

ප්‍රතීත්‍යසමුත්පාද ධර්මය බුදුන් වහන්සේ අනාත්ම ධර්මයෙන් ලොවට අනාවරණය කළේ කරන්නෙක් කරවන්නෙක් නොමැතිව හේතු ප්‍රත්‍ය අනුව කෙරෙන සිදුවීමක් (වීමක්) ගැන ය. අනාත්ම ධර්මයේ මූලික අරමුණ ආත්ම දෘෂ්ටියෙන් ශ්‍රාවකයා මුදාගැනීමයි. බෞද්ධයකු තුළ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන මේ ලක්‍ෂණය ගැන හොඳ අවබෝධයක් නිතැනින්ම තිබිය යුතු ය. බුද්ධිය වැඩි දියුණු කිරීම පිණිස ප්‍රගුණ කටයුතු මාර්ගය ආර්ය මාර්ගයයි. ආර්ය මාර්ගය වැඩීම පිණිස ත්‍රිලක්‍ෂණය උපකාර වේ.‘

ඉංගිරිය සුදම්පාය ධර්මායතනවාසී,
බෝකුන්දර කුසලධම්ම හිමි.

Wednesday, August 7, 2013

සත්වයා ආවේ කොහිසිටද? .... මරණින් පසු යන්නේ කොහාටද?



සත්වයා ආවේ කොහිසිටද? .... මරණින් පසු යන්නේ කොහාටද?( හිනිදුම ශීලවිමල විමිපාණෝ )
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

ගසින් ගසට ඉගිලී යන කුරුල්ලකු මෙන් ශරීරය අතහැර ගොස් වෙනත් ශරීරයක් කරා යන ආත්මයක් බුදු දහමේ නැත. ඇත්තේ නාම,රූප,පරම්පරාවකි. අපට කයේ වෙනස්වීම ප්‍රකටව දකින්න හැකි වුවත් එහි පරමාර්ථ වූ පඨවි ආදී රූප ධාතුවල වෙනස්වීම ශුද්ධ විදර්ශන නුවණින් පමණයි දැකිය හැක්කේ. එය දැකීමට කයේ වෙනස්වීම දැකීම මහෝපකාරී වේ.
සිත හා චෛතසික හෙවත් නාමයද පරම්පරාවකි. මෙහි සත්වයෙක් , පුද්ගලයෙක්, ආත්මයක්,ඇත්තේය යන දෘෂ්ඨිය වැරදිය.

වෙනස්වන ධර්මතාවක එබදු නොවෙනස්වන ස්ථිර දෙයක් පෙන්වීමට නොහැකිය.ගංගාවේ ජලය උපමා කොට ඒ දකිමු. එහි ඇත්තේ වේගයෙන් ගලායන ජල ප්‍රවාහයකි. එක තැනකදී ස්පර්ශ කළ එම ජලයම නැවත එම තැනම සිට ස්පර්ශ කළ නොහැකිය. ඇයි? මුලින් ස්පර්ශ කළ ජලය ඒ වනවිට පහළට ගලා ගොස් ඉහළින් අලුත් ජලය එතැනට පැමිණ ඇති බැවිනි.
එලෙසම “ නාම“ හා “රූප “ යෝද ඇති වෙමින් නැති වෙමින් යන ප්‍රවාහයකි.
එහි මේ වේදනාව ..... මමය....
මේ සිත ...............   මමය .....
මේ සංඥාව ............   මමය....
මේ සංඛාරා ...........   මමය .....
මේ රූපය ............    මමය....
යනුවෙන් ගත හැකි ස්ථිර දෙයක් නැත.

හේතු නිසා ඇති වූ එම වේදනා... සංඥා .... සංකාර...... රූප.... ආදිය හේතු නැතිකළ විට නිරුද්ධවේ. වරක් ඇල්ලූ ගංගා ජල ප්‍රවාහයේ ජලය නැවත අල්ලන්න බැරිවූවා සේම එම.... වේදනා... සංඥා.... සංකාර .... රූප... ආදිය නිරැද්ධ වී නැවත නව වේදනා... සංඥා.... සංකාර.....රූප ආදිය පහළවෙමින් නව පරම්පරාවක්.... ප්‍රවාහයක් සේ ..... දිගින් දිගටම නිවන් දකින තුරු පවතී.


( හිනිදුම ශීලවිමල හිමියන් “නිහඩ සිත“ පෝස්ට් එකක් සදහා කළ පැහදිළ කිරීමකි.උන්වහන්සේට හේතු නිරුද්ධ කළ අම නිවනම සාක්ෂාත් වේවා! )

Tuesday, August 6, 2013

අනාර්ය වූ වත් පිළිවෙත් මගින් බැහරට ගිය ආර්ය මාර්ගය.. මජ්ඣිමා පටිපදා.

බුදු හිමියන් බැහර කළ එවකට පැවතියාවූ “ආත්“ම දහම
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
ආත්මයක් ඇති තැන... කර්ම හෙවත් ක්‍රියා කරන්නෙක් ..... කරවන්නෙක් .... විදින්නෙක් ..... විදවන්නෙක්....හෙවත් පුද්ගලයෙක් / සත්වයෙක් /සිටී. එනිසාම සුර/අසුර/දිව්‍ය/බ්‍රහ්ම/මාර/ සිටී....... කාම ලෝක / රූප ලෝක / අරූප ලෝක ඇත. යථාර්ත වාදී නොවේ......... විඤ්ඤානවාදී වේ ..එනිසාම මිථ්‍යා දෘෂ්ඨික වේ..... සම්මුතික වේ.ජාති හෙවත් උත්පත්ති ඇත.... එනිසාම නාම/රූප ඇත. විදීම(වේදනා../ සුඛ/දුක්ඛ )ඇත... අතීත/අනතීත වූ කාලය පිළි ගැන්ම නිසා පැවත්ම හෙවත් තිථිය ඇත. ඒ තුළ දුක ඇත... ජරාව හෙවත් වයසට යාම ඇත.... සම්මුතික මරණයක් ඇත. කොටින්ම කියනවා ඉන්ද්‍රියමය දැනුමෙන් අල්ලාගත් .... භෞතිකමය වූ ලෝකයක් ඇත. භාෂාමය තර්ක විතර්ක ඇත. ඒ තුළ සංදේශණ / සංනිවේදන ඇත. ප්‍රතිපත්තිමය වු වැඩ පිළිවෙලවල් ඇත.
“බුද්ධ“ දේශිතයක් වූ “අනාත්ම “ දහම


ඉහත සදහන් වූ ලෝකීය දේවල් නැති හෙයින් “ ලොකෝත්තර වීය..... විඤ්ඤානවාදී නොව ඥාන දර්ශණයක්ම විය. දැනුම මත පදනම් වු චින්තනයට/දැනුමෙන් ලත් අවබෝධයට හසු නොවේ. එනිසාම ..... වාද/සංවාද, දෘෂ්ඨි නැති නිසාම සම්මා දිට්ඨිවීය. එනිසාම ද්වි අන්ත නැත. එනිසා භෞතිකමය සංකල්ප වලින් මිදි යථාර්ථවාදී දහමක් විණි. ලෝක ධම්මතාවය එතුළ ඇත. බුදුවරු ලොව පහළවුවත් නැතත් මෙම ධම්මතාවය පැවතේ. ඒ තුළ බුදුවරු පහලවෙත්.අන්තගාමිත්වයට පත්වූවනට මැද මාවතක් දැක භවය කෙළවර කොට දුක් වේදනා නිවාගෙන ගිනිගත් සසරින් එගොඩවීමට මාවත පැහදිළි කළහ. එය තේරුම් ගෙන නිවි සැනසෙන්න පිළිවන.

මැදමාවත හෙවත් අන්තගාමිත්වය හැරදා යන ඥානමය ආර්ය වූ මග

ලෝකය / පුද්ගලත්වය / කාලය / පිළිගැනීම නිසා ඇති කරගත් තණ්හා... දිට්ඨි .... මාන... දුරලා අවිද්‍යාවෙන් විද්‍යාවට පත්ව මැද මාවතේ පළමු පඩිය වූ “ සම්මාදිට්ඨියට “ පත්වේ. මෙය යටම පඩිය වුණාට තිබිය යුත්තේ ඉහළිනි. ඇයි ඉහළ සිට පහළ බලන විට සියල්ල මනාව දර්ශනය වන බැවිනි.
කදුමුදුනට නැග ගත් කෙනාට පහළ මිටියාවත යම් සේ පැහදිළිව පෙනේද එපරිද්දෙන් ආර්ය දිට්ඨියට අනුගත වූ විට එකිනෙකට සම්භුතවෙමින් පටිච්ඡ වෙමින් හේතුඵලවාදීව යන මේ ඥානදර්ණය දිස්වේ. එතුල අනෙක් සියලු ආර්යමය වූ සංකල්ප ජීවන දහම දැක පුද්ගලාර්යෙන් ඇති අනාර්ය පටිපදා හැරදමා ඒ හේතුවෙන්ම නිවෙන්න/ භව නිරෝධය කරන්න මග හසර විවරවෙයි.
නිරෝධ ධර්මය... 

ගිනිගත් ලෝකයට දෙසූ ගිනි නිවාගන්නා මගයි. භව නිරෝධය තුල පුද්ගලයෙක් පැවත්මක් නැත.
ඇත්තේ සම්බෝධියයි. (. මෙය දැනුමෙන් ලබන අවබෝධය නොවේ ..... දැනුම හැරපියා ලබන චිත්ත පාරිශුද්ධියයි.) චින්තනයෙන් බැහර වීමයි. කායික තත්වයක් නොවන නිසා සියල්ලෙන් මිදුනාවෙයි. 
“බුද්ධ“..... 

පරමාර්ථ ඇති තැන “බුද්ධ“ පහළවන්නේ නැත. 
යථාවබෝධය තුළ “බුද්ධ“ වැඩසිටී.“ 
“වක්කලී මාගේ බාහිර කය දෙස නොබලව. එය සැමගේ මෙන් ජරාවට / ලෙඩදුක්වලට/මරණයට 
ගොදුරු වන්නකි.“ එයට ලොල්වන්නේ නැතිව ඇත්ත ඇති සැටියෙන් දකින්න අප්‍රමාද වන ලෙසට අවවාද කෙරිණි.
බුදු සමය....

මෙය අධ්‍යාත්මය පිළිබද විමසන ඥානමාර්ගයකි. සිත නිවාගෙන දකින්නකි. සිතේ හැසීරීම පිලිබද විවරනයකි. සිතෙන් සිත දකින්නකි. “ මනෝපුබ්භංගමා ධම්මා ‘ .... මනස පූර්වාගමයක් කර ගත් දහමකි. සිත නමැති ඉන්ද්‍රිය.. මනස නැමති ශක්තිය කරා ගෙනියන ඥාන මාර්ගයකි. 
“සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං“.... ක්ෂණයක් පවා නොපවත්නා.... “උප්පාද“ .... සමග “වය“ හෙවත් වැනසුම එකෙනෙහිම ඇතිවන බව විද්‍යාඥයින්ට පෙර තුමූම ස්ව අවබෝධයෙන්ම දැක වදාල .... සිතේ හැසිරීමක් මිස ..... පුද්ගලාර්ථයෙන් මිදුන ආත්ම සංකල්පයෙන් බැහරට ගිය.... එනිසාම උප්පත්ති මරණ නැති යථාර්ථවාදී වූ ලෝකාර්ථය ඉක්මවූ ආර්ය මාර්ගයකි.
අද මේ මාර්ගයෙන් පිට පැන .... පුද/පූජා/ප්‍රතිපත්ති ඔස්සේ හැල්මේ දිවෙන ආත්ම සංකල්පයම ඉස්මතුකොට ගත් ආගමක් පසුපස යනුපෙනේ. ඥානමාර්ගය හැර දමා ඇත.ආර්ය වෙනුවට අනාර්ය මාවතවල් ඔස්සේ යනු පෙනේ. එයයි අවාසනාව.
සැමට ආර්ය මාවතම විවර වේවා!.........

(ආනන්ද විජයරත්න)
https://www.facebook.com/groups/mindcalm/

Sunday, August 4, 2013

ආස්ථිකවාදය(ඇත).... නාස්ථිකවාදය (නැත) යන ද්වතාවය

ආස්ථිකවාදය(ඇත)....    නාස්ථිකවාදය (නැත) යන ද්වතාවය


මෙය පුද්ගලයෙක් ඇත (සක්කාය දිට්ඨි)
පුද්ගලයෙක් ...... නැත ( උච්ඡේද දෘෂ්ඨි)

මේ දෙකම බුදු හිමියන් අනුදැන වදාරා නැත.උන්වහන්සේ ගේ දේශණාව වන්නේ කරන්නෙක් කරවන්නෙක් නොව හුදෙක් පවත්නේ ධර්මතාවයක් බවයි. ධම්මතාවය කුමක්දැයි විමසුවොත් එකකට එකක් හේතු ප්‍රත්‍ය වෙමින් සමුත්පන්නව පවත්නා තත්වයක් මිස අන් කෙනෙක් නොවේ.
මෙසේ ඇති / නැති.. අන්තවාදය වෙනුවට මේ දෙකට අතරින් යන මැද මාවතක් විවරකොට ඇත.
එහි පූර්වාංගය “සම්මා දිට්ඨියයි“... නිවැරැදි දැක්මයි. එතැන නිවරද කරගත්විට මේ ධර්මතාවය දැකීම අපහසු නොවේ.
     මෙය අපේ ඇසට, කණට, නැහයට, දිවට,කයට, සිතට දැනෙන දෙයට(සම්මුතියට) විරැද්ධව යන දෙයකි.එනිසා මෙය පෙර නොඇසූ විරූදහමක් විණි. ගිනිපෙනෙල්ල කරනවන විට ගිනිවලල්ලක් පෙනේ. බෙරයට තට්ටු කරනවිට පමණක් හඩක් නැගේ.එනිසාම මේ ඉන්ද්‍රිය මායාව මිරිගුවක් ලෙස දැකිය යුතුය.
නමුත් ඉන්ද්‍රිය අරමුණු තුළ හිරවි සිටින ජනයා ප්‍රශ්ණකරන්නේ ඇයි මේ පෙනෙන,දැනෙන,දෙය නෑ කියන්නේ. ඔල්මාදද? කියාය. ඉතින් ඒ ගැන අප කලබල නොවිය යුතුයි.බුදු හිමියන් අවු.45ක් දේශණාකොටත් වැඩි දෙනා තේරුම් නොගත්ත මේ දේ අද මෙසේ ලීවාටම පිළිගයිද? මෙය සත්‍ය යේ  දර්ශනයයි.දැක්මයි. හුදු ආගමික මතවාදයමක් නොවේ.
                         එනිසා ඇසෙන,පෙනෙන, දැනෙන දේ නැහැයි කීවාම මිනිසුන් කොහොම ප්‍රතිචාර දක්වයිද? තේරුම් ගනීවිද යන කුකුසක් බුදුන්වහන්සේට පවා ඇතිවීම සාධාරණය. ඊයේ,අද, හෙට, කියා කාලය පිළිගත් සමාජයකට “අකාලික“ දහමක් කොහොම තේරුම් කරන්නද?යන ගැටලුව උන්වහන්සේට ද  මතුවිණි. ඒ සදහා විවිධ ක්‍රමෝපායයන් ඒ ඒ පුද්ගල යන් අනුව යොදාගත් බවක් පෙණින. ඒ නිසා උපමා රූපක සමග සම්මුතික දේශණා වගේම පරමත්ත දේශණාද යොදාගැණින.
                                      නුවණැත්තෝ එහි හරයම ගත්හ. අනෙක් අය ගෙඩිය පිටින් ගත්හ. ගෙඩිය පිටින් ගත් අයට මේවා හිත නිවන කතා පමණක්ම විය. සාධුකාර දී  සත්‍යය බැහර කළහ. එදත් අදත් කවදත් මේ සත්‍ය යේ මාවත නුවණ ඇතියනටම සීමා විය. ඔවුන් වහ වහා හදුනාගත්හ. තව කෙනෙක් කළණමිතුරු ඇසුරෙන් මෙය පසුව වටහා ගත්හ. තවත් අයට මෙය කිසිදා දැක ගත නොහැකිවිය. ඔවුහු හණමිටි මිටි පිටින්ම ඔසවා ගෙන මේ ජීවන ගමන යෙත්.
                              දැනුම මනසින් අත්හැර නුවණින් සැබව වටහා ගත් අය එවෙලෙහිම නිවී සැනසී බෝධියට පත්වූහ. නිවුණහ. මෙය අත් නො හල අය නො අනුදත් සසරක බියක්, දුකක්, බරක්, ඔසවා ගෙන කසිකබල් ටින් බෙලෙක්ක ඔසවා ගෙන යන පිස්සන් මෙන් අතොරක් නැති ගමනක යෙත්. ඔවුනට මෙම ජීවිතයත් අහිමිය. ඊලග එක ද අහිමිය.
ආනන්ද විජයරත්න(andaw)