Saturday, December 21, 2013

ඔබට හතුරු හෝ මිතුරු කියා කෙනෙක් වේද?




ඔබට හතුරු හෝ මිතුරු කියා කෙනෙක් වේද?


ජීව, අජීව, ඈ සියල්ල මේ සංතතික දහමේ පුරුක් වේ. අප සැම එකිනෙකා මත යැපෙමු. මෙය සහජීවනය වශයෙන් හදුන්වමු.එක පුරුකක් බිදී ගියහොත් මේ සමබරතාවය නැතිව ගොස් එහි විපාක නොඅඩුව සැමට එක ලෙස විදින්න සිදුවේ.
සොබා දහම මැනවින් මෙම ක්‍රියාවලිය පාලනය කරමින් සමතුලිත බවක් ඇති කරයි. වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වුවහොත් ඊට ප්‍රතිචාර දක්වමින් ඒ මත යැපෙන සත්වයින් ඉදිරිකාලවල බිහිවනු ඇත.
ඩී.ඩී.ටී.නම් රසායනිකය යොදා කලක් මදුරුවන් හොදින් මර්ධනය කළත් පසුව එය උගහටවූයේ ඌ ඊට ප්‍රතිචාර දක්වමින් ඔරොත්තු දෙන්න හැකියාවක් ඇතිකරගැනීම නිසාවෙනි. ඊට පසුව මෙලතියන් ...... නම් ඖෂධය යොදාගන්න සිදුවිය. මේ වනවිට ඊටද ඔරොත්තු දෙමින් සිටී. ජීවයේ ස්වභාවය එයවේ.

ගිනිකදුවලින් පිටවන ලාවා තුළ පවා ක්ෂුද්‍රජීවීන් සිටින බවක් සොයාගෙන ඇත. ඌ එම පරිසරයට හැඩ ගැසී ඇත.
ඔබ හා මම ඇතුලු සැම සත්වයෙක්ම පරිසර සාධක උපයෝගී කොට ගෙන පවතින්නමෝ වෙමු. හුස්ම පොදක් නොගෙන එක මොහොතක් ඉන්න අපට බැරිය. බාහිර වශයෙන් ජාතීන් අනුව

ආගම් අනුව අප බෙදී සිටියත් හතුරු මිතුරු අප හැම ඇගිලි අත්ලට සම්බන්ධව පවත්නාක් මෙන් මේ දහමට අනුගතව සිටිමු.
සොබාදහමෙහි යම් විපර්යාසයක් වේද නොඅඩුව එහි විපාක සැමට පවු.. පිං.. නොබලා පල දෙනු ඇත. යම් යම් පුද්ගලයන් ගන්නා තීරණ මත ජනතාව වන අප නිති දුකට පත්වෙමු. ඒ තම තමාගේ කර්මයද?....... නැත.

ප්‍රභාකරන් නම් මාරයා අප සැමට බිය කැදවූ අයුරු තාම අමතක නැතැයි සිතමි.
සියලුම නියාම ධර්ම සොබා දහම තුළම මිස අටුවා ටීකා තුළ නොවේ.
ඔබ කවරේදැයි වටහා ගන්න.ඔබ නිවේ. ඔබ හතුරුකම් කරන්න කාට හෝ උත්සහ දරයිද එය ඔබටම කරගන්නා හතුරුකමක් බව වටහාගෙන මේ දහමට අනුගතව ජීවත් වන්න. අපාය බිය... සසර බිය.. මේ සියල්ල බහුභූතය. ඔබ කරන දේ විපාක ඒ මෙමාහොතේම ඔබ හඹා එනු ඇත.ඒ ඔබට හෘද සාක්ෂියක් ඇති බැවිනි. ආගමක් ඇවැසි නැත.

Tuesday, December 10, 2013

බුද්ධිමය අනුපාතයෙන් සංවර්ධනය වූයේ ... බුද්ධ වේ.

“ලෝකය කාගේවත් මැවිල්ලක්‌ නොව ඉබේ සැකසුණු ද්‍රව්‍යයක්‌ බවට මතයක්‌ ක්‍රිස්‌තු පූර්ව යුගවල පැතිර තිබුණේය. ඊළඟට එය යම් හේතු ප්‍රත්‍යයන්ගේ සමවායකින් හටගත් බවට පිළිගැනීමක්‌ මතුවිය. පසුකාලීනව බුද්ධිමය අනුපාතයෙන් සංවර්ධනය වූයේ මේ
මතයයි. එය ප්‍රකටව සඳහන් වන්නේ බුද්ධ දේශනාවලය.එකී දර්ශනය ආගමක් බවට සංවර්ධනය වීමේ දී පුද්ගලත්වය ඉස් මතුවිණි. බුද්ධ සංඥාව .... රුවකට... ප්‍රතිමාවකට යටවී ගොස් සම්මුතික කතා ගොන්නකක් ඒ වටා ගෙතිණි. පුද පූජා, වැදීම් පිදීම්, ප්‍රාර්ථනා , හා සම්මුතියේ බලාපොරොත්තු ඊටම ඈදිනි. අදටත් එයම වඩා හොදින් සිදුවෙනු මාධ්‍යමගින් ද පෙනේ.........“
=================================================================                            

බුද්ධ.... ප්‍රබුද්ධ.... බුද්ධිය... වැටහීම ( බෝධිය) ..... ස්වයං අවබෝධය (සම්මාසම් +බුද්ධ) ......
මේ අප අතර පවත්නා වචන හා දැනුම සම්භාරයයි.මේවාට කාලාන්තරයක් තිස්සේ එකිනෙකා තම තම දැනුම මත විවිධ අරුත් සපයා ඇත. අප අල්ලාගත් දෘෂ්ඨි මත හිද  ඒවායේ හරිවැරැද්ද දක්නට අප යුහුසුලු වෙමු. මැදිහත් මනසින් යමක් මේ ගැන විමසා බලමු.ඇයි....? නිවන් දකින්න බුදුන් දැකිය යුතු බැවිනි.බුදු හිමියන් තමා තමාවම හදුන්වා ගත්තේ ..... හැලිය යුතු දේ සියල්ල හැලූ... වැඩිය යුතු දේ සියල්ල වැඩූ....  තැන “ බුද්ධ “ පහළවූ බවයි. ඒ ලෝකාවබෝධය තුළය. ලෝකය යනු මේ සියල්ලය.අප අල්ලාගත් දේය.අප දැනුම් සම්භාරයය. ලෝකයට දැනුම ගෙනා ශාස්තෘෘහු /දාර්ශනිකයෝ/ විද්‍යාඥයෝ/ සමාජ සේවකයෝ.. යන මේ සියලු  දෙනාම මෙම ලෝකධම්මතාවයේ කොටස්කරුවෝය. පුරුක්ය.                                                                                          තැනුම් වාදය.... මැවුම්වාදය..... පරිනාම වාදය... සාපේක්ෂතා වාදය... ඈ සියල්ල මේ බුද්ධි මහිමයේ ප්‍රභාවෙනි. චින්තනයෙනි. එහෙත් මිනිස් මනස මෙහෙයවා අප අල්වා ගෙන ඇත්තේ ලොවෙන් බිදකි. තවතවත් සොයාගන්න ඇති දේ අපමණය. ඝර්ෂණය නිසා ගින්න හටගනී. ඒත් මේ ගින්න ගබඩා වී ඇති තැනකින් එනවා නොවේ.එය එන තැනක් , යන තැනක් අප නොදනිමු. අප දන්නේ ගින්නක් ඇති බව පමණය. ඒ අප අවටම ඇති බවද සිතමු.හේතු ඇති විට එය දැල්වේ. එසේම හේතු නැතිවිටෙක එය නොපෙනී යයි.විදුලිය ද එබදුය. එය සිරුර තුළ පවා ක්‍රියාත්මකය.සිතුවිලි , මනස, යනුද මෙම විද්‍යුතයේ ඵලයන්ය. අප කරන්නේ එය බැහරින් ලැබෙන දායාදයක් ලෙස සැලකීමය.                                     මිනිස් මනස ද විදුලිමය එකකි.එය මුලු සිරුර/බාහිර පරිසරය පිහිට කොට ක්‍රියාත්මක වේ.එය ඇගිල්ලෙන් ඇන මෙතැන වේ යැයි කාට හෝ කිව නොහැක.ජීවී දේ වගේම අජීවී දේ ද පාරිසරික සාධකවලට ප්‍රතිචාර දක්වත්.ඒ තුළ ඇතිවීම.. නැතිවීම .. සංස්කරණය වීම නිබදවම සිදුවේ. ඒ බලය විශ්වගාමක බලය ලෙස අප හදුන්වමු. එය කරන්නෙක් හෝ කරවන්නෙක් නැතිව නැවතීමකින් තොරව නිබදවම සිදුවේ. එහි ඵල විපාක වශයෙන් ජීව/අජීව දෑ පරිසරයට එක්ව ඇත. මේ විශ්වයේ ක්‍රියාත්මක බලය අප ගේ නුවණින් විමසා දැකිය නොහැක.ඒ සදහා බුද්ධ ඥානයම අවශ්‍ය වේ. ඒ නිසා අප ඊට බුද්ධ... කියමු. එයම දෙවියන් ලෙස , ඕම් ශතක්ති තව අය අදහත්. තී.. හෝ චී.. යනුවෙන්ද වහරනු පෙනේ.                                 විශ්වයේ ඇති චුම්බකත්ව බලය කාලය... අවකාශය මවයි. චක්‍රීය ගමනක යමින් කෙමෙන් අධිවේගයකින් නොනැවත ප්‍රසාරණය වෙයි. නිබද නොයෙක් හැලහැප්පීම් වලට ගොදුරුවෙමින් ලෝකයේ විවිධත්වය මවාපායි. ලෝකයේ සියලුම මානවයන් අතර සමාන DNA රටාවන් මෙතෙක් හදුනා නැත.ඒ තරම්ම විවිධය, විෂමය. අප ලබාගත් දැනුම තුළ විවිධ නව ප්‍රබේද අද එළිදක්වමින් සිටියද අලුතින් යමක් එක් කිරීමට හෝ තැනීමට මෙම විද්‍යාව අසමත් වේ.                                    මේ පවත්නා වූ තත්වය ලෝක ධම්මතාවයයි. යතාභූත ඥාන දර්ශනයයි. එය ලොවට පෙන්වා දුන් නිසාම උන්වහන්සේ “ තථාගත“ නම් වී. ඒ පුද්ගලයෙක් යන අරුතින් ගැනීම තුල අප විවිධ ගැටලු .. භේද  ඇතිකරගෙන මේ ශ්‍රීසත්ධර්මය .. බුදුන් ගේ අයිතියට යටකොට ආගමක් සකස්කර අද එහි අනිටු විපාක විදින්නමෝ වෙමු. මින්ස චින්තනයේ පහළ වූ එම අග්‍රගණ්‍ය බුද්ධි ප්‍රභාව ලඝු කොට ආගමකට.. ඇදහීමකට.. විශ්වාසයකට ඇද දමා ඇත්තෙමු.                                  තම තමාම මේ බුද්ධි ප්‍රභාව අවධිකරගත් විට “ බුද්ධ‘ තමා තුළම වැඩසිටිනු පෙනේ.චිත්ත සමාපත්තියට සම වැදුන තැන චින්තනයෙන් තොරය. එතැන බුද්ධ වැඩ සිටී. මරණය නැත. නිවීම ඇත.(මේ පිළිබදව විවිධ මතිමතාන්තර ඇතිවීම සොබාවිකය. අප සැම අල්ලා ගෙන සිටින චින්තන.. හෙවත් දෘෂ්ඨි එයට බලපායි.දෘෂ්ඨි වලින් යමෙක් මිදුනේද එතැන ඇත්තේ “සම්මා දිට්ඨිය“ යැයි කියන්නේද එබැවිනි. නුවණින්ම විමසා අවබෝධ කරත්වා!)    ප්‍රශ්ණොත්තර ඇත්තේ ද තමා තුළමය.ඇයි? අප සැම මේ සංතතික දහමේ ම කොටස් කරුවන් හෙයිනි. 
යමෙක් දහම දකීද හේ මා දකී. මෙයයි බුද්ධ වචනය
 
ආනන්ද විජයරත්න 

විශ්වයේ ආරම්භය හා විකාශය

විශ්වයේ ආරම්භය හා විකාශය

( විශ්වය මැවුම්වාදය මගින් යටපත් වූ යුගයක් විය අද එහි බලයක් නැත. විද්‍යාවේ කුලුගෙඩි පහරින් දෙදරා නොගිය එකම සත්‍යය බුදු දහම පමණි. බුදු හිමියන් විශ්වය පිළිබද තොරතුරු නොසොයන ලෙස දක්වා ඇත. මන්ද එය පෘතග්ජන මනසට ගෝචර නොවන බැවිනි. එහත් බුදුදහමට එල්ලවී ඇති අභියෝග හමුවේ මේ අයුරනි ්සත්‍යය පසක් කරමි.. )

ලෝකය යනු අප ජීවත් වන පෘථිවි තලයයි. එවැනි ග්‍රහලෝක කිහිපයක් හා තාරකාවක් (සූර්යයා) එක්වී අපගේ සෞරග්‍රහ මණ්ඩලය සැදී තිබේ. චක්‍රාවාටයක් නැතහොත් සක්වලක් (Galaxy) යනු එවැනි සෞරග්‍රහ මණ්ඩල මිලියන ගණනකින් සමන්විත වූ දෙයකි. අපගේ විශ්වයේ එවැනි චක්‍රාවාට බිලියන ගණනක් පවතී. විශ්වය අනන්තය. එය අන්ධකාර ආගාධයකි. ඒ තුළ අප වැනි ජීවීන් සහිත තවත් ග්‍රහලෝක ගණනාවක්‌ පැවැතිය හැකිය. විශ්වය පිළිබඳ පොදු නියාමයක්‌ වන්නේ එහි ආරම්භයක්‌ හෝ අවසානයක්‌ දැකිය නොහැකි බවය. ලෝකය ගැන කිව හැක්‌කේද එපමණකි.

එහෙත් ඒ අවිනිශ්චිත ලෝකයේ ආරම්භය ගැන මානව සමාරම්භයේ සිටම මිනිසාගේ කුතුහලය හරහා විවිධ මත පහළ වී තිබේ. ඒවා සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ආගමික මතවාද වශයෙනි. මේ මතවාදවලින් ගම්‍ය වන්නේ ලෝකය කිසිවකුගේ නිර්මාණයක්‌ බවය. එකී නිර්මාණකරුවාට බ්‍රහ්ම, දේව, ඊශ්වර සහ තවත් නාමයන් ඒ ඒ යුගවල භාවිතකර තිබේ.

ලෝකය සහ ඒ තුළ ඇති සියල්ල බ්‍රහ්ම නිර්මාණයන් බව බ්‍රහ්මවාදීහු පිළිගත්හ. පූර්ව හා අපර වෛදික සාහිsත්‍යයෙහි ඒ මතවාදය උධෘත කර තිබේ. සෘග්වේදයත් උපනිෂද් කෘතිවලත් ඒ මතයට මුල් තැනක්‌ දී ඇත. ලෝකය දේව නිර්මාණයකැයි දේවවාදීහු අදත් පිළිගනිති. එය ඊශ්වර මැවීමක්‌ බව ඊශ්වරවාදියෙක්‌ පැවැසූහ. මෙම නිර්මාණවාදීන් අතර ලෝක සම්භවය පිළිබඳ තවත් විවිධ මත එමටය. මේ අතර, ලෝකය කාගේවත් මැවිල්ලක්‌ නොව ඉබේ සැකසුණු ද්‍රව්‍යයක්‌ බවට මතයක්‌ද ක්‍රිස්‌තු පූර්ව යුගවල පැතිර තිබුණේය. ඊළඟට එය යම් හේතු ප්‍රත්‍යයන්ගේ සමවායකින් හටගත් බවට පිළිගැනීමක්‌ මතුවිය. පසුකාලීනව බුද්ධිමය අනුපාතයෙන් සංවර්ධනය වූයේ මේ මතයයි. එය ප්‍රකටව සඳහන් වන්නේ බුද්ධ දේශනාවලය. එසේ වුවද නිර්මාණවාදී මතයද අදටත් වලංගුව පවතී. ආගමික ශ්‍රද්ධාව හා භක්‌තිය බුද්ධිය අභිභවා යන අවස්‌ථා තිබේ.

ලෝකයේ ආරම්භය ගැන ඉන්කා ගෝත්‍රිකයන් පිළිගත්තේ, "වීරකෝවා" නමැති දෙවියකු විසින් එය මැවූ බවයි. ග්‍රීසියේ විසූ හෝමර් කීවේ පොළොව දෙවියන්ගේ මව බවය. හීබෲවරුන්ගේ මතය වූයේ ලොව "යාහ්වේ" දෙවියාගේ මැවීමක්‌ ලෙසටය. මෙවැනි මත අපමණය. වර්තමාන විද්‍යාව යන සංකල්පය (Science) ට තවමත් සියවස්‌ දෙකක්‌ ඉකුත් වී නැත. විද්‍යා තාක්‍ෂණ මෙවලම්වල වයස ඊටත් අඩුය. එහෙයින් විද්‍යානුකූල ප්‍රඥව තවමත් පවත්නේ ළදරු වයසේය. ආදි දාර්ශනික මෙන්ම ශ්‍රද්ධාවාදී මතවාද තවම ජීවමාන වී ඇත්තේ ඒ හේතුවෙනි. ක්‍රි. පූ. 5 - 6 සියවස්‌වල ඉන්දියාව, ග්‍රීසිය හා චීනය වැනි රටවල පැතිරගිය බුද්ධි ප්‍රවාහය වත්මන් විද්‍යාඥනයෙන් සමතික්‍රමණය කළ නොහැක. විද්‍යාව යනුද මිනිස්‌ මනසේ භෞතික මහිමයක්‌ පමණක්‌ වන බැවිනි.

මේසා සංවර්ධනය වී ඇති විද්‍යා තාක්‍ෂණ ඥනයෙන් පවා තවමත් ගවේෂණය කර ඇත්තේ චන්ද්‍රග්‍රහයා පිsළිබඳ වූ පුංචි සත්‍යයක්‌ පමණි. අඟහරු ග්‍රහයා වෙතද මේ වනවිට අභ්‍යාවකාශ යානා කිහිපයක් යවා තිබේ.( Path Finfer, Spirit, Oppertunity, Curiosity ) වසර 1500 කට පෙර වරහමිහිර නමැති දාර්ශනිකයා ග්‍රහලෝක කේන්ද්‍රකොට නිපදවාගත් ජ්‍යෙdතිෂ විද්‍යාව අදටත් වලංගුය. ක්‍රිස්‌තු පූර්වයේදී වරාහ පුරාණ කෘතිය ගොනුකළ ඉසිවරයා, ජීවයේ සම්භවය පිළිබඳ හෙළි කළ මතය චාල්ස්‌ ඩාවින් විසින් 19 වන සියවසේදී විද්‍යාත්මකව ඔප්පුකර තිබේ.

ගෞතම බුදුන් විසින් ක්‍රි.පූ. හයවන ශතකයේදී දේශනා කළ ලෝක ධාතු පිළිබඳ ස්‌වාභාවය වර්තමාන අභ්‍යාවකාශ විද්‍යාව විසින් සත්‍යවත් කර ඇත. පැරණි ග්‍රීක දාර්ශනිකයන් විසින් අනාවරණය කරනු ලැබූ ලෝක ස්‌වභාවය අද සත්‍යයක්‌ වී තිබේ. වේද, ග්‍රන්ථ, බ්‍රාහ්මණ හා උපනිෂද් කෘති, මනුස්‌මෘතිය, ගෘහ්‍යසූත්‍ර ආදී කෘතීන්හි ලෝක හා ජීව සම්භවය පිළිබඳ ඉදිරිපත් කර ඇති කරුණුද අදටත් වලංගුය. ඒ ඒ යුගවල ලෝක තත්ත්වය විග්‍රහ කිරීම පිණිස යොදාගත් වචන සංකේත ආශ්‍රිත වූවා හැරුණුවිට ඒ සඳහා භාවිත කරන වර්තමාන වචන හා සැසඳෙයි. බ්‍රහ්මන්, ආත්මන්, දේව, ආකෘති, පුරුෂ, පදාර්ථ ආදී වූ නාම එදා භාවිත කළේ අද අප වහරණ පරමාණු නියුට්‍රොaන, ඉලෙක්‌ට්‍රොaන යන මූලධාතුන් හැඳින්වීමටය. මේ සඳහා බුදු දහමෙහි ශුද්ධාෂ්ඨක නාමය භාවිත කර තිබේ. මෙයින් පැහැදිලි වන්නේ බුද්ධිය යනු සදාතනික සත්‍යයක්‌ බවය. බුද්ධියෙන් ගොඩනගන සත්‍යය සදාතනික බවය. ඒ ඒ කාලවකවානුවල, භාෂාවල, අර්ථ විග්‍රහවල පවතින වෙනස්‌කම් මිස අන්තර්ගතයේ කිසිදු වෙනසක්‌ නොපවතී. ග්‍රීක දාර්ශනික කොපර්නික්‌ස්‌ පෘථිවිය හිරුවටා භ්‍රමණය වන බව කිවේය. ලෝකයේ පැවැත්මට සූර්යයා බලපාන බවද හෙතෙම පැවැසීය. ගැලිලියෝ එදා කීවේ පෘථිවියට අමතරව තවත් ග්‍රහලෝක සහිත විශ්වයක්‌ පවතින බවය. ඒ සත්‍යය කී නිසා පල්ලිය ඔහු ඝාතනය කළේය. වත්මන් විද්‍යා පුනරුදයේ පෙර ලකුණු අපට පෙනෙන්නේ ක්‍රි.පූ 5 - 6 සියවස්‌වලදීය. "සංවට්‌ටමානා සංවට්‌ටතී - විවට්‌ටමානා විවට්‌ටතී" යනුවෙන් බුදුන්වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දක්‌වන ලෝකයේ පැවැත්ම හා විනාශය පිළිබඳ සත්‍යය, පසුකාලයක බෝනර් නම් වූ විද්‍යාඥයා විසින් විද්‍යානුකූලව ඔප්පු කර තිබේ. පෘථිවිය හැකිලෙමින් විසිරෙමින් පවතින්නකි. ඇල්බට්‌ අයින්ස්‌ටයින්ගේ සාපේක්‍ෂතාවාදයද බුදුදහමින් පෙන්වා දුන්නකි.

ලෝක සමාරම්භය හා පැවැත්ම පිළිබඳව දැක්‌වෙන බ්‍රහ්මජාල අග්ගඤ්ඤ මාලුංඛ්‍ය සූත්‍ර, සප්ත සූරියග්ගමන යන බෞද්ධසූත්‍රයන්හි දැක්‌වෙන තොරතුරු නවීන අභ්‍යාවකාශ විද්‍යාඥයන් බොහෝ දුරට සත්‍යවත් කර තිබේ. විනාශවෙමින් වර්ධනය වෙමින් පැවැතීම ලෝක ස්‌වභාවයයි. විනාශයෙන් පසුව වැඩෙන ලෝක ධාතුවෙහි පළමු ජීවියා හටගැනුනේ ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් චුත වූ ජීවියෙකුගෙනි. ආභ යනු මිනිරන් වලට නමකි. මිනිරන් නොදැවෙන ද්‍රව්‍යයකි. විශ්වයේ ඈත ග්‍රහලෝකයක සිට පෘථිවියට පැමිණීමේදී හමුවන අධිකතම උෂ්ණයට ඔරොත්තු දීම අවශ්‍යය. එසේ නිරුපද්‍රිතව පෘථිවියට ආ ජීවියා අනුභව කළේ පෘථිවි සාරය පමණි. දීර්ඝ කාලයක්‌ ගතවීමේදී පොළේ සාරය හීන වන්නට විය. ඒ අතර තුරදී මෙම ජීවියාගේ පරපුරක්‌ බිහිවූ අතර ඒ නිසාම ගැටලු ප්‍රාදුර්භූත වූයේය. පොළෝ සාරය හීන වී බිම්මල් පහල විය. විද්‍යාව විසින්ද මේ ආදි නිර්මාණය සත්‍යවත් කර තිබේ. අම්ලකර මූලාශ්‍රයෙන් හතු හටගැනුණ බව සොයාගෙන තිබේ. මේවා FUNGUS යනුවෙන් නම්කර ඇත. ජලය හටගැනීමේදී මෙම මූල ධාතූන් බලපා ඇත. ජලයෙහි හටගත් පරමාණුක ක්‍රියාකාරකම් හේතුවෙන් ආරම්භක ජීවය ඇති විය. ඒක සෛලික ඒ ශුද්‍ර ජීවියා පරිණාමය වීමෙන් අනතුරුව ක්‍රමයෙන් සත්ව සන්තතිය හටගත්තේය. සත්වයා පොළොවේ සාරයෙන් වැඩිණ. අදත් අප ආහාරයට ගන්නේ පොළොවේ සාරයෙන් හටගන්නා දේ නොවේද? ලේ කිරි යනු මහපොළොවේ ශුද්ධ සාරයයි. ජීවය, ජලයෙන් උත්පාද වූ බවට ඇති ප්‍රථම උධෘතය ග්‍රීක දාර්ශනික ඇනෙක්‌සිමැන්ඩර් (ක්‍රි.පූ. 528) ගේය. වෙනත් ග්‍රහලෝකයකින් පෘථිවියට ජීවය පැමිණුන බව කීවේ ආර්. රෙන්නියස්‌ (ක්‍රි.පූ. 487) විසිනි. මිසරයේ පිරමිඩ තැනූ ජනවර්ගයද වෙනත් ග්‍රහලොවකින් පැමිණි පිරිසක්‌ බවට මතයක්‌ තිබේ.

පෘථිවිය ඇතුළු අභ්‍යාවකාශ වස්‌තූන් හටගෙන ඇත්තේ ධූලි සහ රසායනික අනු සංයුතියකිනි. ඒවා ඝණත්වයට පත්වීමෙන් ප්‍රධාන වස්‌තුවේ ගුරුත්වාකර්ෂණය යටතේ භ්‍රමණය විය. භ්‍රමණ රටාව නිසා සෑම ආකාශ වස්‌තුවක්‌ම යම් ප්‍රමාණයක වෘත්තාකාර ස්‌වභාවයක්‌ උසුලයි. එහෙත් ඒවා පූර්ණ ගෝලාකාර වස්‌තූන් නොවේ. එසේම එම ග්‍රහ වස්‌තූන් එක්‌ කාලයක එකම ස්‌වභාවයකින් හටගෙන නැත. පෘථිවිය හටගෙන වසර කෝටි හතරක්‌ පමණ ගතවෙන තුරු පැවැතියේ ගිනියම් බෝලයක්‌ පරිද්දෙනි. ඒ අතර ආරම්භක වර්ෂාව හටගත්තේය. පෘථිවියෙහි ජීවය හටගැනුණේ ඉන් ඉක්‌බිතිවය. වෙනත් වචනයකින් කිවහොත් පෘථිවියෙහි ජීවය හටගැනීම සඳහා වසර කෝටි හතරක පමණ කාලයක්‌ පරිණාමය වෙමින් පැවැතිණි. තාරකා ග්‍රහලෝක ඇතුළු අනෙකුත් ආකාශ වස්‌තූන් සේම ජීවියාද සෑදී සැකැසී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මූල පදාර්ථවලිනි. වරක්‌ බුදුන්වහන්සේ ඉමස්‌මිං සේව ව්‍යාවමත්තේ කළේ බරේ ලෝකංච පඤ්ඤපේමි යනුවෙන් වදාළේ මානව ශරීරයද ලෝකයක්‌ බව හඟවමිනි. මේවා තවදුරටත් විද්‍යාත්මකව විග්‍රහ කළහොත් ජීව පදාර්ථය සැකැසී ඇත්තේ ඇමයිනෝ අම්ල 20 + භෂ්ම 5 + සීනිවර්ග 2 + පොස්‌පේට්‌ විශේෂ වශයෙන් වූ එකතු=වෙනි. මෙම කොටස්‌ අඩංගු ස්‌කන්ධ හතරකට බෙදා ඒවා අතර ආපෝ, තේජෝ ආදී වශයෙන් බුදුන්වහන්සේ විග්‍රහකර තිබේ.

ජාන්දෝග්‍ය උපනිෂද් ග්‍රන්ථයෙහි විශ්වයේ සහ සත්වයන්ගේ සාරය පරමාත්මය බව දක්‌වා තිබේ. ලුණු කැටයක්‌ දිය වූ ජලයෙහි ලුණු රසය පැතිර පවතින්නාක්‌ මෙන් විශ්වය පුරා පරමාත්වය පැතිර තිබෙන බව එම ග්‍රන්ථය සඳහන් කරයි. එදා පරමාත්වය මෙදා පරමාණුක ශක්‌තියයි. නැතහොත් ජීව සංස්‌කරණ ධාතු සංයුතියයි.

වර්තමාන විද්‍යා ගවේෂණ මගින් හෙළි කරගෙන ඇති ලෝකය හා එහි ජීවය හටගැනීම පිළිබඳවූ සත්‍යය, අදටත් ගැලපෙන පරිදි ආදියේදී විවරණය කර ඇත්තේ බෞද්ධ දර්ශනයෙහිය. ජෛන හා සාංඛ්‍ය ඉගැන්වීම් වලද ඒ තොරතුරු අඩංගුය. ඒ බෞද්ධ ආභාෂය නිසා සිදුවූවක්‌ විය හැකිය. අරුණවතී සූත්‍රයේදී බුදුන් ආනන්ද හිමියන්ට ලෝකධාතු ගැන කරන ලද දේශනාවේ බොහෝ කරුණු නව අභ්‍යාවකාශ විද්‍යාව විසින් සොයාගෙන ඇත. 1920 දී එඩ්වින් පවල් විසින් මන්දාකිණිවල පවත්නා විවිධ දුර ප්‍රමාණයන් සොයාගෙන ඇත. ඒ අනුව අපගේ මේ මන්දාකිණියේ විෂ්කම්භය ආලෝක වර්ෂ ලක්‍ෂයකි.

ආලෝක වර්ෂයක්‌ යනු ආලෝකය ගමන් ගන්නා සැතපුම් 186000 ක වේගය දින 365 කට ගණනය කිරීමකි. තවත් විද්‍යා නිගමනයකට අනුව වර්ල්පූල් නමැති මන්දාකිණිය අපගේ සූර්යග්‍රහ මණ්‌ඩලයට ආලෝක වර්ෂ දශලක්‍ෂ විස්‌සකට ඈතින් පිහිටා ඇති අතර තත්ත්පරයකට සැතපුම් 240 කින් ප්‍රසාරණය ගණනය කර තිබේ. අතීතයේදී මේ මන්දාකිණි එකට බැඳී පවතින්නට ඇතැයි හබල් විද්‍යාඥයා අනුමාන කරයි. එමෙන්ම ඒ දුරාතීතයේදී මන්දාකිණී ඇතුළු නොයෙකුත් ග්‍රහවස්‌තූන් ඝන ද්‍රව්‍යයක්‌ සේ එකට බැඳී පැවැතිණි. ප්‍රසාරණය හෙවත් මහා පිපුරුම නිසා ඝනත්වය බිඳී විසිරී නොයෙකුත් ආකාශ වස්‌තු හටගෙන තිබේ. බුදුන්වහන්සේ අගඤ්ඤ සූත්‍රයේදී දේශනා කළේ මේ තත්ත්වය පිළිබඳ එවක භාවිත භාෂාවෙනි.
( බුදු දහම තුල පිපුරුම්වාදයක් පිළිබද කිසිදු හෝඩුවාවක් නොමැති බවත් බුදු හිමියන් දේශනා කර ඇත්තේ විශ්වයේ ප්‍රසාරණය හා සංකෝචනය ගැන පමණක් බවත් විද්වත් මතයයි. මෙය දිවයින් පුවත්පතින් උපුටාගත්තක් බව කරුණාවෙන් සලකන්න

Sunday, December 8, 2013

ප්‍රශ්ණය ලොව්තුරා බුදුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වන්නේ ඇයි? මේ භයානක සංසාර දුකින් සත්වයා මුදවා ගැනිම පිණිස උන් වහන්සේ දේශනා කළේ කුමක්ද? 


^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

මේ ගැටලුවට පිළිතුරක් සපයන්නට පෙර බුදුන් වහන්සේ කියන්නේ කවුද කියලා මදක් විමසමු. සියලු සත්වයින් කෙරේ කාරුණික හිතක් ඇති කරගත්ත එක්තරා බලවත් බෝසත් ගුණෝපේත පුරුෂයෙකු අනන්ත කල්ප කාලාන්තරයක් දානාදී සමත්‍රිංශත් පාරමි ධර්මයන් එකින් එක පූර්ණ කරගන්නවා. අතිමහත් වීර්යවන්ත වූ ඒ මහා බෝසත් උත්තම පුරුෂරත්නය බුද්ධත්වයට සිය චිත්ත සන්තානය සුදුසු වූ පසු අවසන් ආත්ම භාවයට පෙර දෙව් ලොව උපදිනවා. මිනිස් ලොව උපදින්නට පෙර පස් මහ බැලුම් බලා සුදුසු මව් කුසක පිළිසිඳ ගන්නවා. මේ මහා භද්‍ර කල්පයේ හතර වෙනුවට පහළවී, දඹදිව උතුම් ගයා සිරසෙහිදී වජිරාසනාරූඩව දස මාර සේනා පරදා ලොව දිනූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධත්වයද සිදු වූයේ ඒ පිළිවෙළට බව අපි දන්නවානේ. 
අපි විමසමු අප ගැනම. මිනිසුන් වෙලා යමක් හිතන්නට කරන්නට පුළුවන් වෙලා අපි මේ ලෝකේ ඉපදුණානෙ? අපි දන්නවා මේ ලෝකයේ ඉපදීමක් තියෙනවා සත්වයෝ වගේම ද්‍රව්‍යයන්ගේ හටගැනීමක් අපට පේනවා. ඉතිං ඉපදීමත් ඉපදුණු සත්වයාත් ද්‍රව්‍යයනුත් මෝරා යමින් නොඑසේ නම් දිර දිරා යමින් යම් දවසක අවසානයක් දකිනවා.තවත් විදියකට කීවොත් මිය යාමකට ලක්වන බව අපට පේනවා. මේ හටගත් දේ වෙනස් වෙමින් දිරමින් වැනසෙමින් ආයේ ආයෙත් ඉපදෙමින් මැරෙමින් හටගනිමින් වෙනස් වෙමින් වැනසෙන මේ සංසිද්ධිය ලෝකයේ පවතින සැබෑ ධර්මතාවක්. එම ධර්මතාවය එ‍ලෙසින් ම මහා නුවණක් ලද බුදුවරයෙකුට මිස වෙනත් කෙනෙකුට පේන දෙයක් නෙවෙයි. ඉපදී වයසට යමින් මැරෙන සත්වයාට එසේ වන්නේ යම් අදෘශ්‍යමාන අද්භුත කෙනෙකුගේ බලයෙන් යැයි සිතූ අතීතයේ බොහෝ පිරිස් මුලාවූ ගමනක යෙදිලා හිටියෙ. ඒ අය පව පින ගැනවත් හිතන කියන කරන දේට විපාක ලැබෙන්නට යළි උපදින බවක්වත් දැනගෙන හිටියේ නෑ. ගස් ගල් පර්වත සරණ ගිය පිරිසක් අතර ශමථ භාවනාව පවා දියුණුකරගෙන සිටියා. එහෙත් ලෝකාවබෝධයක් විමුක්තියක් උදාකරගන්න දැනගෙන හිටියේ නෑ.
මහා පින්වන්ත බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ සසර ඉපදීම මහා දුකක් ලෙසත් ඒ දුක හේතු නිසා හටගන්න බවත්, එය නිරෝධ කළ හැකි බවත් ඒසදහා වන ඒකායන ප්‍රතිපදාවක් ඇති බවත් සිංහ නාද පවත්වමින් දෙව් මිනිස් ප්‍රජාව අමන්දානන්දයට පත් කරවමින් ධර්ම චක්‍රය පවත්වනවා. අධික ලෙස සැප විදලාවත්, අධික ලෙස ශරීරයට දුක් දීලාවත් උදාකරගන්නට බැරි විමුක්තිය මධ්‍යම ප්‍රතිපදාව තුළින් සාක්ෂාත් කරගන්නා ආකාරයයි බුදු කෙනෙක් පහළ වෙලා කියා දෙන්නේ. ලෝකයේ නුවණ ඇති පුණ්‍යවන්ත හිතන්නට කැමැති පිරිස් උන් වහන්සේ වෙත රොද බැදගෙන පැමිණෙනවා. පැමිණ සදාකාලික දුක කෙළවර කරනවා. අප්‍රම්‍යෙය වූ දුක් කන්දරාවකට යටවුණු කාටත් කරන්නට ඇති එකම දේ මේ සැබෑ දහම තමා තුළින් දැකගැනීම, ඒ තමා සසර දුක් අවසන් කිරීම හෙවත් නිවන් සාක්ෂාත් කීරීම.
බුදුවරුන් පහළ වෙලා සසර දුක අවසන් කරගන්නට දෙව් මිනිස් ප්‍රජාවට කියා දෙන ඒ දහම අති ගාම්භිරයි. “ස්වාක්ඛාතෝ භගවතාධම්මෝ සන්දිට්ඨිකෝ ආකාලිකෝ ඒහිඵස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි නම් වූ මේ දහම අපමණ වටිනාකමකින් යුක්තයි, සියුම්ව නුවණ මෙහෙයවා තමා තුළින් දැකිය යුත්තක්. මුල මැද අග සුපිරිසුදු, එය නිවැරදි අරුත් සහිත පහසුවෙන් තේරුම්ගත හැකි ප්‍රකාශන මාධ්‍යයකින් යුක්තයි, දෙපසින්ම පරිපූර්ණයි, එය ශාසන බ්‍රහ්මචරියාව හෙවත් නිවණ් මග පිණිසම දේශනා කළ එකක්. පාරිශුද්ධ බුද්ධ වචනයක්.
ආමිසයට මුල් තැන දෙමින් එය දහමයැයි වරදවා වටහාගෙන ඉන්න බොහෝ දෙනෙක් නොදන්න මොකක්ද මේ සැබෑ දහම ?
ලොව්තුරු බුදු සමිදුන් සත්වයාගේ උපත ගැන දේශණා කළා. උපත කියන්නේ ‘ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ’ කියලා යම් ඉපදීමක්‍, අංග සම්පූර්ණ අවයව සහිතව හටගැනීමක්වේද, මව් කුසකට බැස ගැනීමක්වේද, යම් ප්‍රකට පහළවීමක්වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ඇස කණ නාසාදී ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද එය තමා උපත කියලා. අපි ටිකක් හිතලා බලමු, අපට උපත ලෙස ලැබිලා තියෙන්නේ මොනවද? කියලා රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධයෝ පහළ වෙලා නේද? ඔව් ඇසක්, කණක්, නාසයක්, දිවක්, කයක්, වගේම නොපෙනෙන හිතක් සමග අප ඉපදිලා නේද? මේ ඉපදුණු ශරිරය පරිහරණය කරනවා කියලා අප කිව්වට මෙහිදී සැබෑවටම සිද්ධවන ධර්මතාව මොකක්ද කියලා අපි දන්නවාද? 
නමුත් පින්වන්ත ඔබ අපි හිතාගෙන ඉන්නවා උපකල්පනය කරනවා මේ ‘මම’ මේවා ‘මගේ’ මේවා ‘මම කැමැති පරිදි පවත්වන්නට හැකි කියලා නේද? මගේ කැමැත්ත පරිදි හැමදේම තියේවි කියලා හිතෙනවා නේද? අන්න එතකොට පෙනි පෙනී මේවා වෙනස්වෙන කොට හිතට අමාරුයි, බලාපොරොත්තු කඩවෙන කොට, දුක එනවා, ඇඩෙනවා, හූල්ලනවා සුසුම් හෙළනවා. වෙනස් වෙලා යන දේ කොහොම කීවත් හිතුවත් වෙනස් වන එක සැබෑ ධර්මතාව බව නොදන්න අන්ධ බාල පෘතග්ජන කෙනා දහම නොදන්නා කමින් තමා යැයි පනවාගෙන දුකට උරුමකම් කියන මුලාව අපට වැටහුණාද මීට කලින්? 
“අහෝ වත මයං න ජාතී ධම්මා අස්සාම” “අනේ මම උපදින්නැත්තං කොච්චර හොදද?....අහෝ වත මයං න ජරා ධම්මා අස්සාම, අනේ මම වයසට යන්නේ නැතිනම් කොච්චර හොදද?.....අහෝ වත මයං න ව්‍යාධි ධම්මා අස්සාම, අනේ මම ලෙඩවෙන්නේ නැතිනම් කොච්චර හොදද?..... අහෝ වත මයං න මරණ ධම්මං අස්සාම අනේ මම වයසට මැරෙන්නේ නැතිනම් කොච්චර හොදද?..... කියලා ලෝකයා අනවබෝධය නිසා හිතන්න ගන්නවා. 
මෙන්න මේ විදියේ මුලාවකට පත් ලෝකයාට ඇත්ත ඇති හැටියෙන් දකින්න දහම් දෑස් දුන්නේ ලොව්තුරු බුදු හිමියන් විතරයි. දහම තුළින් ලෝකය ජීවිතය දකින්න ක්‍රමයක් සහ දුකට හේතුව නැතිකරන මාර්ගයක් පෙන්වූයේ බුදුන් වහන්සේ විතරයි. පන්සාළිස් වසක් පුරා අඛණ්ඩව අමා දහම් බෙදා දුන් උන් වහන්සේ තරම් ලෝකයාට සුවය තනපු කෙනෙක් මේ තුන් ලෝක ධාතුව තුළ හිටියද?නෑ. නුවණ මෙහෙයවා කළ යුත්ත නොකළ යුත්ත අවබෝධ කරගෙන වැදගත් නොවැදගත් දේ තේරුම් ගෙන කුසළයට බරව ජිවත්වෙමින් අකුසළය පරාජය කරන ආකාරය උන්වහන්සේ මනාව වටහලා දිලා තියෙනවා නේද? පවින් නිදහස් වෙමින් ආයතන සංවරය තුළින් මනස තැන්පත් කරගෙන ප්‍රඥාවට මග සකසා එතුළින් දුක කෙළෙවර කරන අයුරු මොනතරම් විස්මිත විදියට පෙන්වලා දිලා තියෙනවාද? ඒ ක්‍රමය තමා අප කවුරුත් අහලා විතරක් තියෙන සීල සමාධි ප්‍රඥා මාර්ගත්‍රය නේද?
බලන්න මහ ඉසිවර බුදුරදුන් ලෝකයත් ජීවිතයත් ධර්මයත් අවබෝධ කරගත්ත හැටි? සම්මුතිය හෙවත් මේ ලෝකයා පහසුව පිණිස ව්‍යවහර කරන දේවලත් සත්ව වශයෙන් පුද්ගල වශයෙන් හදුනාගෙන ඉන්න ඒ ලෞකික ස්වභාවය අප විමසලා බලමු. මම කියන අපි කියන මිනිසා සත්වයා තිරිසනා සංකල්පය විමසන්න. මම යනු මුලාව ලිහා බැලුවම කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දළබුව, පිත්තාශය, පෙනහල්ල, අන්ත්‍ර, අතුණු බහන්, අමාශය, අශුචි,හිස්මොළය, පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේදතෙල,කදුළු, වුරුණු තෙල් ,කෙළ, සෙම, සොටු, සදමිදුළු, මුත්‍රා යන දෙතිස් කුණපය නොවේද? මේ එකක් ගානේ අපි විමසලා බැළුවම ඒවා එකකට වත් මම කියන වචනයවත් පාවිච්චිකරන්නේ නෑ නේද? බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙයින් එක කොටසක් ගානේ අරගෙන එහි යථා ස්වභාවය නුවණින් දකින්න කියලා. 
මේවා දුකට අයිතීයි කිව්වට ඔබට ඒක් තේරුණාද? දුක හට ගන්න හේතුව තණ්හාවනෙ. තණ්හාවෙන් ආශාවෙන් කෑදරකමින් මේ සිරුර පරිහරණය කරමින් ජීවත්වෙන කොට නොසිතූ විදියට හැම දේම වෙනස් වෙලා යන වග පේනවා. කෙස් පැහිලා, ලොම් දත් වැටිලා, ශරිරය ජරා ජිර්ණවෙලා, ලෙඩ දුක් හැදිලා ඔන්න දුක ජීවිතයට කිට්ටුවෙනවා. වෙනස්වෙන්නෙ මොනවද ? ඉහතින් දෙතිස් කුණප කියලා අපි කියපු සියල්ල. මේ විදියම බාහිර දේත් වෙනස් වෙනවා. එතැනත් දුක හදන ස්වභාවය තියෙනවා.මොකද මේ සියල්ල දුකට අයිති දේනේ. ඒත් හොඳට විමසලා බලන්න හිතේ මිස දුක තියෙන්නේ වෙන බාහිර නෙවෙයි කියලා. පිලිගන්නවාද? අපි කැමැති වෙලා හිටපු මම කියා දැකපු මගේ කියලා ආරක්ෂාකරගන්න උත්සාහ කරපු, වෙනස්වෙන එකක් නැහැයි කියලා හිතපු, ආශාවෙන් පරිහරණය කරපු සියල්ල මෙන්න වෙනස් වෙන කොට දුකක් දැනෙනවා. වෙනස්වීම දරාගන්න බැරිව විවිධ උපක්‍රම යොදමින් බේරාගන්න වෑයම් කළත් මේවායේ ස්වභාවය වෙනස්වන එකමයි. තමන්ගේ ශරීරයත්, බාහිර ශරීරත්, බාහිර ජීවි අජීවි හැමදෙයක්මත් වෙනස්වෙලා යනවා නේද?
සම්මුතිය තුළ යමක් පෙනුනත් පරමාර්ථ වශයෙන් නුවණින් බෙදලා බලන කොට ඒවායේ තියෙනවා ඝන බවක් තද ගතියක්, ගොරෝසු බවක්. තව දුරටත් විමසන කොට පේනවා ඒවායේ එකට එක්වූ ඇළුණු එකතුවු බවක් ස්වභාවයක්. යම් උෂ්ණත්ව පරාශයක පිහිටලා තියෙන මේවා ගැන තව නුවණ මෙහෙයවා බලන කොට හැඩතල හැදෙන පිම්බුණු හැකුළුණු ස්වභාවයක් පේනවා. අපි ටිකක් තව දුරටත් ඇත්ත ඇති හැටියෙන් දකිමු. මේ පඨවි කියන ඝන බව ඇහැට පෙනෙනවා දැයි බලමු. පංච ආයතන හෙවත් ඇස කණ නාසය දිව කය නමින් සම්මුති ව්‍යවහරය ගෙන බලන්න. මේ ඇස කීවේ කුමකටද ඇත්තටම? ඇසේ තියෙන්නේ මස්..... නහර..මහා භූත හෙවත් පඨවි ආපෝ තේජෝ වායෝ නෙවෙයිද? ඇසේ ඇත්තේ මේවැනි ස්වභාවයක් නෙවෙයිද? පඨවි ගතිය ඇහැකට පේනවාද? නෑ කණට ඇහෙනවාද? නාසයට දැනෙනවාද? දිවට හෝ කයට දැනෙනවාද? නෑ කොහෙත්ම නෑ. 
නුවණින්ම දකින්නට හැකි වෙනත් ක්‍රමයකට නොතේරෙන නොඅසුවන මේ පඨිවි ධාතුව හෙවත් ඝන ස්වභාවය ඇහැකින් දකින්න බෑ. බුදුන් වහන්සේ පෙන්වා වදාළ අභිධර්ම දේශනා තුළ අපට හිතන්න දෙයක් තියෙනවා. සතර ධාතු වගේම තවත් ස්වභාවයන් හතරක් තියෙනවා.ඒ තමයි ලෝකේ කොයි දේකටත් ආවේණික වූ එක්තරා වර්ණමය ස්වභාවයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, රසයක් හෙවත් යම් ගුණයක් වගේ හටගැනීමට උපකාර වන ඕජාවක් තියෙනවා මේ අටට කියන්නේ ශුද්ධ අෂ්ඨක කියලා. මෙයින් ඔබ හොදින් හිතලා බලන්න ඔබේ ඇසට පේන්නේ මේ අටෙන් වර්ණය විතරයි නේද කියලා? වෙන මොනවත් පේනවාද? නෑ
ලෝකය නමින් ඔබ කොහේ බැළුවත් පාටක් හැර වෙන මොනවා වත් පේනවද කියන්න? රූප නමින් දකිනවා යන සිද්ධිය විමසන්න. ඔබට වර්ණයක් මිස වෙනත් කිසිවක්ම පේන්නේ නැහැ. එහෙම නම් දෙයක ඇති පඨවි පේනවාද ඒ කියන්නේ ඝන බව? නෑ ඒක පේන්නේ නෑ ඔබට වර්ණය නිසා හැඩතලයක් පේනවා නේද? ඒ පේන හැඩතලය පේන දේට එහෙම අයිතිකියලා හිතෙනවා නම් ?ඔබ මුලාවකට පත්වෙලා. එක දෙයක් 10දෙනෙකුට පේන්නේ දස ආකාර හැඩයකට නම් ඔබ වටහා ගන්න ඕන ඒ හැඩ තලය පිළිබදව තීරණය ඒ ඒ අයට පොදු වූවක් මිස දෙයකට අදාළ නැහැයි කියලා. 
අපි බලමු උදාහරණයක්. පුංචි දරුවෝ මැටිවලින් එක වරෙක වෙස් මූණක් හදනවා, ඒක කඩලා වෙනත් හැඩයකට හදනකොට හාවෙක් කියනවා, ඒ මැටි ටිකම මල් පෝච්චියක් කරන්න ඒ දරුවා එහි හැඩය වෙනස් කරනවා බලන් ඉන්න අපිත් ඒ ඒ දේ තුළ ඇති සතර ධාතු එලෙසම තියෙද්දි හැඩ ගැන කියමින් හිතමින් නම් දෙනවා නේද? දෙයක් තව දෙයකින් වෙන්වෙලා පේන්නේ පාට නිසා. වර්ණය නිසයි අපට සම්මුති පැනවීමක් ව්‍යවහරය පිණිස යොදාගන්න හැකි නේද? එහෙමනම් නුවණින් විමසන්න හැඩ තල දෙමින් පාටට නමක් දෙමින් අප සියළු ආකාර පැනවීම් කරනවා නෙවෙයිද? දිගටියි, හතරැස්, කොටුයි, රවුම්, චතුරශ්‍ර, සමචතුරශ්‍ර, ඍජු කෝණාශ්‍ර, පැතලි, අට පට්ටම් මේ විදියට දේවලට හැඩ තල පැනවීම් සිද්ධ වෙන්නේ කොතැනද? මනසේ නෙවෙයිද? ඒවා සම්මුති වචනමාර්ගයෙන් ඔබ ලෝකය යැයි පවසනවා නෙවයිද? 
දැන් හිතන්න කණට රූප දැනගන්න පුළුවන්ද? නාසයට පුළුවන්ද? දිවට? කයට? මේ එකකටවත් ම බැහැ. මේවාට පඨවි පේනවාද? මේ විදියට ආපෝ ධාතුව තියෙනවා නම් පේනවා දැයි බලන්න. තේජෝ ධාතුව තියෙනවා දැයි බලන්න. වායෝ ධාතුව එහෙම පේනවා දැයි බලන්න. සතර ධාතූ විතරක් නෙවෙයි පාට හැර රස, ගන්ධ, ඕජා කිසිවකුත් මේ ආයතනයන් පහට මුණ ගැහෙන්නේ නෑ. 
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, සම්මුතිය තුළ පෙන්වන ‍රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ කියන බාහිර ආයතනයන් හා ඇස, කණ, නාසය, දිව, කය කියන අභ්‍යන්තර ආයතන මුණ ගැහෙන කොට ඒ කියන්නේ සතර ධාතු සතර මුණ ගැහෙන කොට වි‍ශේෂයෙන් දැනගන්නා ස්වභාවය කියන ධර්මතාව “විඤ්ඤාණය” පහළ වෙනවා ඇසත් රූපත් මුණ ගැහෙන කොට ඇසේ විඤ්ඤාණය, කණත් සද්දයත් මුණ ගැහෙන කොට කණේ විඤ්ඤාණය, නාසයත් ගන්ධයත් මුණ ගැහෙන කොට නාසයේ විඤ්ඤාණය, කයත් පොට්ඨබ්බයත් මුණ ගැහෙන කොට කයේ විඤ්ඤාණයද මනසත් අරමුණුත් මුණ ගැහෙන කොට මනසේ විඤ්ඤාණය පහළවීම නියත ධර්මතාවක්. විඤ්ඤාණය විපාක සිතක් හේතු යෙදීමෙන් පමණක් සැකසෙන්නක් ඒත් නිකංම්ම නෙවෙයි.
ධාතු ධාතු මුණ ගැහෙන කොට විඤ්ඤාණය සකස්වෙනවා ඒත් සමග “ඒකුප්පාද ඒකවත්ථුක,ඒකාලම්භන, ඒක නිරෝධ “ කියන ධර්මතාවයට අනුව චෛතසික 7ක් පහළ වෙනවා. විඤ්ඤාණය හා පෙර පසු නොවී පහළ වී එකටම නිරෝධ වන ඒ චෛතසික යන්ට කියන්නේ සබ්බ චිත්තසාධාරණ චෛතසික කියලා. මේවා කුසළ සහගත සිතේත අකුසළ සහගත සිතේ දෙකහිම යෙදෙනවා. ඒ තමා ස්පර්ශය, වේදනාව,සංඥා, චේතනා, මනසිකාර හෙවත් විතක්ක විචාර, ජීවිතේන්ද්‍රිය, ඒකග්ගතා කියලා 7ක්. අභ්‍යන්තර ආයතනයත් බාහිර ආයතනයත් මුණ ගැහෙන කොට මේ චෛතසික හත විඤ්ඤාණයත් සමග පහළවී එතැනම නිරුද්ධවෙනවා. චෛතසික කියන්නේ සිතේ ඇතිවන ඉතා සූක්ෂම ස්වභාවයන්. සිතෙහි ගුණ වෙනස් කරන්නට හැකි නාම ධර්ම සමූහයක්.
නිරතුරුවම මෙලෙස අභ්‍යන්තර බාහිර ආයතන මුණ ගැසීම හෙවත් ජීවත්වීම අපට මෙතෙක් තේරුම් ගන්න පුළුවන් වුණාද? පංච ආයතන‍යන්ගෙන් එකක් ක්‍රියාත්මක වීමට ගතවන ඉතාම සුළු ක්ෂණයක් තරම් කාලය අපට මනින්න බෑ. ඒත් නුවණින් දකින්න පුළුවන්. ඒ එක ආයතනයක් ක්‍රියාත්මකවී නැවත් මනායතන ක්‍රයාලියෙන් අනතුරුව වෙනත් පංචායතන ක්‍රියාවලියක් සිදුවන බව ගැඹුරු අභිධර්ම විවරණ සළකා බලන කොට වැටහෙනවා. එය ස්ථිරකරගැනීමට අපට උදාහරණයක් දෙන්න පුළුවන්. බලන දෙයක ඡායාව තප්පරයෙන් 10න් 1ක කාලයක් ඇසේ ඉතිරිවූවාසේ පෙණිම ගැන හිතන්න. නැතිනම් දෙයක් දුටු විගසම වේගයෙන් දෑස් පියා ගන්න එසැණින් ඉබේම එය දැකීමට ලක්වු තද හෝ ලුහුඩු ස්වභාවය අනුව සිහිකරන්න පුළුවන් නේද? 
මෙන්න මේ ආකාරයට සෑම ආයතනයකටම පසු මනායතන ක්‍රියාවලිය සිදුවන බව වටහාගන්න. මෙය සිදුවන විට යෙදෙන තවත් ධර්මතාවක් ඔබට හසුවේවි ඒ තමා මෙහි පාලකයෙක් අණ දෙන්න කෙනෙක් කරවන කෙනෙක්නැත කියන කාරණාව. කාගේවත් කැමැත්තකට පිනකට පවකට සිදුනොවීම කියන කාරණාවත් වැටහෙනවා නේද? සත්වයෙකුට හෝ පුද්ගලයෙකුට හෝ අයත් නැති බුදුවරු ඇති කල්හිත් නැති යම් කල්හිත් මේ ධර්මතාව මෙසේ පවතින්නක් වග අප වටහා ගන්න ඕන. නියාම ධර්ම සමූහයකට අදාළව ලෝකය ක්‍රියාත්මක වන බව තේරුම්ගත හැකි නම් ඔබට ආත්ම සංකල්පයෙන් මිදෙන්න පුළුවන්. අවිද්‍යා සහගත මනසට ආත්ම සංඥාව ඇතිවෙනවා. සබ්බාසව සූත්‍රයේදී බුදුන් වහන්සේ පෙන්වා වදාළේ මේ වැරදි දෘෂ්ඨියෙන් මුලින්ම මිදිය යුතු බවයි. ඒ දස්සනා පහාතබ්බා යනුවෙන් පැහැදිලි කළා. 
දර්ශනය හෙවත් දැකීම තුළින් ප්‍රහාණය කළයුතු කෙළෙස් 03යි. සක්කාය දිට්ඨියත් සීලබ්බත පරාමාශයනුත් සංයෝජන වන අතර ඒවා දෘෂ්ඨිද සංයෝජනද වෙනවා. විචිකිච්චාව යනු දෘෂ්ඨියක් නොව සංයෝජනයක්. යමෙක් තුළ මේ සංයෝජන ප්‍රහාණයවී ද ඔහු මාර්ගයට පිළිපන් අයෙක් ලෙස හදුන්වනවා.සම්මා දිට්ඨියට පැමිණි කෙනෙක් හෙවත් සෝත+ආපන්න නම් නිවන් මගෙහි පළමු පියවර තැබූ කෙනා සතර අපායෙන් නිදහස්. ආත්ම ලෙස සිතා සිටින ලෝකයන්ගේ සැබෑව මේ දහම දුටුවිගස බැහැරවෙනවා. පෙර ලෝකය පෙනූනේ ආත්ම ලෙස නම් දැන් මේ වර්තමානයේ යෙදෙන යථාර්ථය වටහාගැනීමම දිට්ඨි සම්පන්න වූ බවට සාධකයක්. 
බලන්න කාලය කියා දෙයක් තිබේද? එය හුදු මනඃකල්පිත ව්‍යවහාරයක්ම නෙවේද? ඊයේ පෙරේදා අතීතය නමින් සිහිකරන කිසිවක් අද නැත නමුදු මේ මොහොතේ එය ඔබගේ හැගීම් මාත්‍රයක්. හෙට දවස ගැන සිතන්න එයද කොතරම් දුරකින් සිහිකළද එයද වර්තමානයේ සිතුවිල්ලක්. වර්තමානය බිදකුදු නොරැදෙන සළකුණු කර පෙන්වීමට නොහැකි වේගවත් වෙනස්වීමක් තුළ පැනවෙන්නක්. එසේ නම් අතීතය අනාගතය හෝ වර්තමානය තිබේද? ඇතැයි කියා පෙන්වීමටත් බැරි, නැතැයි කියා බැහැරකරන්නටත් බැරි සංසිද්ධියක්, ඔබ මොහොතක් සිතන්න ඔබ ජීවිතය අත් විදින්නේ හරියටම වර්තමානයේ හරි මැදදී නෙවෙයිද කියලා. එයද හසුනොවී ඇදී යනවා. නමුත් සංකල්පනා බොහෝමයි. එය මනසම නොවේද? 
බුදු සමිදුන් දුටු ලෝකය අපට පෙනෙන්නේ කෙසේද? උන් වහන්සේ ලෝකය කීවේ කුමකටද? සතර සති පට්ඨාන දේශනාවේ පහදා දෙන ධම්මානු පස්සනාව බලන්න. එහි පෙන්වනවා, ‘චක්ඛුං ලෝකේ..පියරූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති මේ විදියට. රූපං ලෝකේ.. චක්ඛු විඤ්ඤාණං ලෝකේ.. චක්ඛු සම්පස්සෝ ලෝකේ...චක්ඛු සම්පස්සජා වේදනා ලෝකේ...රූප සංඥා ලෝකේ... රූප සංචේතනා ලෝකේ...රූප තණ්හා ලෝකේ... රූප විතක්කෝ ලෝකේ....රූප විචාරෝ ලෝකේ... මොනවද ඒ ලෝක කියලා බලන්න ඇස, රූපය, ඇසේ ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා, රූප සංඥාව, රූප සංචේතනාව, රූප තණ්හාව(ඇලීම) රූප විතර්කය,රූප විචාරය මෙන්න ලෝකය.
‘සෝතං ලෝකේ... සද්දෝ ලෝකේ.. සෝත විඤ්ඤාණං ලෝකේ.. සෝතසම්පස්සෝ ලෝකේ...සෝත සම්පස්සජා වේදනා ලෝකේ...සද්ද සංඥා ලෝකේ... සද්දසංචේතනා ලෝකේ...සද්ද තණ්හා ලෝකේ... සද්ද විතක්කෝ ලෝකේ....සද්ද විචාරෝ ලෝකේ... මොනවද ඒ ලෝක කියලා බලන්න කණ, රූපය, කණේ ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා, සද්ද සංඥාව, සද්ද සංචේතනාව, සද්ද තණ්හාව(ඇලීම) සද්ද විතර්කය,සද්ද විචාරය මෙන්න ලෝකය.
‘ඝාණං ලෝකේ... ගන්ධෝ ලෝකේ.. ඝාණවිඤ්ඤාණං ලෝකේ.. ඝාණසම්පස්සෝ ලෝකේ...ඝාණසම්පස්සජා වේදනා ලෝකේ...ගන්ධසංඥා ලෝකේ... ගන්ධසංචේතනා ලෝකේ...ගන්ධ තණ්හා ලෝකේ... ගන්ධවිතක්කෝ ලෝකේ....ගන්ධ විචාරෝ ලෝකේ... මොනවද ඒ ලෝක කියලා බලන්න නාසය ගද සුවද, නාසයේ ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා, ගන්ධ සංඥාව, ගන්ධ සංචේතනාව, ගන්ධ තණ්හාව(ඇලීම) ගන්ධ විතර්කය,ගන්ධ විචාරය මේ ලේකය.
‘ජිව්හා ලෝකේ... රසලෝකේ.. ‘ජිව්හා විඤ්ඤාණං ලෝකේ.. ‘ජිව්හා සම්පස්සෝ ලෝකේ... ‘ජිව්හාසම්පස්සජා වේදනා ලෝකේ...රසසංඥා ලෝකේ... රසසංචේතනා ලෝකේ...රසතණ්හා ලෝකේ... රසවිතක්කෝ ලෝකේ....රසවිචාරෝ ලෝකේ... මොනවද ඒ ලෝක කියලා බලන්න දිව, රසය, දිවේ ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා, රසසංඥාව, රසසංචේතනාව, රසතණ්හාව(ඇලීම) රස විතර්කය,රස විචාරය ලෝකයක්වෙලා නේද අපට.
‘කායෝලෝකේ... පොට්ඨබ්බෝලෝකේ.. කායවිඤ්ඤාණං ලෝකේ.. කායසම්පස්සෝ ලෝකේ...කායසම්පස්සජා වේදනා ලෝකේ...පොට්ඨබ්බසංඥා ලෝකේ... පොට්ඨබ්බ සංචේතනා ලෝකේ... පොට්ඨබ්බතණ්හා ලෝකේ... පොට්ඨබ්බවිතක්කෝ ලෝකේ.... පොට්ඨබ්බවිචාරෝ ලෝකේ... මොනවද ඒ ලෝක කියලා බලන්න කය, පහස, කයේ ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා, පොට්ඨබ්බසංඥාව, පොට්ඨබ්බසංචේතනාව, පොට්ඨබ්බ තණ්හාව(ඇලීම) පොට්ඨබ්බ විතර්කයපොට්ඨබ්බවිචාරය මෙන්න ලෝකය පැනවෙන විදිය. 
‘මනෝ ලෝකේ... ධම්මා ලෝකේ.. මනෝවිඤ්ඤාණං ලෝකේ.. මනෝසම්පස්සෝ ලෝකේ..මනෝසම්පස්සජා වේදනා ලෝකේ...ධම්මසංඥා ලෝකේ... ධම්ම සංචේතනා ලෝකේ...ධම්ම තණ්හා ලෝකේ... ධම්ම විතක්කෝ ලෝකේ....ධම්මවිචාරෝ ලෝකේ... මොනවද ඒ ලෝක කියලා බලන්න මනස, සිතුවිලි, මනසේ ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා, ධම්ම සංඥාව, ධම්ම සංචේතනාව, ධම්ම තණ්හාව(ඇලීම) ධම්ම විතර්කය,ධම්ම විචාරය මෙතැන කරුණු 10ක් තියෙනවා. 
මේ විදියටම කණ, නාසය, දිව, කය, මනස යන ආයතන වලින් ලෝක ගොඩනැගෙන හැටි විමසලා බලන්න. ආයතන 6කින් ආකාර 10ට මුලාව තුළ 60 ආකාරයකට ලෝකයට අප හසුවී ඇති බව ඔබට වැටහේවී. එයින් මිදෙන මග ලෙස බුදුන් වදාළේ මුලින් මෙහි ඇති තතු විමසා මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදෙන ලෙසයි. වැරදි ලෙසින් මම මගේ හා මගේ ආත්මය යැයි ගැනීම ඇති තැන සැබෑවටම ඇත්තේ කුමක්ද? ඇතැයි ගැනීම හෝ නැතැයි ගැනීම නිවැරදිදැයි යෝනිසෝ මනසිකාරය කර නුවණින් ම දකිමින් සම්මා දිට්ඨියට පත්විය යුතුය. අන්න එදාට ඔබට බුදු සමිදුන් ලෝකය දුටු ආකාරයට සෝතාපන්න ශ්‍රාවක මට්ටමින් වැටහිම ඇතිවේවී. ඔබ තුළ ශ්‍රද්ධාව පිරුණා වන්නේ එතැනය. 
මෙතෙක් මම කියා ගත්තේ ධර්මතා සමූහයකටය,මම යැයි සිතා සිටියේ ඇතිව නැතිව යන (මනසට හසුවන) බාහිර ඇතැයි සිතූ නමුදු මනසේම මායාවකට නේදැයි දකින්ට පුළුවන්. යම් ලෝකයක් ඇතැයි හෝ නැතැයි ඔබ සිතා සිටින්නේ නම් ඔබ පත්වූ මුලාව ඔබව සසර ඇවිද්දවන්නට සමත්වේ. සියලු කායික මානසික දුක් දොම්නස්වලට ඔබට අයිතිකරුවා විය හැක. එසේ වන්නේ ඇයි? ඔබගේ ඒ මුලාව හෙවත් අවිද්‍යා සහගත දිට්ඨිගත ඤාණ විප්‍රයුක්ත සිතුවිලි නිසාම තණ්හාව හටගනී. සත්ව පුද්ගල ද්‍රව්‍ය සංඥාව ඇති තැන ඔබ මුලාවට පත්ව තණ්හාවෙන් වෙලී යනු ඇත. ඒ තණ්හාවේ නිරෝධයම නිවණයි. 
මේ සසර දුකින් නිදහස්වී ඒ සදාතන සැනසිල්ලට පත්වෙන්න දැන් ඔබටත් මටත් කරන්නට දෙයක් තියෙනවාද? ඔව්, තමා තුළ ගුණ ධර්ම වඩවමින් නිරතුරු සිත් සතන් තුළ හටගන්නා කෙළෙස් මල සෝදා හරිමින් සිත පිරිසුදු කරගන්න ඕන. අපි මුලින්ම සිල්වත්වීම අත්‍යවශ්‍යයයි. නමුත් සිල් පද කියවලා නතරවීම හෝ සමාදන්වී නිකම් හිඳීම ප්‍රමාණවත් වෙන්නේ නෑ. සිල් පද රැකීම යනු කය වචනය සංවරකරගැනීම බව ඇත්ත. 
“තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤ්‍යෙන්ති මේ භික්ඛවේ. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේහී.....”
බුදුන් වහන්සේගේ ප්‍රථම දේශනාව වන ධම්මචක්ක සූත්‍රයේ පරිදි...දුක්ඛ ආර්ය සත්‍ය වන පංචුපාදානස්කන්ධ දුක පරිඤ්‍යෙය වූ හෙවත් පිරිසිඳ දැකිය යුත්තක්. 
“තං ඛෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සච්චං පහාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේහී....
දුක්ඛ සමුදයාර්ය සත්‍ය වන පටිච්චසමුප්පාදානුකූලව සකස් වන දුකට හේතුව වූ තණ්හාව ප්‍රහාණය කළ යුත්තක්. 
“තං ඛෝ පනිදං දුක්ඛං නිරෝධං අරියසච්චං සච්ඡීකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේහී.... ...
දේශනාව සිහිකරලා බලන්න. නිරෝධය සාක්ෂාත් කළයුත්තක්. දුකට හේතුව වූ තණ්හාව ප්‍රහාණය කිරීමේදී එතැන සාක්ෂාත් වන්නේ නිරෝධයයි. එය පටිච්ච සමුත්පාද නිරෝධයයි, එනම් දුක හැදෙන වැඩපිළිවෙල පරාජය කිරීමයි. 
“තං ඛෝ පනිදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරිය සච්චං භාවේතබ්බන්ති මේ භික්ඛවේ. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේහී......
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුත්තක්. භාවිත කිරීම කියන්නේ වැඩීමක් ගැනයි කියන්නේ. එය වෙනත් ක්‍රමයකට කොටස් කර පෙන්වන්නේ සීල සමාධී ප්‍රඥා වශයෙන්. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න තියෙන එකක් නම් සීලය මොකද කරන්න ඕන වඩන්න ඕන නේද? කොහොමද සීලය වඩන්නේ? සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුතුව සිල් පද කැඩෙන හේතුව වන අකුසළය පරාජය කිරීම නෙවෙයිද? අකුසළය පරාජය කරනවා යනු නීවරණ දුරු කරනවා නෙවෙයිද? නීවරණ දුරුකරනවා කියන්නේ මොකක්ද සමාධිය වඩනවා නෙවෙයිද? සතිය බලවත්වෙනවා නෙවෙයිද? එය සතිපට්ඨානය නෙවෙයිද? ඒ කියන්නේ සිහිය පවත්වනවා කියන එකනේද? සමාධිය වැඩෙනකොට එතැනදී ප්‍රඥාවෙන් ලෝකයේ ජීවිතයේ සැබෑව දකින්න පුළුවන් නේද? එයම යෝනිසෝ මනසිකාරය නේද? මෙතැනදී සත් තිස් බෝධිපාක්ෂික ධර්මමයි වැඩෙන්නේ.
මෙන්න බුදුන් වදාළ නියම මාර්ගය මේ ගැන සැකයක් තියෙන්න පුළුවන් ද? නෑ ඔබම තේරුම්ගන්න. විවිධ ආකාර විකෘති දහම් පැහැදිලිකිරීම් ඔස්සේ අතරමං වෙන්න එපා. කාගෙවත් අත්තනෝමතික අර්ථකතනයන්ට මුලාවෙන්න එපා. එක අකුරක්වත් නොඅඩුව ඉතා ම සුපිරිසුදුව ජීවමානව මේ දහම බැබැලි බැබලී තියෙනවා එය ඔබ තුළින් දකින්න උත්සාහකරන්න. මේ ලෝකය තුළ පවතින දහම මොකක්ද? ජාති ජරා මරණනේද? එය තියෙන තාක් ලෝකය පවතිනවා. ජාති ජරා මරණ ඇතිවෙන හේතුව ඔබ දන්නවා නම්? එය නවතන සුපැහැදිලි පරියාය ඔබට වැටහෙනවා නම් ඒ සඳහා වන මාර්ගය දන්නවා නම් ඔබම වඩන්න. කුකසක් සැකයක් කම්මැලිකමක් හෝ බියක් ඇති කරනොගෙන බුද්ධ ධම්ම සංඝ ගෞරවයෙන් ශ්‍රද්ධාව පූර්ණ වන තුරු වඩන්න. අවිද්‍යා සහගතව ලෝකය ජීවිතය නමින් පනවා ගත් ඔබ මුලාවූ දෘෂ්ඨි ජාලයෙන් මිදෙන්න. සත්ව පුද්ගල සංඥාවෙන් මිදෙන්න. අසුබ දේ සුබ හැටියට දකින, අනිත්‍ය වූ දේ නිත්‍ය විදියට දකින, දුක් දේ සැප වශයෙන් දකින, අනාත්ම දේ ආත්ම ලෙස දකින සතර සංඥා විපල්ලාසයෙන් මිදෙන්න. ලෝකයේ සැබෑව දකින්න. ඔබත් නිවුණු කෙනෙක් වෙන්න. ධර්මය සාන්දෘෂ්ඨිකයි. අකාලිකයි. ඒ මහා මුනිවර මහ ඉසිවර බුදු පියාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවක දරුවෙක් වෙන්න. 
සිල්වත්වෙලා සිහිය බලවත් කරගන්නට සතිපට්ඨාන භාවනාවේ යෙදෙමින් සමාධිමත් හිතක් ඇති කරගෙන ඔබටත් මේ නිවන් මග වඩන්නට තුණුරුවනේ අනන්ත සූවිසිගුණ බලයෙන් ශක්තිය ධෛර්යය වීරිය හා වාසනාවම ලැබේවා..!
තෙරුවන් සරණයි..!
************************************************************************
සාධු ! සාධු ! සාධු !........    _/\_    (Ananda Wijayaratna)

Wednesday, October 9, 2013

Danaganeemen Nivanata - Sinhala Dharma deshana

“භවය “ යනු කුමක්ද?



“භවය “ යනු කුමක්ද?
^^^^^^^^^^
මෙය බුදුසමය තුළ කෙතරම් විවරණය කළත් අප කැමති මේ ජීවිතයෙන් එහාට ගොස් අලුතින් තව එකක් පටන් ගන්නය. ඒත් “අනිච්ඡ“ තාවය (කැමති සේ නොපවත්නා බව) අමතක කරමු.

විපාක පිණිස කුශල හෝ අකුශල කර්ම සකස් වී තිබීම “භවය“යි. මේ ගැන සාරිපුත්ත මහ රහතන් වහන්සේ හා කොඩ්ඩිත හාමුදුරුවන් අතර ඇතිවූ දෙබස අනුසාරයෙනි.

(@) * භවය... යනු තමා කරන කියන දෙයක් නිසා ඇතිවේද?..
* බාහිර කෙනෙක් කරන කියන දෙයක් නිසා ඇතිවේද?
* තමා හා බාහිර පුද්ගල යන දෙගොල්ලම එක්ව කරන කියන දෙයක් නිසා ඇති වේද?
එසේත් නොවේ නම්............. 
* තමා හා බාහිර පුද්ගලයන් තනි තනිව හෝ දෙදෙනා එක්ව යමක් නොකර , නොකියා , 
සිටීමෙන් ඇතිවේද?
ඒත් නැත්නම්........
* ඉබේ හටගන්නා දෙයක් නිසා ඇතිවේද ?
කියා කොඩ්ඩිත හිමියෝ සැරියුත් මහ රහතන්වහන්සේ ගෙන් ඇසූහ.

එයට පිළිතුර දෙන සැරියුත් හිමි වදාළේ ඒ එකක්වත් නිසා භවය ඇති නොවන බවයි. එය හට ගන්නේ “උපාදානය“ හෙවත් තදින් බැදීයාම නිසා අල්ලා ගැනීම නිසා “භවය“ ඇතිවන බවයි.
එසේ නොකරන්න “භවය“ ඇති නොවේ කියාය.
තණ්හා නිසා උපාදාන සකස්වේ.
මේ විදිහට පටිච්ඡ සමුප්පාද දහමට ම හේතුද ඒ එකි නෙක කෙරෙහි මේ අයුරින්ම බලා තේරුම් ගත යුතුවේ.
සියල්ලනට මේ අවබෝධය වහ වහා ලැබෙත්වා!!!

Anandaw

නිවැරැදි බොදු මග විමසමු.

නිවැරැදි බොදු මග විමසමු.

සත්ව සංතානය, හෙවත් මිනිස් සිත. ප්‍රභාෂ්වර බවට, ....නිශ්චල බවට පත්කරන්නාවූ ධර්මතාවය........ “ බුද්ධ ඥානය“ වේ.
සම්මාදිට්ඨි, සම්මා සංකප්ප , ආදී ප්‍රඥාවේ අංගවල අග්‍රඵලය බුද්ධ ඥානයයැයි කිවද වරදක් නොවේ........දහම ප්‍රත්‍යක්ෂ වන්නේ එමගින් බැවිනි. 

ප්‍රත්‍යක්ෂ කළයුත්තේ කුමක් ද? .....

දහම පවා දැඩිව අල්ලා ගෙන අනෙක් පසින් ඉන් මිදෙන්න ? අත හරින්න උත්සහ කිරීම හරියට පැදුරේ සිට එය හකුලුවන්න ගන්නා බොලද උත්සහයක් මෙනි .......
“සම්මා සංකප්ප“ යනු තම සිත විමර්ශනය කර මේ අල්ලාගැනීම් අත්හළ යුතු බව දැනගැනීමය.
ඇසීම.... පෙනීම .... දැකීම .... දැනීම ... වැනි මේ ඉන්ද්‍රිය ගෝචර අරමුණු වලට පුද්ගලයෙක් රිංගවා...

අසනවා ... පෙනෙනවා .... දකිනවා .... දැනෙනවා ..... කියා කර්තෘත්වයක් ලබාදීම මේ සංකල්ප වල ඇරඹුමයි.

යමෙක් ඉන් බැහරව සමස්ථයක් ලෙස එක් ජීවියෙක් වෙන්කර නො ගෙන
හේතු + ප්‍රත්‍යය ක්‍රියාවලිය තේරුම් ගෙන එකි ප්‍රත්‍යවල බලපෑම සාර්ථකව ඉවත්කළ විට සසර නිරුද්ධ වේ.
බුදු දහම හුදෙක් “ආත්මය“ .. යන්නට විරුද්ධ පදයක් ලෙස “අනාත්ම“ය නො දක්වයි.
ආත්ම වන්නේ ඉහත දැක්වූ ද ......සොබාවිකව පවත්නාවූ ද කර්ම හෙවත් ක්‍රියාවන්ට කර්තෘත්වයක් දීමෙනි. අනාත්මය යනු එසේ කර්තෘත්වයක් නොදී සිටීමයි.

Ananda W.

Monday, October 7, 2013

සොබා දහම හා ලෝක ධම්මතාවය යනු එකක්ද? විමසමු.

සොබා දහම හා ලෝක ධම්මතාවය  යනු එකක්ද? විමසමු.


පළමු කොට අප කවුරුත් දන්නා සොබා දහම ගැන මදක් සිතමු. අප අවට පරිසරය හා බද්ධව පවතී. සූර්යයා මූලික කොට ඇති ආලෝකය .. වාතය ... ජලය..ගංගා ඇල දොල , ගහ කොල සතාසීපාවා, හා ද්‍රව්‍යමය දේ හා භෞතික වන්නාවූ ජීව රසායනික විවිධත්වයන් මත පදනම්ව ඇති ගිරි ශිඛර, කදු නිම්න, කාන්තාර,ක්ෂේම භූමි,මහ සාගර හා ජීව පද්ධති ,ඒවායේ හැසිරීම්, ගති සොබා, ඈත විශ්වයේ චලනයන් මත පදනම් වූ විද්‍යාවන් ,ක්‍රියාවලීන් ,යන එකී මෙකී .නොකී,සියල්ල “ ලෝකය“ වශයෙන් ගෙන සොබාදහම යන අපූර්වතම මාතෘකාව උපන් දින සිට අනුගත වෙමින් ආයාසයෙන් තොරවත්,ආයාසයෙනුත්, අප උගනිමු.


“ලෝක ධම්මතාවය“ කීවත් “සොබා දහම“ කීවත්  එකක්ම යැයි සිතෙන තරමට සමීපය. දාර්ශනිකයන් විසින් තම තම නැණ නුවණින් මේ විභාග කොට දර්ශනයන්, ආගම්, න්‍යායයන්,සංකල්පනාවන්, වරින් වර බිහිකර ඇත. තවදුරටත් ඒවා විභාග කරමින් නව සංස්කරණ එක්කරමින් , නව සොයාගැනීම් තුළ පරණ මතවාද දෙදරායාම් , බිද වැටීම් ද නිරන්තරව සිදුවේ.                     


 බුදු සමය හා ලෝක ධම්ම න්‍යායයන් විකාශනය වී ඇත්තේ දෙකක් වශයෙන් නොව එකක් වශයෙනි. ඒ නිසා විදුදරයන් ආගම් තුළ එකගවන්නේ  මැවීම් වාදයට වඩා ධම්ම නියාමයටය. ඒ තුළ නිත්‍ය නොවන බව, කාලයට හසු නොවන බව, කැමැත්ත පරිදි නොපවත්නා බව . හේතු ප්‍රත්‍යව සමුප්පන්නව ගලා යාම , වෙනස් නොකළ හැකි නියාම ධර්ම හා ඒවායේ සරල බව වගේම සංකීර්ණතාවය, පොදු වේ සත්ව,පුද්ගල,ද්‍රව්‍යය ,ස්වභාවයකින් තොරව, ලෝකෝත්තරව හෙවත් මේ ලෝකය යන සීමාවෙන් එහා සිට විමසීමක් කෙරේ.

මෙහි අගය ඇත්තේ සියලුම විෂයයන් ගේ වෙන්වෙන්ව සොයා බැලීමක් නොකර තම තම නැණ නුවණින් තමාතුළ බලා තමා තුළ ඇති  ගිනිගන්නා සොබාව නැති කොට ඒ ඒ මොහොතේ අරමුණු තුළ මධ්‍යස්ථවෙමින් කර්ම හෙවත් ක්‍රියාකාරකම් , සිතුම් පැතුම් මැනවින් ගලපා ගෙන තමා ලැබුවාවූ මිනිස් ජීවිතය තුළ,  මිනිසෙකු වශයෙන් එකිනෙකාට උපකාරවෙමින් මෙලොවින් සදහටම සමු ගැන්මය.

මිය ගිය කෙනාම නැවත ඉපදීමක් ගැන කතා නොකරන අතර නිරතුරුවම  ගලායන ආපෝ,තේජෝ,වායෝ.පඨවි, වැනි ශුද්ධ ධර්මතා එකට එක්කොට ගත් චලනයන් ගේ හැසිරීමක් විභාග කෙරේ. ඒ “ජාති“ “ජරා“ “මරණ“ වශයෙනි. ගුණාත්මක බවකට වඩා ඒ ඒ ක්ෂණයේ කැඩි බිදී යන සංසාර තත්වයක් හා ඒ හේතුවෙන් තත්පරයෙන් බිලියනයකින් පංගු වක් අතර පැන නගින පුනර් භව තත්වයක් විග්‍රහ කෙරේ.බුදු සමයට බල පෑ ආත්මීය වේදාන්ත ධර්මයන් හේතුවෙන් අද පුද්ගලයෙක් මෙලොව සිට පරලොවට පිං, පවු, හොද,නරක,ගෙනයමින් ඒ  මත ගසන කරණමක් චුති සිත ආත්මවාදීව විග්‍රහ කෙරේ.

කිසිදු විමසීමකින් තොරව ගිරවු මෙන් කටපාඩම් කර දෙසීමක් දක්නට ඇති අතර,  ඒවා කාලාමයන් මෙන් කිසිදු විමසීමකින් තොරව පිළිගෙන පුද , පූජා,විශ්වාස, ප්‍රාර්ථනා,  මාර්ගයේ යන්නන්වාලේ දුවන පිරිසක් “බුද්ධාගමක්“ කරපින්නා ගෙන යනු පෙනේ.      ඔවුහු “ සම්බුද්ධත්වය“ පවා දකින්නේ බාහිරව  ලස්සණ පුද්ගලයෙක් ලෙසය. දහම දකින්නේ ද  පුද්ගලත්වය තුල තම නමට ලියාගත්  “ බුදු+දහම“  විලසිනි. ඒමදිවාට ආමිෂ ප්‍රාර්ථනාවෙන්ම ආයාසයකින් තොර දහමකට අනුගතව නිවන් පෝලිමේ සිටිති.

(අදහස් දැක් වීමට විවෘත අතර දැනුම පසෙක ලා ඒ තම ස්වයං විමසීමකින්ම කරන මෙන් ඉල්ලමි. )

සම්මා සම්බුදු සරණයි!!!      ( සම්මා සම්බුද්ධ යනු ද ස්වයං අවබෝධයම බව සළකන්න) 
ආනන්ද විජයරත්න  http://httpswwwfacebookcomgroupsmindc.blogspot.com/

Sunday, September 22, 2013

කුසල් කොට අප ප්‍රාර්ථනය කරන ධනය හා බලය යහපත පිණිස වේද?

කුසල් කොට අප ප්‍රාර්ථනය කරන ධනය හා බලය  යහපත පිණිස වේද?

අප අපමණ කුසල් කරමින් ධනය .... බලය... කීර්තිය .... පරිවාර සේනාව...ප්‍රාර්ථනය කරමු. 
මෙම බලයන් දෙව්දත් තෙරුනටද වීය. ඔහු හා ඔහු ගේ පරිවාර භික්ෂූන්ට දිනපතා හැලි 500 බැගින් අජාසත් රජු ගේ මාළිගයෙන් ආහාර  සැපයිනි. ඔවුහු පින්ඩපාතයේ නොගොස් සුවසේ වලදමින් කල් ගෙවූහ. 
ඒත්  බුදුහිමියන් ගේ  ශ්‍රාවක සංඝයා අපමණ  දුක් ගැහට විදිම්න් පින්ඩපාතයේ ගොස් වේල සරිකර ගනිමින් කල් ගෙවීම අප ගේ අභාග්‍යයක් දැයි විමසා සිටියහ.

ඊට පිළිතුරු වශයෙන් හිමි වදාළේ එම සැපතට නොරැවටෙන ලෙසයි. දැලිපිහිය ඔබට හිස මුඩුකරගැන්මට වගේම ගෙල සිද ගැනීමටත් උපකාර වන්නාසේ.... ධනය/බලය/කීර්තිය/පිරිවර/
කුසල හා අකුසල යන දෙක්හිම පොදුවේ ක්‍රියාත්මක වන බවයි.
ඔබ යහපතක් කිරීම පිණිස ආයුධයක් පතයි.එය ඔබ අතට ලැබේ..................
ඔබ අයහපතක් කිරීම පිණිස ආයුධයක් පතයි. එය ඔබ අතට ලැබේ...............
මෙකී ධන බලයන්ද එපරිද්දෙන්ම ආයුධවේ. එහි  ඇලිම යහපත පිණිස  නොමවන්නේයැයි පිළිවදන් දුන්හ.
ආනන්ද විජයරත්න

Monday, September 16, 2013

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

ගමන ඉවරත් නොමැති
යන ගමනකුත් නොමැති තුන් කලට වහල් නිති 
ඔබත් ඔරලෝසු කටුවක්‌ද?

ඔබ මොහොතක්‌ සිතන්න. අපි අවිද්‍යාව නිසා මොනතරම් වැරදි දෘෂ්ඨිවල ඉන්නවාද කියලා. ඔබට සිතෙන්නේම "දැන් ශාසනයෙන් වසර දෙදහස්‌ පන්සීයක්‌ ගෙවිලා අවසන්, දැන් ශාසනය අතුරුදන් වන යුගය, ධර්මය අවබෝධකර ගැනීමට මේ වකවානුවේ නොහැකියි. පිනක්‌ දහමක්‌ කරගෙන, පාරමී සම්පූර්ණ කර ගැනීමයි කළ යුත්තේ" කියලා.

මේ සියලුම දෘෂ්ඨීන් අවිද්‍යාව නිසා ඇතිවන ඒවාය. සමාජය දෙස බැලීමේදී අපි දකින්නේ විකෘති ස්‌වභාවයන්ය. අනාගතයේදී ඇතිවන විකෘති ස්‌වභාවය ගැන කොසොල් රජතුමාගේ සිහින විස්‌තර කිරීමේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මනාව පෙන්වා දී ඇත. වර්තමානයේ අපි කවි බණ, විරිදු බණ, කාලීන බණ, දෙපිට කැපෙන වචන යොදන බණ ආදිය අසන්නෙමු. අනාගතයේදී අපට සින්දුවෙන් බණ කියන ස්‌වභාවය දැකිය හැකිය. ස්‌වාමීන්වහන්සේ ධර්මාසනයේ සිට ධර්මගීතය ගායනා කරන විට ඒ අසළ සිටින සංගීත කණ්‌ඩායම එම ධර්ම ගීතයට සංගීතය සපයනු ඇත. මේවා ජනතාව අතර, විශේෂයෙන්ම තරුණ පරපුර අතර, ඉතා ජනප්‍රියභාවයට පත්වේ. ජනතාව, තරුණ පරපුර ධර්මයට යොමු කිරීම සඳහා පාලකයන් ද, මාධ්‍යය ද තව තවත් ධර්ම ගීත ප්‍රචලිත කරනු ඇත. මේවාට ඔබ කලබල විය යුතු නැත. මේවා ලෝකයේ ස්‌වභාවයන්ය. අපි කලබල වියයුත්තේ මෙසේ නොවුනහොත්ය.

අපි කළ යුත්තේ ලෝකයේ මෙම ස්‌වභාවය හඳුනාගෙන ලෝකයෙන් මිදීයැමට වෙර දැරීමය. ලෝකයේ ස්‌වභාවය අපට වෙනස්‌ කළ නොහැකිය. ඔබ මේවාට ගැටුනහොත් ඔබ ගැටෙන්නේ ධර්මය සමඟය. ලෝක ස්‌වභාය සමඟය. අප කළ යුත්තේ ගැටීම නොව අවබෝධ කරගැනීමය. ඔබ අතීතයද, අනාගතයද අතහැරිය යුතුය. වර්තමානය තුළ පමණක්‌ ජීවත්විය යුතුය. නිවන් මඟ වඩන්නා යනු වර්තමානය තුළ ජීවත් වෙන්නාය. හෙටක්‌ ගැන බලාපොරොත්තුවක්‌, ඊයේ ගැන පසුතැවීමක්‌ ඔහුට නැත. වර්තමානය තුළද ඔහු දැකිය යුත්තේ මොහොතකින් අතීතයට යන, මොහොතකට පෙර අනාගතය වූයේ වර්තමානය බවයි. එසේනම් වර්තමානය ද මායාවකි, මුලාවකි. එය නිරතුරුවම වෙනස්‌ වෙයි. කාලය වෙනස්‌වීම අවබෝධයෙන් දකින්නා කාලසටහන්වලින් ඉවත්වේ. කාලසටහන් පාවිච්චි කළ හැක්‌කේ එකිනෙකට වෙනස්‌ විෂයන්ටය. එහෙත් විශ්වය තුළ ඇත්තේ එකම විෂයකි. එකම පාඩමකි. එය නම් අනිත්‍යයයි.

ඔබ ජීවත්වන්නේ ද අනිත්‍යය තුළය. එහෙත් ඔබ එය නොදනී. අනිත්‍යභාවය නිසා ඇතිවන දුක නැති කරගැනීම සඳහා ඔබ වෙහෙසේ. ඔබ තුළ ඇති තරගකාරීත්වයද, වේගයද, අනිත්‍යභාවය නිසා ඇතිවන දුක අවසන් කරගැනීම සඳහා ඔබ ගන්නා ව්‍යයාමයේ ප්‍රතිඵලයකි. ජීවත්වීම යනුවෙන් ඔබ කරන්නේ ඔය කාර්යයයි. අබෞද්ධ පිංවතුන්ටද, සියලු සත්වයාටමද මෙය පොදුය. ඔබ සිනාසෙන්නේ සතුටට යෑයි ඔබට සිතෙනු ඇත. නැත. ඔබ සිනාසෙන්නේ දුක නැතිකර ගැනීම සඳහාය. ඔබ ආහාර ගන්නේ කය පිනවා ගැනීමට නොව කුසගිනි දුක නැතිකර ගැනීමය. ඔබ ඖෂධ ගන්නේ ශරීරය සතුටු කිරීමට නොව මරණයෙන් බේරීමටය. ඔබ ශරීරයේ සුවඳවිලවුන් තවරා ගන්නේ ශරීරයෙන් හමන දුගඳ දුරුකර ගැනීම ය. ඔබ හිසකෙස්‌ කළුකර ගන්නේද සුදු හිසකෙස්‌ නිසා ඇති වන දුක නැති කර ගැනීමටය. බලන්නකෝ "මම, මගේ" යෑයි ඔබ ගොඩගසාගෙන සිටින දුක්‌ කන්දක විශාලත්වය.

හොඳයි ඔබ මෙහෙම සිතන්නකෝ. ඔබ පන්සලට ගිහින් බුදුන්වඳින්නේ අපායට, දුකට වැටෙයි කියලා බයට. එතැනදී ඔබ මොකද කරන්නේ. දිව්‍යලෝක, මනුෂ්‍ය ලෝක ප්‍රර්ථනා කරනවා. බලන්න ඔබ දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරනවා. මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙමින් එම දුකම ප්‍රාර්ථනා කරනවා. අනිත්‍යභාවයට පත්වෙන දිව්‍යලෝක දුකම ප්‍රාර්ථනා කරනවා. පිංකම් කරලා දුකම ප්‍රාර්ථනා කරනවා. පෘතග්ජන සත්වයා අගමුල පැටළුණ නූල් බෝලයක්‌ වගේ යෑයි ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කළේ මේ නිසාය.

හැබැයි ඔබ නිවීසැනසිල්ලේ වීර්යයෙන් සතියෙන් මේ නූල්බෝලයේ පැටළුම ලිහාගතහොත්, ඔබට එහි අගක්‌ මුලක්‌ මැදක්‌ හොඳට දකින්න පුළුවන්. ලෙහාගන්න පුළුවන්කම තිබීයදීමයි ඔබ මේ පැටලී සිටින්නේ. ඔබ මේ නූල්බොලයේ පැටලිල්ල ලිහාගතහොත් ඔබ නූල්බෝලය නැවත බදාගන්නේ නම් නැහැ. මොකද ඔබ අවබෝධයෙන් දන්නවා නූල්බෝලය පැටළුම් ස්‌වභාවයෙන් යුක්‌ත බව. මේ පැටළුම ලිහාගන්න ඔබට කාලය ප්‍රශ්නයක්‌ නැහැ. හැබැයි ඔබට නිහතමානීකම තිබෙන්න ඕනේ. නිවන් මඟ නිවීමේ ශබ්දකෝෂයේ "අ"යන්න නිහතමානී කමයි. නිහතමානීකම නොමැති කිසිවෙකුට නිවීමේ ප්‍රතිපදාවේ දශමයක්‌වත් ඉදිරියට යා නොහැකිය.

භික්‍ෂුව ගිහි කාලයේදී කොතැනින්ද, කවුරුන්ගෙන්ද යමක්‌ ඉගෙනගැනීමට හැකි.... ඒ සැමදෙනාටම සවන්දුන්නේය. ජාතිය, ආගම, වයස, තරාතිරම, නොබැලූවේය. ගතයුත්ත ගත්තේය. අත්හලයුත්ත අත්හැරියේය. වරක්‌ භික්‍ෂුව ගිහිකාලයේදී ප්‍රධාන නගරයක ගමන්කරන විට යාචක මනුෂ්‍යයෙන් දැඩි වේදනාවකින් පෙළෙමින්, තම ගුදමාර්ගයෙන් ඉවතට පැමිණි අඟල් හයක්‌ පමණැති ශරීර අවයවයක්‌ ශරීරය තුළට ඔබනවා දුටුවේය. එය අර්ශස්‌ රෝගයේ දරුණු අවස්‌ථාවකි. මේ යාචක පිංවතාගෙන්ද භික්‍ෂුව නිවීමට අවශ්‍ය කලමනා සොයාගත්තේය. කුඩා දරුවෙක්‌ගෙන් ඔබට යමක්‌ ඉගෙනීමට හැකිනම් ඔබ එය ඉගෙනගත යුතුය. එය කළහැක්‌කේ නිහතමානීකම තිබුනොත්ය. නිවීමේ මඟ උදෙසා ඔබට මවුකුස පිළිසිඳ වැඩෙන කලල රූපය තුළින් ලැබිය හැකි අවබෝධය, මහා පඬිවරයෙක්‌ගෙන් ලැබිය නොහැකිය. මන්ද මහා පඬිවරයා පිළිබඳව ඔබට නිවැරදිව අවබෝධය ලබාගන්නට නම් ඔහුගේ කලල අවස්‌ථාවට, බිළිඳු අවස්‌ථාවට යායුතු හෙයිනි. මේ දැකගැනීමට ඔබ තුළ නිහතමානීකම තිබිය යුතුය.

තමා ශිල්වත් බවත්, භාවනාවෙන් ඉහළ තත්ත්වයක සිටින බවත් සිතමින්, මහා සංඝරත්නයට නොවඳින පිංවතුන්ද සිටියි. ධර්මය දැනීමට නම් අවම වශයෙන් ඔහු තුළ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක්‌ තිබිය යුතුය. සමහරවිට ශීල, සමාධි, භාවනා මාන්නය නිසා මහා සංඝරත්නයට නොවඳින පිංවතුන් සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික භාවයේ වීමටද ඉඩ ඇත. මේවා නිහතමානී නොවීමේ ප්‍රතිඵලයයි. මහාසංඝරත්නයට නමස්‌කාර කිරීමට එම පිංවතුන්ට හිස නොනැමෙන්නේ ඒ පිංවතුන්ගේ හිස මාන්නයෙන් බරව ඇති නිසාය. අබුද්ධෝපත්ති කාලයේදීත් පසේබුදුවරු ලොව පහළවී ධර්මය අවබෝධ කරගෙන නිවන් දකිති.

උන්වහන්සේලා මනුෂ්‍ය ලෝකයේ මව්කුසක උපත ලබා ගන්නේ සංසාරයේ පුරණ ලද පාරමී ශක්‌තිය අධ්‍යාත්මය තුළ දරාගෙනයි. සංසාරයේ පුරණ ලද අනිත්‍යසංඥාවේ ඉව උන්වහන්සේලාගේ අධ්‍යාත්මය තුළ සැඟවී තිබෙනවා. උන්වහන්සේලා තනිවම, හුදෙකලාවේ වනගතව ධර්මය අවබෝකර ගන්නවා. හැබැයි අවබෝධකරගත් ධර්මය පසේ බුදුවරු විසින් ජනතාවට දේශනා කරන්න යන්නේ නැහැ. ඒ උන්වහන්සේලාට දේශනා කිරීමේ ශක්‌තිය, අවබෝධය නැති නිසා නොවෙයි. ධර්මය අවබෝධය ලැබුවා කියන්නේ එහි ස්‌වභාවය දැක්‌කා කියන එකයි. ධර්මයේ ස්‌වභාවය දැක්‌කා නම් එය දේශනා කරන්න බැරිවෙන්න බැහැ. ඔබ පිටකොටුවට ගියානම් ඔබ දන්නවා බස්‌නැවතුම, දුම්රියපළ, බෝසමිඳුන් කොතැනද සිටින්නේ කියලා පිටකොටුවේ ස්‌වභාවය ගැන කියන්න. ඔබට එය කියන්නට බැරිනම් ඔබ නියත වශයෙන්ම පිටකොටුවට ගිහින් නැහැ. පසේබුදුවරු තමා අවබෝධකරගත් ධර්මය අනුනට දේශනා නොකරන්නේ ධර්මය අවබෝධයට තබා, ධර්මයට ගරුකිරීමටවත් විශමවූ, පාපකාරී, මිත්‍යාදෘෂ්ඨික අබුද්ධෝත්පාද කාලයකදී කෙනෙකු නොමැතිවීමයි. පසේබුදුවරු එවැනි කාලයකදී එවැනි මිනිස්‌ සමාජයකට ධර්මය දේශනා කිරීමට ගියහොත් එම සමාජය පසේබුදුහිමිට "පිස්‌සෙක්‌" යෑයි පරිභව කරනු ඇත. පහරදෙනු ඇත. මෙවැනි හේතූන් නිසා මිනිසා රැස්‌කරගන්නා අකුසල්වල ප්‍රමාණය උන්වහන්සේලා හොඳින්ම දනියි. ඒ නිසා පසේබුදුරජාණන් වහන්සේලා වනයේ හුදෙකලාවේ වැඩසිටිමින් පිරිනිවීයති. උන්වහන්සේලා මිනිසාට දේශනා කිරීමට නොයන්නේ ඔවුන් කෙරෙහි ඇති කරුණාව, මෛත්‍රිය නිසාමය.

මෙවැනි විශම කාලවලදීත් පසේබුදුවරු ධර්මය අවබෝධ කරගන්නේ නම්, ධර්මය අවබෝධ කරගැනීමට කාලය ප්‍රශ්නයක්‌ නොවේ. ප්‍රශ්නය ඇත්තේ ධර්මය අවබෝධකර ගැනීමට ඔබ කාලයට භාරදීමයි. කාලය තුළ ඇත්තේද වෙනස්‌වීම, ගෙවීයාම පමණක්‌මය. අතීතයද, වර්තමානයද, අනාගතයද නිරතුරුවම වෙනස්‌වන, අනිත්‍යයට පත්වන ස්‌වභාවයන්ය. මෙතුවක්‌ කලක්‌ සංසාරයේදී කාලය විසින් ඔබව රවටා ඇත. ඔබව රැවටීමට කාලයට උදව් කළේ අවිද්‍යාවයි. නිත්‍යභාවයේ නැති අනාගතයකට, ධර්මාවබෝධය ලැබීම භාර කරන පෘතග්ජන සත්වයා දිය පිපාසයෙන් මිරිඟුව පසුපස දිවයන මුවෙක්‌ සේ නැති අනාගතයක්‌ පසුපස දිවයයි. ඔහු දිවයන වේගයෙන්ම ඔහු සොයන අනාගතයද අවිද්‍යාව විසින් ඉදිරියට දුවවනු ඇත. මේ අවිද්‍යාවෙන් ඔබ නොමිදුනොත් දිවීමත්, හතිදැමීමත්, දුකත් හැර ඔබට අනාගතයක්‌ හමුනොවනු ඇත. කල්ප ගණනක සිට අනාගතයට දිවයමින් හතිදමමින් මේ මොහොතේ ඔබ සිටින්නේද එම ස්‌වභාවයේමය. මේ මොහොතේද ඔබ නිවන්මඟ වැඩීම කල්දමා ඇත. සමහරු මෛත්‍රී බුදුසමිඳුන් දැක නිවන් දැකීම පිණිස කල්ප ගණනක්‌ අනාගතයට ගොස්‌ ඇත. නැති අනාගතයක්‌ ඉලක්‌ක කරමින්, ධර්මය අවබෝධකර ගැනීමට ඔබ ලැබූ මේ උතුම් අවස්‌ථාව අපතේ හැරීමකි ඔබ මේ කරමින් සිටින්නේ.

අවබෝධය අතින් ඔබ මෙතැනැයි සිටින්නේ කියලා අධිතක්‌සේරුවකට එන්න එපා. මොකද ඔබ මෙතැනයි ඉන්නේ කියලා කියන්න ස්‌ථිර, වෙනස්‌ නොවන තැනක්‌ ලෝකයේ නැහැ. ඔබට, මම මෙතැන සිටිනවාය කියලා රැඳීසිටින්න බැහැ. ඔබට එහෙම සිතෙනවානම් ඔබ සිටින්නේ අන්තිමයාටයි. ඔබට ප්‍රථමයා වෙන්න නම්, ඔබට දැනෙන්න ඕනේ ඔබ සිටින්නේ අනිත්‍යය තුළයි කියලා. ස්‌ථිර තැනක්‌ නැති ලෝකයේ ඔබ කළ යුත්තේ ස්‌ථිර තැන් සෙවීමට නොව අස්‌ථිර ලෝකයෙන් මිදීයැමය. කාලය තුළ අතීත, අනාගත වර්තමාන වශයෙන් ස්‌ථිර යමක්‌ නොමැත. කාලය යනු අනිත්‍යයයි. එනිසා කාලය, වේලාව ඔබ අත්හරින්න. එවිට අතීත, අනාගත, වර්තමාන තුන් කාලයම ඔබට අතහැරේවි. ඔබට එසේ දකින්නට බැරිනම් ඔබ සිතන්න, සංසාර ගමන්මගේ ඔබ ගතකරන මේ මොහොත හොඳම කාලය බව. ධර්මය අවබෝධකරගැනීම පිණිස මෙවැනි කාලයක්‌ තව කල්ප ගණනාවකට ඔබට නොලැබේවි. ඉක්‌මනින් හිතන්න. වර්තමානය අතීතයට යනවා. අනාගතය වර්තමානය වෙනවා. ඔබ නැති අනාගතයක්‌ දකිමින් දුක සමඟ පෙරටම යනවා. අනාගතය, අනාගතය.... කියලා මාරයා ඔබට ලොකු කැරට්‌ අලයක්‌ දික්‌කරනවා. දුක සැපක්‌ කරගත්ත, සැප බලාපොරොත්තුවක්‌ කරගත්ත අපි මේ යන්නේ නැති අනාගතයක්‌ සොයාගෙන.

ඉන්ද්‍රජිත් සුබසිංහ

Saturday, September 7, 2013

සුනීත ඔසවා ගෙන සිටි අශූචි කද බිම හෙළයි.. අවබෝධයට පත්වෙයි.

සුනීත ඔසවා ගෙන සිටි අශූචි කද බිම හෙළයි.. අවබෝධයට පත්වෙයි.
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
අප අල්ලාගෙන සිටින දහම නමැති දැනුම විසිකරන්න මැළිවෙමු. ඒ නිසයි මේ වාද විවාද. ඒ අප ගේ මහන්තත්වයට හානිවේය යන බියෙනි. තමා ගේ නමට තරම් ඇල්මක්,බැදීමක් තවත් ඇත්තේ නැත.
නමුත් ඒ අපට කිසිවෙක් දුන් අංකයක් පමණි.
සුනීත යන නමද ඉතා ප්‍රණීතය. 
ඒත් ඔහු එම වසුරු කද 2 පාරක් නොසිතා විසිකළේය.
ඇයි අපට බැරි?
1. “පෙර භවයේ අප සිත පුරුදු නොකළ බැවිනි.“
2. පිං මද බැවිනි. ( බදු හිමි ඔවදන මෙයද? )
මෙයයි වසුරු කද . අසාගත් දැනුම අපට උගන්නවා ඇති දෙයයි. අප එය අතහරින්න කැමැති නොවෙමු. එතෙක් අප සත්‍ය දකින්නේ ද නැත.

අලුත් ඉරකි පායන්නේ, අලුත් දවසකට පැතුම් ගෙනෙන්නේ?

අලුත් ඉරකි පායන්නේ, අලුත් දවසකට පැතුම් ගෙනෙන්නේ?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

අපිට හැමදාමත් අලුත්ම අලුත් (brand new) ඉරක් පායයි. අලුත්ම අලුත් දවසක් උදාවෙයි. ලෝ වැසි සියල්ල අලුත් දවසකට පැතුමන් එක් කරත්.
අද පායාපු ඉර නෙමේද ඊයේ පෑව්වේ? කියා ඇසුවොත් උත්තරය වෙනස් වේවි. කැලැන්ඩරයෙන් කොලයක් ගැලෙව්වාට ආපු අලුත් දිනයක් වේද? මේ තමා සම්මුතිය.
කඩදාසි කොළ ටිකක් හැමෝම එකතුවී මුදල් යනුවෙන් සම්මත කර ඒවා ගනුදෙනුවලට යොදා ගමු.රුපියල් 5000 නෝට්ටුව අද මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු වේ. කියා රජය නිවේදනය කළොත් එය එසැණින් හිස් කරදාසියකි.
කාලය පැයක් දෙකක් එහෙමෙහෙ කොට ගැනීම අද ලොව සාමාන්‍ය දෙයකි. ඒත් අප එම බොරුව අනුව යමින් උපන්දින සාද පවත්තමු. නැති කාලයක් ගෙන වයසට පත්වෙමු. ආයු වළදා දිවංගත වෙමු. එහා ලෝකයට දින දා ගෙන යන්න බලමු.අපායට යන්න දින දාගමු. 

Monday, August 26, 2013

ජීවිතය යනු කුමක්ද?.. දකින්න... යථාර්ථය.

පෙර නොතිබීම ඇසට*චක්ඛු ධාතුව+රූපාරම්මණය හෙවත්රූපායතනය* රූප මුණ ගැහීම සමග පහළවන ධර්මතාව විඤ්ඤාණයට කියන්නේ චක්ඛු විඤ්ඤාණය*චක්ඛායතනය සැකැස්ම* =(තිණ්ණං සංගති ඵස්සෝ) +වේදනා සංඤා චේතනා තණ්හා මනසිකාර---නැවත*මනධාතුවට ධම්ම ධාතුව* මනසට අරමුණ මුණ ගැහීම සමග පහළවන ධර්මතාව විඤ්ඤාණයට කියන්නේ ම‍නෝ විඤ්ඤාණය*මනායතනය සැකැස්ම* =(තිණ්ණං සංගති ඵස්සෝ) +වේදනා සංඤා චේතනා තණ්හා මනසිකාර----------මෙම ක්‍රියාවලිය අනාත්මයි, සත්ව පුද්ගල සංඥාවෙන් තොරයි.මම යන්න මුලාවක්.
දකින දෙය ස්ථිර ලෙසම තියෙනවා යන මුලාවෙන් තොරවන්නට නම් යම් සම්මුති නමකින් ස්වභාවයකින් තොරව දකින්නට නම් පෙනෙන විටම අදහස විය යුත්තේ මේ දැකීම පෙර නොතිබීම හටගෙන එතැන ම ඉතිරි නැතිව අවසන් වන බවත් නැවත සිහිවෙනවා නම් එය මනසේ මුලාවක්මයි යනුවෙනි.මනසින් සිහිකිරීමේදී ද මනසද පෙර නොතිබීම හටගෙන එතැන ම ඉතිරි නැතිව අවසන් වන බවත් නැවත නැවත අඛණ්ඩව මේ සිද්ධාන්තය සිදුවීම බව වටහාගත යුතුය. ආයතනයෙන් ආයතනය මෙසේ සිදුවෙයි.
ඇස- මාංශ චක්ෂුසය (සම්මුතිය තුළ පමණක්හමුවේ)-
(පරමාර්ථ විමසීමේදී)-චක්ඛු ධාතුව-චක්ඛු ඉන්ද්‍රිය- මෙය සතර ධාතු නොවේ.
සම්මා දිට්ඨිය ඇතිවීමට මෙසේ වඩමු
දකින සියල්ල ඇසේ ස්පර්ශය ලෙසද,(චක්ඛු සම්පස්සය)
ඇසෙන සියල්ල කණේ ස්පර්ශය ලෙසද,(සෝත සම්පස්සය)
නාසයට දැනෙ ගන්ධයෝ සියල්ල නසයේ ස්පර්ශය ලෙසද,(ඝාණ සම්පස්සය)
දිවට දැනෙන සියල්ල දිවේ ස්පර්ශය ලෙසද,(ජිව්හා සම්පස්සය)
කයට දැනෙන පහස් සියල්ල කයේ ස්පර්ශය ලෙසද,(කාය සම්පස්සය)
සිතුවිලි සියල්ල මනසේ ස්පර්ශය ලෙසද,(මනෝ සම්පස්සය)
ජරා මරණ
මේ මොහොතේ ඇතිව නැතිව යන ධර්මතාව වන ඒ ඒ ආයතන 6 තුළ පංචුපාදනස්කන්ධ සැකසීමත්
ආයතන 6 සැකසීමත් (චක්ඛායතන සෝතායතන.....මනායතන)
හේතු යෙදෙන කොට ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන නිසා ඵලය ද අවසන් (සන්තතිය නිසා මෙය නොපෙනේ)
ඉහත ජරා මරණ ලෙස ප්‍රපංච ඔස්සේ මේ මොහොතේ පැනවෙන සියල්ල සිහිකරන්න එලෙසින්ම.
ඇති බවට හෝ නැති බවට මේ මොහොතේ හමුවන සියල්ල දෙස විමසිලිමත්වන්න. ඇසට හමුවන වර්ණ සටහන හැර වෙන යමක් තිබේද? ඒ ඔස්සේ සිතින් පනවා ගන්නා හැඩ තලය ප්‍රමාණය වටිනාකම් කැමැත්ත අකැමැත්ත ආදිය තිබුනේ ගොඩනැගුනේ කොහේද? සිතේය.
එසේනම් දකින සියල්ල ඉදිරියේ මුලා නොවිමට දකින මොහොතේම සිතන්න සියල්ල වර්ණ සටහන් ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
ඇසෙන සියල්ල ඉදිරියේ මුලා නොවිමට අසන මොහොතේම සිතන්න සියල්ල ශබ්ද රූප ලෙසත්, සද්දායතන ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
නාසයට දැනෙන ගන්ධයන් සියල්ල ඉදිරියේ මුලා නොවිමට නාසයට ගන්ධයන් දැනෙන මොහොතේම සිතන්න සියල්ල ගන්ධ ධාතුව හෙවත් ගන්ධ රූපය ලෙසත්, ගන්ධායතන ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
දිවට දැනෙන රස සියල්ල ඉදිරියේ මුලා නොවිමට රස දැනෙන මොහොතේම සිතන්න සියල්ල රස ධාතුව ලෙසත්,රසායතනය ලෙසත් රස රූපය ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
කයට දැනෙන පහස සියල්ල ඉදිරියේ මුලා නොවිමට කයට පහස දැනෙන මොහොතේම සිතන්න සියල්ල පොට්ඨබ්බය ලෙසත්, පොට්ඨබ්බායතනය ලෙසත්
පොට්ඨබ්බ රූපය ලෙසත් ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
සිතෙන සියල්ල ඉදිරියේ මුලා නොවිමට හිතෙන මොහොතේම සිතන්න සියල්ල සංකල්පනා ලෙසත්, මනායතනය ලෙසත්, විත්තජ රූප ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
සම්මා සංකල්පයන් ගෙන ලෝකය දකින්න. (නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා)
පරිහරණය කරන සියල්ලෙහි ආශ්වාදයන්ට වඩා ආදීනව වැඩි ලෙසින් දැක නිස්සරණයන්ට හිත තබන්න.
සංඤා විපල්ලාසයන්ගෙන් තොරව දකින්න. සැප ලෙස නොව දුක් වශයෙන්ද, සුබ ලෙස නොව අසුභ වශයෙන්, නිච්ච ලෙස නොව අනිච්ච වශයෙන්, ආත්ම ලෙස නොව අනාත්ම වශයෙන් දකින්න.
මහා භූත හා උපාදාය රූප කිසිවක් ආත්ම ස්වභාවයට අයත් නැති වග දකින්න
රූපය මනසේ හුදු මායාවක් පමණි. වර්ණ ධාතු ඔස්සේ හැඩ තල මනසින් ගනිමින් බාහිරින් දැකීම අවිද්‍යාවයි.
ලෝකය නමින් මේ මොහොතේ මනසට හමුවන හේතු යෙදෙන කොට ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන සියල්ල මනසේ මායාවන් පමණි.
කාල පරාශයන් ගෙන බලන්න. ඊයේ නම් වූ දවස කෝ? එය හුදු සංකල්පයක් පමණක් නොවේද? අතීතය නිරුද්ධය. අනාගතය තවම පැමිණ නැත. එය ද හුදු මනකඃල්පිතයක්මය. ඒ දෙකම මේ මොහොතේ සිතුවිලි මාත්‍රයන්ය. තත්පරයෙන් තත්පරය ගෙවි ගෙවී යනවා ඒවා එකතුවෙනවා කියා දෙයක් තිබේද? එය මනසින් හදාගෙන එකතුකරගෙන විනාඩිය පැය දවස සතිය මාසය අවුරුද්ද නමින් සංකල්ප ගොඩ නැගීම උන්මත්තක පෘතග්ජන ස්වභාවය නෙවේද? සැබෑවටම (ඇති බවට හෝ නැති බවට හෝ ) මේ මොහොත තුළ පමණක් අත්දකින ලෝකයක් ජීවිතයක් මිස කිසිවක් නැත.
සිහියෙන් වර්තමානයේහරි මැදම හිදින්න. මේ මොහොතේ යෙදෙන ධර්මතාවට සිත තබන්න. එය වේගවත් ක්‍රියාවලියක් වුවද එහි වේගය ගැන සිතීම අනවශ්‍යය. සත්‍ය ලෙසින් ම සිදුවන ධර්මතාව මෙනෙහි කරන්න. ඒ ලෝකයන් කෙරෙහි කළකිරීම ඇති වන තුරු නුවණින් විමසන්න.
මේ මොහොතේ ඇතිව නැතිව යන සිතුවිලි මිස කාලත්‍රයක් පනවා ගැනීම පුද්ගලභාවයේ ඇති අවිද්‍යා සහගත දෝෂයන්ය. මේ මොහොතේ ඇතිව නැතිව යන සිතුවිලි වලින් මිස ලෝකයක් අපට කිසිකලෙක අන් ක්‍රමයකට මුණ නොගැහේ.
යමක් හෝ දෙයක් හෝ පුද්ගලයෙක් හෝ සිදුවීමක් සිහිකිරීම හුදු සංකල්පයක් පමණක් නොවේද? හේතුව (එවැන්නක් ඇති බවට මනසට එන්නේ මුලා ස්වභාවය නිසාය) ඇති බවට හෝ නැති බවට මේ මොහොතේ ගොඩනැගෙන සිතිවිලි මාත්‍රය යෙදෙනවා නම් පමණක් ඒවා ඇති බවට හෝ නැති බවට මේ මොහොතේ හමුවේ. ඒවාද ඇති බවට හෝ නැති බවට මේ මොහොතේ ම අවසන් වේ.
දැකීම දැකීම් මාත්‍රය පමණි. එම දැක්ම මනසින් යළි සිහිකිරීම ප්‍රපංච බවට පත්වේ.දැකීම මුලාවෙන් නම් මුලාවට පත් ප්‍රථිපල හමුවේ.

Sunday, August 25, 2013

“ සසර “ සැබවටම ඇත්තේ කොහේද?

“ සසර “ සැබවටම ඇත්තේ කොහේද?

August 25, 2013 at 12:41pm
අද උදයේ රෑපවාහිනී නාලිකාවක් හරහා දේශණයක් කළ වියත් හිමිනමක් පැවසූයේ අප සසර වශයෙන් හදුනාගත් දේ ඇත්තේ සිතුවිලි සමග බවත්, එය මේ ජීවිතකාලයේ අත්දකින දෙයක් බවය.මේ ගැන විමසීමක් මේ ලිපියෙන් කරන්න අදහස් කරමි.නුවණැත්තෝ කන් යොමත්වා! පළමුව “සසර‘ යන්නෙහි අරුත මදක් විමසා බලමු.විවිධ අරුත් තිබෙන්නට හැක. මා දක්නේ ඉබේ සාරවත් වීම ,හෙවත් “ස්වයංසාර“ වීම “සසර“ බවයි. එය එලෙස සිදුවන්නේ කෙසේදැයි බලමු. මෙලොවට බිහිවූ අප ඇස,කණ, නාසය,දිව.කය, මන, වශයෙන් ඇති ඉන්ද්‍රියයන් එකකට එකක් සමෝධානව ගන්නා අරමුණු අප ඉදිරියට මෙහෙයවන ගාමක  බලයයි. එනිසා ඒවා ඉන්ද්‍රියායතන වශයෙන් ගැනීම ඉතාම නිරවද්‍ය වේ.මේ නිසා මානවයා අන් සතුන් පරදවා තම බලය මිහිමත තහවුරු කොට සිටී.එම චෛතසික බලය නිසා ලොව ආගම්, දර්ශන, දාර්ශනික මතිමතාන්තර, ආකල්ප, සංකල්ප, මතවාද, දෘෂ්ඨි, විද්‍යා, යනාදිය මානව සංහතිය කෙරෙන් බිහිවිය.                                               සිත ගැන විවරනයක් සපයන බුදුසමය  මෙය ශරීරයක් නැති, දුරගමන් ඇති, ගුහාවක සැගව ඇති, දෙයක් ලෙස විවරණය කරයි. මේ සිත එක මොහොතක එක තැනක රදවා ගැන්ම අසීරු කරුණකි. බුදු සමයට සමකාලීනව සිත සමාධිගත කොට ධ්‍යාන වඩවා අහසින් පවා යාමේ පෙළහර දැක්වූ ආචාර්යවරුන් වූ බව පොතපතේ දසහන්ව ඇත. සිදුහත් මහ බෝසතාණෝ පවා ඔවුන් ගෙන් කිහිප දෙනෙකු හමුව ඔවුනගේ ක්‍රම ශිල්ප හදාරා පරතෙර දුටු බව පෙල දහම කියයි. එහෙත් එතුමාට හමුනොවූ දෙය මරණය ජය ගැන්මයි. ඒ සදහා තුමූම අනුගමනය කළ ක්‍රමවේද අත්හදා බලමින් අවසන එම මාවත පසක්කෙළේය.                                         එය එවකට එදා සමාජයේ මුල් බැස තිබූ ආත්මවාදය (ශාස්වත) ආත්මයක් නැත..... ( උච්ඡේද වාදය ) යන දෙකම පිළිකෙව් කළ එකක් වීය. උන්වහන්සේ පෙන්වා දුන්නේ ආත්මයක් වෙනුවට පවත්නා ධර්මතාවයකි. මේ ධර්මතාවල පහළවීම උන්වහන්සේ “ ජාති ‘ ලෙස අරුත් ගැන්වූ අතර එම ධර්මතාවල අඛණ්ඩ වෙනස්වන ස්වභාවය “ ජරා “ ලෙස හදුන්වා දුනි. මේ ශුද්ධ ධර්මතාවයන් ගේ  විපරීතය “මරණ“ ලෙස අවබෝධ කොට ගන්නා ලදී. මේ තුළ කරන්නෙක් හෝ කරවන්නෙක් නොමැතිවීම මේ දහමේ සුවිශේෂි බවට හේතුවිය. කම්මස්සකාරකො නත්ථි.... (කර්ම හෙවත් ක්‍රියා කරන්නෙක් නැත)විපාකස්සච වෙදකො...       (විපාක විදින්නෙක් ද නැත )සුද්ධ ධම්මා පවත්තන්ති...    ( ආපෝ.තේජෝ,වායො,පඨවි.. යන සුද්ධ ධර්මතා පමණක් විද්‍යමානවේ )එවෙතං සම්ම දස්සනං ...     ( සම්ම්‍යක් දර්ශනය මෙය වේ )එනිසාම මෙය “ ලෝක ධම්මතාවය ‘ ලෙස වඩාත් ප්‍රචලිත විණි. කතාබහට ලක්විණි.                             මෙය වේදාන්ත දහමට පටහැණි වූ දහමක් නිසා  එම දහමට නැඹුරුව සිටි මහණ,බමුණෝ, එකී දහමේ පූර්වාංග යන් මේ තුළට ඔබ්බවන ලදී.ඒ සදහා පෙළ දහමට පසු කාලීනව  විවිධ නිරුක්ති, අට්ඨකතා සැපයිණි. බුද්ධ භාෂිතය යට යමින්  නැවතත් ඉපිදෙමින් මිය යමින් ගමන් කරන බියකරු “සසරක්“ලෙසට දක්කවමින් ආත්ම දහමකට නැවත මග හෙළිකළහ. අද එයින් ගැලවී ගත හැක්කේ මේ මග නැණ නුවණින් පිරික්සූ සීමිත පිරිසකට පමණය. ඔවුන් මේ ජීවිතය තුළම නිවුනාහුය. අන් අය කෙළවරක් නොදත් බියකරු සසරක අනාගත හින දකිමින් මේ ලැබුවාවූ මිනිස් ආත්මය ඊට යටකොට දුකේම ගැලි සිටිත්.  එකී මගෙහි යන අයට අතීත දුක් වේදනා ඇත. සිහින මවන අනාගතය ලංකර ගත නොහැකිව අප්‍රමාණ වේදනා ඇත. මේ දෙක ගැනම සිතමින් එළැඹි මොහොතද නිකරුනේම කා දමත්.                                සිත නැති තැනක කය නොපවත්නා බවද , කය නොමැති තැනක සිත නොපවත්නා බවද, මේ දෙක එකකට එකක් බැදී යමින් සසර සාදන බව ද නොරහසකි. අතීතය ඇත්තේද සිත තුළ සිහිනයක් ලෙසිනි.අතීත සිදුවීම් අල්ලාගෙන වෙදනාවට පත්වීම නිශ්ඵල දෙයකි. අනාගතය පැමිණෙමින් තිබේ. එය අප සැළසුම් කළ පරිදි , හිතන පතන පරිදි, ඉටුවේදැයි කාට නම් කිව හැකිද? අසේ නම් නොඑළැඹ් අනාගතය තැන කල්ඇතිව සිහින දැකීමත් , පැතුමන් බොදවී යාම තුළ දුකටපත්වීමත් නිශ්ඵල ක්‍රියාවකි. එසේ නම් ඇත්තේ කුමක්ද? මේ එලැඹි මොහොතයි. පච්චුප්පන්නයයි.ඒ තුළ සිහියෙන් විසීමයි ඇවැසිවන්නේ.මේනිසා නොඑළැඹි අනාගතය අල්ලා නොගෙන සිටිම මේ භවයේ කෙළවර වේ. අතීතයත් , අනාගතයත් නිශ්ඵල බව දැක නුවණින් අත්හරින්නා නිවුනාවෙයි. සසර නැවතුවා වෙයි.  සැමට අවබෝධයම වෙත්වා! ඒ තුළ නිවෙත්වා!     
Ananda Wijayarathna