Sunday, December 8, 2013

ප්‍රශ්ණය ලොව්තුරා බුදුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වන්නේ ඇයි? මේ භයානක සංසාර දුකින් සත්වයා මුදවා ගැනිම පිණිස උන් වහන්සේ දේශනා කළේ කුමක්ද? 


^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

මේ ගැටලුවට පිළිතුරක් සපයන්නට පෙර බුදුන් වහන්සේ කියන්නේ කවුද කියලා මදක් විමසමු. සියලු සත්වයින් කෙරේ කාරුණික හිතක් ඇති කරගත්ත එක්තරා බලවත් බෝසත් ගුණෝපේත පුරුෂයෙකු අනන්ත කල්ප කාලාන්තරයක් දානාදී සමත්‍රිංශත් පාරමි ධර්මයන් එකින් එක පූර්ණ කරගන්නවා. අතිමහත් වීර්යවන්ත වූ ඒ මහා බෝසත් උත්තම පුරුෂරත්නය බුද්ධත්වයට සිය චිත්ත සන්තානය සුදුසු වූ පසු අවසන් ආත්ම භාවයට පෙර දෙව් ලොව උපදිනවා. මිනිස් ලොව උපදින්නට පෙර පස් මහ බැලුම් බලා සුදුසු මව් කුසක පිළිසිඳ ගන්නවා. මේ මහා භද්‍ර කල්පයේ හතර වෙනුවට පහළවී, දඹදිව උතුම් ගයා සිරසෙහිදී වජිරාසනාරූඩව දස මාර සේනා පරදා ලොව දිනූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධත්වයද සිදු වූයේ ඒ පිළිවෙළට බව අපි දන්නවානේ. 
අපි විමසමු අප ගැනම. මිනිසුන් වෙලා යමක් හිතන්නට කරන්නට පුළුවන් වෙලා අපි මේ ලෝකේ ඉපදුණානෙ? අපි දන්නවා මේ ලෝකයේ ඉපදීමක් තියෙනවා සත්වයෝ වගේම ද්‍රව්‍යයන්ගේ හටගැනීමක් අපට පේනවා. ඉතිං ඉපදීමත් ඉපදුණු සත්වයාත් ද්‍රව්‍යයනුත් මෝරා යමින් නොඑසේ නම් දිර දිරා යමින් යම් දවසක අවසානයක් දකිනවා.තවත් විදියකට කීවොත් මිය යාමකට ලක්වන බව අපට පේනවා. මේ හටගත් දේ වෙනස් වෙමින් දිරමින් වැනසෙමින් ආයේ ආයෙත් ඉපදෙමින් මැරෙමින් හටගනිමින් වෙනස් වෙමින් වැනසෙන මේ සංසිද්ධිය ලෝකයේ පවතින සැබෑ ධර්මතාවක්. එම ධර්මතාවය එ‍ලෙසින් ම මහා නුවණක් ලද බුදුවරයෙකුට මිස වෙනත් කෙනෙකුට පේන දෙයක් නෙවෙයි. ඉපදී වයසට යමින් මැරෙන සත්වයාට එසේ වන්නේ යම් අදෘශ්‍යමාන අද්භුත කෙනෙකුගේ බලයෙන් යැයි සිතූ අතීතයේ බොහෝ පිරිස් මුලාවූ ගමනක යෙදිලා හිටියෙ. ඒ අය පව පින ගැනවත් හිතන කියන කරන දේට විපාක ලැබෙන්නට යළි උපදින බවක්වත් දැනගෙන හිටියේ නෑ. ගස් ගල් පර්වත සරණ ගිය පිරිසක් අතර ශමථ භාවනාව පවා දියුණුකරගෙන සිටියා. එහෙත් ලෝකාවබෝධයක් විමුක්තියක් උදාකරගන්න දැනගෙන හිටියේ නෑ.
මහා පින්වන්ත බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ සසර ඉපදීම මහා දුකක් ලෙසත් ඒ දුක හේතු නිසා හටගන්න බවත්, එය නිරෝධ කළ හැකි බවත් ඒසදහා වන ඒකායන ප්‍රතිපදාවක් ඇති බවත් සිංහ නාද පවත්වමින් දෙව් මිනිස් ප්‍රජාව අමන්දානන්දයට පත් කරවමින් ධර්ම චක්‍රය පවත්වනවා. අධික ලෙස සැප විදලාවත්, අධික ලෙස ශරීරයට දුක් දීලාවත් උදාකරගන්නට බැරි විමුක්තිය මධ්‍යම ප්‍රතිපදාව තුළින් සාක්ෂාත් කරගන්නා ආකාරයයි බුදු කෙනෙක් පහළ වෙලා කියා දෙන්නේ. ලෝකයේ නුවණ ඇති පුණ්‍යවන්ත හිතන්නට කැමැති පිරිස් උන් වහන්සේ වෙත රොද බැදගෙන පැමිණෙනවා. පැමිණ සදාකාලික දුක කෙළවර කරනවා. අප්‍රම්‍යෙය වූ දුක් කන්දරාවකට යටවුණු කාටත් කරන්නට ඇති එකම දේ මේ සැබෑ දහම තමා තුළින් දැකගැනීම, ඒ තමා සසර දුක් අවසන් කිරීම හෙවත් නිවන් සාක්ෂාත් කීරීම.
බුදුවරුන් පහළ වෙලා සසර දුක අවසන් කරගන්නට දෙව් මිනිස් ප්‍රජාවට කියා දෙන ඒ දහම අති ගාම්භිරයි. “ස්වාක්ඛාතෝ භගවතාධම්මෝ සන්දිට්ඨිකෝ ආකාලිකෝ ඒහිඵස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි නම් වූ මේ දහම අපමණ වටිනාකමකින් යුක්තයි, සියුම්ව නුවණ මෙහෙයවා තමා තුළින් දැකිය යුත්තක්. මුල මැද අග සුපිරිසුදු, එය නිවැරදි අරුත් සහිත පහසුවෙන් තේරුම්ගත හැකි ප්‍රකාශන මාධ්‍යයකින් යුක්තයි, දෙපසින්ම පරිපූර්ණයි, එය ශාසන බ්‍රහ්මචරියාව හෙවත් නිවණ් මග පිණිසම දේශනා කළ එකක්. පාරිශුද්ධ බුද්ධ වචනයක්.
ආමිසයට මුල් තැන දෙමින් එය දහමයැයි වරදවා වටහාගෙන ඉන්න බොහෝ දෙනෙක් නොදන්න මොකක්ද මේ සැබෑ දහම ?
ලොව්තුරු බුදු සමිදුන් සත්වයාගේ උපත ගැන දේශණා කළා. උපත කියන්නේ ‘ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ’ කියලා යම් ඉපදීමක්‍, අංග සම්පූර්ණ අවයව සහිතව හටගැනීමක්වේද, මව් කුසකට බැස ගැනීමක්වේද, යම් ප්‍රකට පහළවීමක්වේද, ස්කන්ධයන්ගේ පහළවීමක් වේද, ඇස කණ නාසාදී ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේද එය තමා උපත කියලා. අපි ටිකක් හිතලා බලමු, අපට උපත ලෙස ලැබිලා තියෙන්නේ මොනවද? කියලා රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන ස්කන්ධයෝ පහළ වෙලා නේද? ඔව් ඇසක්, කණක්, නාසයක්, දිවක්, කයක්, වගේම නොපෙනෙන හිතක් සමග අප ඉපදිලා නේද? මේ ඉපදුණු ශරිරය පරිහරණය කරනවා කියලා අප කිව්වට මෙහිදී සැබෑවටම සිද්ධවන ධර්මතාව මොකක්ද කියලා අපි දන්නවාද? 
නමුත් පින්වන්ත ඔබ අපි හිතාගෙන ඉන්නවා උපකල්පනය කරනවා මේ ‘මම’ මේවා ‘මගේ’ මේවා ‘මම කැමැති පරිදි පවත්වන්නට හැකි කියලා නේද? මගේ කැමැත්ත පරිදි හැමදේම තියේවි කියලා හිතෙනවා නේද? අන්න එතකොට පෙනි පෙනී මේවා වෙනස්වෙන කොට හිතට අමාරුයි, බලාපොරොත්තු කඩවෙන කොට, දුක එනවා, ඇඩෙනවා, හූල්ලනවා සුසුම් හෙළනවා. වෙනස් වෙලා යන දේ කොහොම කීවත් හිතුවත් වෙනස් වන එක සැබෑ ධර්මතාව බව නොදන්න අන්ධ බාල පෘතග්ජන කෙනා දහම නොදන්නා කමින් තමා යැයි පනවාගෙන දුකට උරුමකම් කියන මුලාව අපට වැටහුණාද මීට කලින්? 
“අහෝ වත මයං න ජාතී ධම්මා අස්සාම” “අනේ මම උපදින්නැත්තං කොච්චර හොදද?....අහෝ වත මයං න ජරා ධම්මා අස්සාම, අනේ මම වයසට යන්නේ නැතිනම් කොච්චර හොදද?.....අහෝ වත මයං න ව්‍යාධි ධම්මා අස්සාම, අනේ මම ලෙඩවෙන්නේ නැතිනම් කොච්චර හොදද?..... අහෝ වත මයං න මරණ ධම්මං අස්සාම අනේ මම වයසට මැරෙන්නේ නැතිනම් කොච්චර හොදද?..... කියලා ලෝකයා අනවබෝධය නිසා හිතන්න ගන්නවා. 
මෙන්න මේ විදියේ මුලාවකට පත් ලෝකයාට ඇත්ත ඇති හැටියෙන් දකින්න දහම් දෑස් දුන්නේ ලොව්තුරු බුදු හිමියන් විතරයි. දහම තුළින් ලෝකය ජීවිතය දකින්න ක්‍රමයක් සහ දුකට හේතුව නැතිකරන මාර්ගයක් පෙන්වූයේ බුදුන් වහන්සේ විතරයි. පන්සාළිස් වසක් පුරා අඛණ්ඩව අමා දහම් බෙදා දුන් උන් වහන්සේ තරම් ලෝකයාට සුවය තනපු කෙනෙක් මේ තුන් ලෝක ධාතුව තුළ හිටියද?නෑ. නුවණ මෙහෙයවා කළ යුත්ත නොකළ යුත්ත අවබෝධ කරගෙන වැදගත් නොවැදගත් දේ තේරුම් ගෙන කුසළයට බරව ජිවත්වෙමින් අකුසළය පරාජය කරන ආකාරය උන්වහන්සේ මනාව වටහලා දිලා තියෙනවා නේද? පවින් නිදහස් වෙමින් ආයතන සංවරය තුළින් මනස තැන්පත් කරගෙන ප්‍රඥාවට මග සකසා එතුළින් දුක කෙළෙවර කරන අයුරු මොනතරම් විස්මිත විදියට පෙන්වලා දිලා තියෙනවාද? ඒ ක්‍රමය තමා අප කවුරුත් අහලා විතරක් තියෙන සීල සමාධි ප්‍රඥා මාර්ගත්‍රය නේද?
බලන්න මහ ඉසිවර බුදුරදුන් ලෝකයත් ජීවිතයත් ධර්මයත් අවබෝධ කරගත්ත හැටි? සම්මුතිය හෙවත් මේ ලෝකයා පහසුව පිණිස ව්‍යවහර කරන දේවලත් සත්ව වශයෙන් පුද්ගල වශයෙන් හදුනාගෙන ඉන්න ඒ ලෞකික ස්වභාවය අප විමසලා බලමු. මම කියන අපි කියන මිනිසා සත්වයා තිරිසනා සංකල්පය විමසන්න. මම යනු මුලාව ලිහා බැලුවම කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, ඇට, නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දළබුව, පිත්තාශය, පෙනහල්ල, අන්ත්‍ර, අතුණු බහන්, අමාශය, අශුචි,හිස්මොළය, පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේදතෙල,කදුළු, වුරුණු තෙල් ,කෙළ, සෙම, සොටු, සදමිදුළු, මුත්‍රා යන දෙතිස් කුණපය නොවේද? මේ එකක් ගානේ අපි විමසලා බැළුවම ඒවා එකකට වත් මම කියන වචනයවත් පාවිච්චිකරන්නේ නෑ නේද? බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙයින් එක කොටසක් ගානේ අරගෙන එහි යථා ස්වභාවය නුවණින් දකින්න කියලා. 
මේවා දුකට අයිතීයි කිව්වට ඔබට ඒක් තේරුණාද? දුක හට ගන්න හේතුව තණ්හාවනෙ. තණ්හාවෙන් ආශාවෙන් කෑදරකමින් මේ සිරුර පරිහරණය කරමින් ජීවත්වෙන කොට නොසිතූ විදියට හැම දේම වෙනස් වෙලා යන වග පේනවා. කෙස් පැහිලා, ලොම් දත් වැටිලා, ශරිරය ජරා ජිර්ණවෙලා, ලෙඩ දුක් හැදිලා ඔන්න දුක ජීවිතයට කිට්ටුවෙනවා. වෙනස්වෙන්නෙ මොනවද ? ඉහතින් දෙතිස් කුණප කියලා අපි කියපු සියල්ල. මේ විදියම බාහිර දේත් වෙනස් වෙනවා. එතැනත් දුක හදන ස්වභාවය තියෙනවා.මොකද මේ සියල්ල දුකට අයිති දේනේ. ඒත් හොඳට විමසලා බලන්න හිතේ මිස දුක තියෙන්නේ වෙන බාහිර නෙවෙයි කියලා. පිලිගන්නවාද? අපි කැමැති වෙලා හිටපු මම කියා දැකපු මගේ කියලා ආරක්ෂාකරගන්න උත්සාහ කරපු, වෙනස්වෙන එකක් නැහැයි කියලා හිතපු, ආශාවෙන් පරිහරණය කරපු සියල්ල මෙන්න වෙනස් වෙන කොට දුකක් දැනෙනවා. වෙනස්වීම දරාගන්න බැරිව විවිධ උපක්‍රම යොදමින් බේරාගන්න වෑයම් කළත් මේවායේ ස්වභාවය වෙනස්වන එකමයි. තමන්ගේ ශරීරයත්, බාහිර ශරීරත්, බාහිර ජීවි අජීවි හැමදෙයක්මත් වෙනස්වෙලා යනවා නේද?
සම්මුතිය තුළ යමක් පෙනුනත් පරමාර්ථ වශයෙන් නුවණින් බෙදලා බලන කොට ඒවායේ තියෙනවා ඝන බවක් තද ගතියක්, ගොරෝසු බවක්. තව දුරටත් විමසන කොට පේනවා ඒවායේ එකට එක්වූ ඇළුණු එකතුවු බවක් ස්වභාවයක්. යම් උෂ්ණත්ව පරාශයක පිහිටලා තියෙන මේවා ගැන තව නුවණ මෙහෙයවා බලන කොට හැඩතල හැදෙන පිම්බුණු හැකුළුණු ස්වභාවයක් පේනවා. අපි ටිකක් තව දුරටත් ඇත්ත ඇති හැටියෙන් දකිමු. මේ පඨවි කියන ඝන බව ඇහැට පෙනෙනවා දැයි බලමු. පංච ආයතන හෙවත් ඇස කණ නාසය දිව කය නමින් සම්මුති ව්‍යවහරය ගෙන බලන්න. මේ ඇස කීවේ කුමකටද ඇත්තටම? ඇසේ තියෙන්නේ මස්..... නහර..මහා භූත හෙවත් පඨවි ආපෝ තේජෝ වායෝ නෙවෙයිද? ඇසේ ඇත්තේ මේවැනි ස්වභාවයක් නෙවෙයිද? පඨවි ගතිය ඇහැකට පේනවාද? නෑ කණට ඇහෙනවාද? නාසයට දැනෙනවාද? දිවට හෝ කයට දැනෙනවාද? නෑ කොහෙත්ම නෑ. 
නුවණින්ම දකින්නට හැකි වෙනත් ක්‍රමයකට නොතේරෙන නොඅසුවන මේ පඨිවි ධාතුව හෙවත් ඝන ස්වභාවය ඇහැකින් දකින්න බෑ. බුදුන් වහන්සේ පෙන්වා වදාළ අභිධර්ම දේශනා තුළ අපට හිතන්න දෙයක් තියෙනවා. සතර ධාතු වගේම තවත් ස්වභාවයන් හතරක් තියෙනවා.ඒ තමයි ලෝකේ කොයි දේකටත් ආවේණික වූ එක්තරා වර්ණමය ස්වභාවයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා, රසයක් හෙවත් යම් ගුණයක් වගේ හටගැනීමට උපකාර වන ඕජාවක් තියෙනවා මේ අටට කියන්නේ ශුද්ධ අෂ්ඨක කියලා. මෙයින් ඔබ හොදින් හිතලා බලන්න ඔබේ ඇසට පේන්නේ මේ අටෙන් වර්ණය විතරයි නේද කියලා? වෙන මොනවත් පේනවාද? නෑ
ලෝකය නමින් ඔබ කොහේ බැළුවත් පාටක් හැර වෙන මොනවා වත් පේනවද කියන්න? රූප නමින් දකිනවා යන සිද්ධිය විමසන්න. ඔබට වර්ණයක් මිස වෙනත් කිසිවක්ම පේන්නේ නැහැ. එහෙම නම් දෙයක ඇති පඨවි පේනවාද ඒ කියන්නේ ඝන බව? නෑ ඒක පේන්නේ නෑ ඔබට වර්ණය නිසා හැඩතලයක් පේනවා නේද? ඒ පේන හැඩතලය පේන දේට එහෙම අයිතිකියලා හිතෙනවා නම් ?ඔබ මුලාවකට පත්වෙලා. එක දෙයක් 10දෙනෙකුට පේන්නේ දස ආකාර හැඩයකට නම් ඔබ වටහා ගන්න ඕන ඒ හැඩ තලය පිළිබදව තීරණය ඒ ඒ අයට පොදු වූවක් මිස දෙයකට අදාළ නැහැයි කියලා. 
අපි බලමු උදාහරණයක්. පුංචි දරුවෝ මැටිවලින් එක වරෙක වෙස් මූණක් හදනවා, ඒක කඩලා වෙනත් හැඩයකට හදනකොට හාවෙක් කියනවා, ඒ මැටි ටිකම මල් පෝච්චියක් කරන්න ඒ දරුවා එහි හැඩය වෙනස් කරනවා බලන් ඉන්න අපිත් ඒ ඒ දේ තුළ ඇති සතර ධාතු එලෙසම තියෙද්දි හැඩ ගැන කියමින් හිතමින් නම් දෙනවා නේද? දෙයක් තව දෙයකින් වෙන්වෙලා පේන්නේ පාට නිසා. වර්ණය නිසයි අපට සම්මුති පැනවීමක් ව්‍යවහරය පිණිස යොදාගන්න හැකි නේද? එහෙමනම් නුවණින් විමසන්න හැඩ තල දෙමින් පාටට නමක් දෙමින් අප සියළු ආකාර පැනවීම් කරනවා නෙවෙයිද? දිගටියි, හතරැස්, කොටුයි, රවුම්, චතුරශ්‍ර, සමචතුරශ්‍ර, ඍජු කෝණාශ්‍ර, පැතලි, අට පට්ටම් මේ විදියට දේවලට හැඩ තල පැනවීම් සිද්ධ වෙන්නේ කොතැනද? මනසේ නෙවෙයිද? ඒවා සම්මුති වචනමාර්ගයෙන් ඔබ ලෝකය යැයි පවසනවා නෙවයිද? 
දැන් හිතන්න කණට රූප දැනගන්න පුළුවන්ද? නාසයට පුළුවන්ද? දිවට? කයට? මේ එකකටවත් ම බැහැ. මේවාට පඨවි පේනවාද? මේ විදියට ආපෝ ධාතුව තියෙනවා නම් පේනවා දැයි බලන්න. තේජෝ ධාතුව තියෙනවා දැයි බලන්න. වායෝ ධාතුව එහෙම පේනවා දැයි බලන්න. සතර ධාතූ විතරක් නෙවෙයි පාට හැර රස, ගන්ධ, ඕජා කිසිවකුත් මේ ආයතනයන් පහට මුණ ගැහෙන්නේ නෑ. 
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, සම්මුතිය තුළ පෙන්වන ‍රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ කියන බාහිර ආයතනයන් හා ඇස, කණ, නාසය, දිව, කය කියන අභ්‍යන්තර ආයතන මුණ ගැහෙන කොට ඒ කියන්නේ සතර ධාතු සතර මුණ ගැහෙන කොට වි‍ශේෂයෙන් දැනගන්නා ස්වභාවය කියන ධර්මතාව “විඤ්ඤාණය” පහළ වෙනවා ඇසත් රූපත් මුණ ගැහෙන කොට ඇසේ විඤ්ඤාණය, කණත් සද්දයත් මුණ ගැහෙන කොට කණේ විඤ්ඤාණය, නාසයත් ගන්ධයත් මුණ ගැහෙන කොට නාසයේ විඤ්ඤාණය, කයත් පොට්ඨබ්බයත් මුණ ගැහෙන කොට කයේ විඤ්ඤාණයද මනසත් අරමුණුත් මුණ ගැහෙන කොට මනසේ විඤ්ඤාණය පහළවීම නියත ධර්මතාවක්. විඤ්ඤාණය විපාක සිතක් හේතු යෙදීමෙන් පමණක් සැකසෙන්නක් ඒත් නිකංම්ම නෙවෙයි.
ධාතු ධාතු මුණ ගැහෙන කොට විඤ්ඤාණය සකස්වෙනවා ඒත් සමග “ඒකුප්පාද ඒකවත්ථුක,ඒකාලම්භන, ඒක නිරෝධ “ කියන ධර්මතාවයට අනුව චෛතසික 7ක් පහළ වෙනවා. විඤ්ඤාණය හා පෙර පසු නොවී පහළ වී එකටම නිරෝධ වන ඒ චෛතසික යන්ට කියන්නේ සබ්බ චිත්තසාධාරණ චෛතසික කියලා. මේවා කුසළ සහගත සිතේත අකුසළ සහගත සිතේ දෙකහිම යෙදෙනවා. ඒ තමා ස්පර්ශය, වේදනාව,සංඥා, චේතනා, මනසිකාර හෙවත් විතක්ක විචාර, ජීවිතේන්ද්‍රිය, ඒකග්ගතා කියලා 7ක්. අභ්‍යන්තර ආයතනයත් බාහිර ආයතනයත් මුණ ගැහෙන කොට මේ චෛතසික හත විඤ්ඤාණයත් සමග පහළවී එතැනම නිරුද්ධවෙනවා. චෛතසික කියන්නේ සිතේ ඇතිවන ඉතා සූක්ෂම ස්වභාවයන්. සිතෙහි ගුණ වෙනස් කරන්නට හැකි නාම ධර්ම සමූහයක්.
නිරතුරුවම මෙලෙස අභ්‍යන්තර බාහිර ආයතන මුණ ගැසීම හෙවත් ජීවත්වීම අපට මෙතෙක් තේරුම් ගන්න පුළුවන් වුණාද? පංච ආයතන‍යන්ගෙන් එකක් ක්‍රියාත්මක වීමට ගතවන ඉතාම සුළු ක්ෂණයක් තරම් කාලය අපට මනින්න බෑ. ඒත් නුවණින් දකින්න පුළුවන්. ඒ එක ආයතනයක් ක්‍රියාත්මකවී නැවත් මනායතන ක්‍රයාලියෙන් අනතුරුව වෙනත් පංචායතන ක්‍රියාවලියක් සිදුවන බව ගැඹුරු අභිධර්ම විවරණ සළකා බලන කොට වැටහෙනවා. එය ස්ථිරකරගැනීමට අපට උදාහරණයක් දෙන්න පුළුවන්. බලන දෙයක ඡායාව තප්පරයෙන් 10න් 1ක කාලයක් ඇසේ ඉතිරිවූවාසේ පෙණිම ගැන හිතන්න. නැතිනම් දෙයක් දුටු විගසම වේගයෙන් දෑස් පියා ගන්න එසැණින් ඉබේම එය දැකීමට ලක්වු තද හෝ ලුහුඩු ස්වභාවය අනුව සිහිකරන්න පුළුවන් නේද? 
මෙන්න මේ ආකාරයට සෑම ආයතනයකටම පසු මනායතන ක්‍රියාවලිය සිදුවන බව වටහාගන්න. මෙය සිදුවන විට යෙදෙන තවත් ධර්මතාවක් ඔබට හසුවේවි ඒ තමා මෙහි පාලකයෙක් අණ දෙන්න කෙනෙක් කරවන කෙනෙක්නැත කියන කාරණාව. කාගේවත් කැමැත්තකට පිනකට පවකට සිදුනොවීම කියන කාරණාවත් වැටහෙනවා නේද? සත්වයෙකුට හෝ පුද්ගලයෙකුට හෝ අයත් නැති බුදුවරු ඇති කල්හිත් නැති යම් කල්හිත් මේ ධර්මතාව මෙසේ පවතින්නක් වග අප වටහා ගන්න ඕන. නියාම ධර්ම සමූහයකට අදාළව ලෝකය ක්‍රියාත්මක වන බව තේරුම්ගත හැකි නම් ඔබට ආත්ම සංකල්පයෙන් මිදෙන්න පුළුවන්. අවිද්‍යා සහගත මනසට ආත්ම සංඥාව ඇතිවෙනවා. සබ්බාසව සූත්‍රයේදී බුදුන් වහන්සේ පෙන්වා වදාළේ මේ වැරදි දෘෂ්ඨියෙන් මුලින්ම මිදිය යුතු බවයි. ඒ දස්සනා පහාතබ්බා යනුවෙන් පැහැදිලි කළා. 
දර්ශනය හෙවත් දැකීම තුළින් ප්‍රහාණය කළයුතු කෙළෙස් 03යි. සක්කාය දිට්ඨියත් සීලබ්බත පරාමාශයනුත් සංයෝජන වන අතර ඒවා දෘෂ්ඨිද සංයෝජනද වෙනවා. විචිකිච්චාව යනු දෘෂ්ඨියක් නොව සංයෝජනයක්. යමෙක් තුළ මේ සංයෝජන ප්‍රහාණයවී ද ඔහු මාර්ගයට පිළිපන් අයෙක් ලෙස හදුන්වනවා.සම්මා දිට්ඨියට පැමිණි කෙනෙක් හෙවත් සෝත+ආපන්න නම් නිවන් මගෙහි පළමු පියවර තැබූ කෙනා සතර අපායෙන් නිදහස්. ආත්ම ලෙස සිතා සිටින ලෝකයන්ගේ සැබෑව මේ දහම දුටුවිගස බැහැරවෙනවා. පෙර ලෝකය පෙනූනේ ආත්ම ලෙස නම් දැන් මේ වර්තමානයේ යෙදෙන යථාර්ථය වටහාගැනීමම දිට්ඨි සම්පන්න වූ බවට සාධකයක්. 
බලන්න කාලය කියා දෙයක් තිබේද? එය හුදු මනඃකල්පිත ව්‍යවහාරයක්ම නෙවේද? ඊයේ පෙරේදා අතීතය නමින් සිහිකරන කිසිවක් අද නැත නමුදු මේ මොහොතේ එය ඔබගේ හැගීම් මාත්‍රයක්. හෙට දවස ගැන සිතන්න එයද කොතරම් දුරකින් සිහිකළද එයද වර්තමානයේ සිතුවිල්ලක්. වර්තමානය බිදකුදු නොරැදෙන සළකුණු කර පෙන්වීමට නොහැකි වේගවත් වෙනස්වීමක් තුළ පැනවෙන්නක්. එසේ නම් අතීතය අනාගතය හෝ වර්තමානය තිබේද? ඇතැයි කියා පෙන්වීමටත් බැරි, නැතැයි කියා බැහැරකරන්නටත් බැරි සංසිද්ධියක්, ඔබ මොහොතක් සිතන්න ඔබ ජීවිතය අත් විදින්නේ හරියටම වර්තමානයේ හරි මැදදී නෙවෙයිද කියලා. එයද හසුනොවී ඇදී යනවා. නමුත් සංකල්පනා බොහෝමයි. එය මනසම නොවේද? 
බුදු සමිදුන් දුටු ලෝකය අපට පෙනෙන්නේ කෙසේද? උන් වහන්සේ ලෝකය කීවේ කුමකටද? සතර සති පට්ඨාන දේශනාවේ පහදා දෙන ධම්මානු පස්සනාව බලන්න. එහි පෙන්වනවා, ‘චක්ඛුං ලෝකේ..පියරූපං සාත රූපං එත්තේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති මේ විදියට. රූපං ලෝකේ.. චක්ඛු විඤ්ඤාණං ලෝකේ.. චක්ඛු සම්පස්සෝ ලෝකේ...චක්ඛු සම්පස්සජා වේදනා ලෝකේ...රූප සංඥා ලෝකේ... රූප සංචේතනා ලෝකේ...රූප තණ්හා ලෝකේ... රූප විතක්කෝ ලෝකේ....රූප විචාරෝ ලෝකේ... මොනවද ඒ ලෝක කියලා බලන්න ඇස, රූපය, ඇසේ ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා, රූප සංඥාව, රූප සංචේතනාව, රූප තණ්හාව(ඇලීම) රූප විතර්කය,රූප විචාරය මෙන්න ලෝකය.
‘සෝතං ලෝකේ... සද්දෝ ලෝකේ.. සෝත විඤ්ඤාණං ලෝකේ.. සෝතසම්පස්සෝ ලෝකේ...සෝත සම්පස්සජා වේදනා ලෝකේ...සද්ද සංඥා ලෝකේ... සද්දසංචේතනා ලෝකේ...සද්ද තණ්හා ලෝකේ... සද්ද විතක්කෝ ලෝකේ....සද්ද විචාරෝ ලෝකේ... මොනවද ඒ ලෝක කියලා බලන්න කණ, රූපය, කණේ ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා, සද්ද සංඥාව, සද්ද සංචේතනාව, සද්ද තණ්හාව(ඇලීම) සද්ද විතර්කය,සද්ද විචාරය මෙන්න ලෝකය.
‘ඝාණං ලෝකේ... ගන්ධෝ ලෝකේ.. ඝාණවිඤ්ඤාණං ලෝකේ.. ඝාණසම්පස්සෝ ලෝකේ...ඝාණසම්පස්සජා වේදනා ලෝකේ...ගන්ධසංඥා ලෝකේ... ගන්ධසංචේතනා ලෝකේ...ගන්ධ තණ්හා ලෝකේ... ගන්ධවිතක්කෝ ලෝකේ....ගන්ධ විචාරෝ ලෝකේ... මොනවද ඒ ලෝක කියලා බලන්න නාසය ගද සුවද, නාසයේ ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා, ගන්ධ සංඥාව, ගන්ධ සංචේතනාව, ගන්ධ තණ්හාව(ඇලීම) ගන්ධ විතර්කය,ගන්ධ විචාරය මේ ලේකය.
‘ජිව්හා ලෝකේ... රසලෝකේ.. ‘ජිව්හා විඤ්ඤාණං ලෝකේ.. ‘ජිව්හා සම්පස්සෝ ලෝකේ... ‘ජිව්හාසම්පස්සජා වේදනා ලෝකේ...රසසංඥා ලෝකේ... රසසංචේතනා ලෝකේ...රසතණ්හා ලෝකේ... රසවිතක්කෝ ලෝකේ....රසවිචාරෝ ලෝකේ... මොනවද ඒ ලෝක කියලා බලන්න දිව, රසය, දිවේ ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා, රසසංඥාව, රසසංචේතනාව, රසතණ්හාව(ඇලීම) රස විතර්කය,රස විචාරය ලෝකයක්වෙලා නේද අපට.
‘කායෝලෝකේ... පොට්ඨබ්බෝලෝකේ.. කායවිඤ්ඤාණං ලෝකේ.. කායසම්පස්සෝ ලෝකේ...කායසම්පස්සජා වේදනා ලෝකේ...පොට්ඨබ්බසංඥා ලෝකේ... පොට්ඨබ්බ සංචේතනා ලෝකේ... පොට්ඨබ්බතණ්හා ලෝකේ... පොට්ඨබ්බවිතක්කෝ ලෝකේ.... පොට්ඨබ්බවිචාරෝ ලෝකේ... මොනවද ඒ ලෝක කියලා බලන්න කය, පහස, කයේ ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා, පොට්ඨබ්බසංඥාව, පොට්ඨබ්බසංචේතනාව, පොට්ඨබ්බ තණ්හාව(ඇලීම) පොට්ඨබ්බ විතර්කයපොට්ඨබ්බවිචාරය මෙන්න ලෝකය පැනවෙන විදිය. 
‘මනෝ ලෝකේ... ධම්මා ලෝකේ.. මනෝවිඤ්ඤාණං ලෝකේ.. මනෝසම්පස්සෝ ලෝකේ..මනෝසම්පස්සජා වේදනා ලෝකේ...ධම්මසංඥා ලෝකේ... ධම්ම සංචේතනා ලෝකේ...ධම්ම තණ්හා ලෝකේ... ධම්ම විතක්කෝ ලෝකේ....ධම්මවිචාරෝ ලෝකේ... මොනවද ඒ ලෝක කියලා බලන්න මනස, සිතුවිලි, මනසේ ස්පර්ශය, ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් වේදනා, ධම්ම සංඥාව, ධම්ම සංචේතනාව, ධම්ම තණ්හාව(ඇලීම) ධම්ම විතර්කය,ධම්ම විචාරය මෙතැන කරුණු 10ක් තියෙනවා. 
මේ විදියටම කණ, නාසය, දිව, කය, මනස යන ආයතන වලින් ලෝක ගොඩනැගෙන හැටි විමසලා බලන්න. ආයතන 6කින් ආකාර 10ට මුලාව තුළ 60 ආකාරයකට ලෝකයට අප හසුවී ඇති බව ඔබට වැටහේවී. එයින් මිදෙන මග ලෙස බුදුන් වදාළේ මුලින් මෙහි ඇති තතු විමසා මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදෙන ලෙසයි. වැරදි ලෙසින් මම මගේ හා මගේ ආත්මය යැයි ගැනීම ඇති තැන සැබෑවටම ඇත්තේ කුමක්ද? ඇතැයි ගැනීම හෝ නැතැයි ගැනීම නිවැරදිදැයි යෝනිසෝ මනසිකාරය කර නුවණින් ම දකිමින් සම්මා දිට්ඨියට පත්විය යුතුය. අන්න එදාට ඔබට බුදු සමිදුන් ලෝකය දුටු ආකාරයට සෝතාපන්න ශ්‍රාවක මට්ටමින් වැටහිම ඇතිවේවී. ඔබ තුළ ශ්‍රද්ධාව පිරුණා වන්නේ එතැනය. 
මෙතෙක් මම කියා ගත්තේ ධර්මතා සමූහයකටය,මම යැයි සිතා සිටියේ ඇතිව නැතිව යන (මනසට හසුවන) බාහිර ඇතැයි සිතූ නමුදු මනසේම මායාවකට නේදැයි දකින්ට පුළුවන්. යම් ලෝකයක් ඇතැයි හෝ නැතැයි ඔබ සිතා සිටින්නේ නම් ඔබ පත්වූ මුලාව ඔබව සසර ඇවිද්දවන්නට සමත්වේ. සියලු කායික මානසික දුක් දොම්නස්වලට ඔබට අයිතිකරුවා විය හැක. එසේ වන්නේ ඇයි? ඔබගේ ඒ මුලාව හෙවත් අවිද්‍යා සහගත දිට්ඨිගත ඤාණ විප්‍රයුක්ත සිතුවිලි නිසාම තණ්හාව හටගනී. සත්ව පුද්ගල ද්‍රව්‍ය සංඥාව ඇති තැන ඔබ මුලාවට පත්ව තණ්හාවෙන් වෙලී යනු ඇත. ඒ තණ්හාවේ නිරෝධයම නිවණයි. 
මේ සසර දුකින් නිදහස්වී ඒ සදාතන සැනසිල්ලට පත්වෙන්න දැන් ඔබටත් මටත් කරන්නට දෙයක් තියෙනවාද? ඔව්, තමා තුළ ගුණ ධර්ම වඩවමින් නිරතුරු සිත් සතන් තුළ හටගන්නා කෙළෙස් මල සෝදා හරිමින් සිත පිරිසුදු කරගන්න ඕන. අපි මුලින්ම සිල්වත්වීම අත්‍යවශ්‍යයයි. නමුත් සිල් පද කියවලා නතරවීම හෝ සමාදන්වී නිකම් හිඳීම ප්‍රමාණවත් වෙන්නේ නෑ. සිල් පද රැකීම යනු කය වචනය සංවරකරගැනීම බව ඇත්ත. 
“තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤ්‍යෙන්ති මේ භික්ඛවේ. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේහී.....”
බුදුන් වහන්සේගේ ප්‍රථම දේශනාව වන ධම්මචක්ක සූත්‍රයේ පරිදි...දුක්ඛ ආර්ය සත්‍ය වන පංචුපාදානස්කන්ධ දුක පරිඤ්‍යෙය වූ හෙවත් පිරිසිඳ දැකිය යුත්තක්. 
“තං ඛෝ පනිදං දුක්ඛ සමුදයං අරිය සච්චං පහාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේහී....
දුක්ඛ සමුදයාර්ය සත්‍ය වන පටිච්චසමුප්පාදානුකූලව සකස් වන දුකට හේතුව වූ තණ්හාව ප්‍රහාණය කළ යුත්තක්. 
“තං ඛෝ පනිදං දුක්ඛං නිරෝධං අරියසච්චං සච්ඡීකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේහී.... ...
දේශනාව සිහිකරලා බලන්න. නිරෝධය සාක්ෂාත් කළයුත්තක්. දුකට හේතුව වූ තණ්හාව ප්‍රහාණය කිරීමේදී එතැන සාක්ෂාත් වන්නේ නිරෝධයයි. එය පටිච්ච සමුත්පාද නිරෝධයයි, එනම් දුක හැදෙන වැඩපිළිවෙල පරාජය කිරීමයි. 
“තං ඛෝ පනිදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරිය සච්චං භාවේතබ්බන්ති මේ භික්ඛවේ. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේහී......
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩිය යුත්තක්. භාවිත කිරීම කියන්නේ වැඩීමක් ගැනයි කියන්නේ. එය වෙනත් ක්‍රමයකට කොටස් කර පෙන්වන්නේ සීල සමාධී ප්‍රඥා වශයෙන්. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න තියෙන එකක් නම් සීලය මොකද කරන්න ඕන වඩන්න ඕන නේද? කොහොමද සීලය වඩන්නේ? සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුතුව සිල් පද කැඩෙන හේතුව වන අකුසළය පරාජය කිරීම නෙවෙයිද? අකුසළය පරාජය කරනවා යනු නීවරණ දුරු කරනවා නෙවෙයිද? නීවරණ දුරුකරනවා කියන්නේ මොකක්ද සමාධිය වඩනවා නෙවෙයිද? සතිය බලවත්වෙනවා නෙවෙයිද? එය සතිපට්ඨානය නෙවෙයිද? ඒ කියන්නේ සිහිය පවත්වනවා කියන එකනේද? සමාධිය වැඩෙනකොට එතැනදී ප්‍රඥාවෙන් ලෝකයේ ජීවිතයේ සැබෑව දකින්න පුළුවන් නේද? එයම යෝනිසෝ මනසිකාරය නේද? මෙතැනදී සත් තිස් බෝධිපාක්ෂික ධර්මමයි වැඩෙන්නේ.
මෙන්න බුදුන් වදාළ නියම මාර්ගය මේ ගැන සැකයක් තියෙන්න පුළුවන් ද? නෑ ඔබම තේරුම්ගන්න. විවිධ ආකාර විකෘති දහම් පැහැදිලිකිරීම් ඔස්සේ අතරමං වෙන්න එපා. කාගෙවත් අත්තනෝමතික අර්ථකතනයන්ට මුලාවෙන්න එපා. එක අකුරක්වත් නොඅඩුව ඉතා ම සුපිරිසුදුව ජීවමානව මේ දහම බැබැලි බැබලී තියෙනවා එය ඔබ තුළින් දකින්න උත්සාහකරන්න. මේ ලෝකය තුළ පවතින දහම මොකක්ද? ජාති ජරා මරණනේද? එය තියෙන තාක් ලෝකය පවතිනවා. ජාති ජරා මරණ ඇතිවෙන හේතුව ඔබ දන්නවා නම්? එය නවතන සුපැහැදිලි පරියාය ඔබට වැටහෙනවා නම් ඒ සඳහා වන මාර්ගය දන්නවා නම් ඔබම වඩන්න. කුකසක් සැකයක් කම්මැලිකමක් හෝ බියක් ඇති කරනොගෙන බුද්ධ ධම්ම සංඝ ගෞරවයෙන් ශ්‍රද්ධාව පූර්ණ වන තුරු වඩන්න. අවිද්‍යා සහගතව ලෝකය ජීවිතය නමින් පනවා ගත් ඔබ මුලාවූ දෘෂ්ඨි ජාලයෙන් මිදෙන්න. සත්ව පුද්ගල සංඥාවෙන් මිදෙන්න. අසුබ දේ සුබ හැටියට දකින, අනිත්‍ය වූ දේ නිත්‍ය විදියට දකින, දුක් දේ සැප වශයෙන් දකින, අනාත්ම දේ ආත්ම ලෙස දකින සතර සංඥා විපල්ලාසයෙන් මිදෙන්න. ලෝකයේ සැබෑව දකින්න. ඔබත් නිවුණු කෙනෙක් වෙන්න. ධර්මය සාන්දෘෂ්ඨිකයි. අකාලිකයි. ඒ මහා මුනිවර මහ ඉසිවර බුදු පියාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවක දරුවෙක් වෙන්න. 
සිල්වත්වෙලා සිහිය බලවත් කරගන්නට සතිපට්ඨාන භාවනාවේ යෙදෙමින් සමාධිමත් හිතක් ඇති කරගෙන ඔබටත් මේ නිවන් මග වඩන්නට තුණුරුවනේ අනන්ත සූවිසිගුණ බලයෙන් ශක්තිය ධෛර්යය වීරිය හා වාසනාවම ලැබේවා..!
තෙරුවන් සරණයි..!
************************************************************************
සාධු ! සාධු ! සාධු !........    _/\_    (Ananda Wijayaratna)

No comments:

Post a Comment