Sunday, September 22, 2013

කුසල් කොට අප ප්‍රාර්ථනය කරන ධනය හා බලය යහපත පිණිස වේද?

කුසල් කොට අප ප්‍රාර්ථනය කරන ධනය හා බලය  යහපත පිණිස වේද?

අප අපමණ කුසල් කරමින් ධනය .... බලය... කීර්තිය .... පරිවාර සේනාව...ප්‍රාර්ථනය කරමු. 
මෙම බලයන් දෙව්දත් තෙරුනටද වීය. ඔහු හා ඔහු ගේ පරිවාර භික්ෂූන්ට දිනපතා හැලි 500 බැගින් අජාසත් රජු ගේ මාළිගයෙන් ආහාර  සැපයිනි. ඔවුහු පින්ඩපාතයේ නොගොස් සුවසේ වලදමින් කල් ගෙවූහ. 
ඒත්  බුදුහිමියන් ගේ  ශ්‍රාවක සංඝයා අපමණ  දුක් ගැහට විදිම්න් පින්ඩපාතයේ ගොස් වේල සරිකර ගනිමින් කල් ගෙවීම අප ගේ අභාග්‍යයක් දැයි විමසා සිටියහ.

ඊට පිළිතුරු වශයෙන් හිමි වදාළේ එම සැපතට නොරැවටෙන ලෙසයි. දැලිපිහිය ඔබට හිස මුඩුකරගැන්මට වගේම ගෙල සිද ගැනීමටත් උපකාර වන්නාසේ.... ධනය/බලය/කීර්තිය/පිරිවර/
කුසල හා අකුසල යන දෙක්හිම පොදුවේ ක්‍රියාත්මක වන බවයි.
ඔබ යහපතක් කිරීම පිණිස ආයුධයක් පතයි.එය ඔබ අතට ලැබේ..................
ඔබ අයහපතක් කිරීම පිණිස ආයුධයක් පතයි. එය ඔබ අතට ලැබේ...............
මෙකී ධන බලයන්ද එපරිද්දෙන්ම ආයුධවේ. එහි  ඇලිම යහපත පිණිස  නොමවන්නේයැයි පිළිවදන් දුන්හ.
ආනන්ද විජයරත්න

Monday, September 16, 2013

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

ගමන ඉවරත් නොමැති
යන ගමනකුත් නොමැති තුන් කලට වහල් නිති 
ඔබත් ඔරලෝසු කටුවක්‌ද?

ඔබ මොහොතක්‌ සිතන්න. අපි අවිද්‍යාව නිසා මොනතරම් වැරදි දෘෂ්ඨිවල ඉන්නවාද කියලා. ඔබට සිතෙන්නේම "දැන් ශාසනයෙන් වසර දෙදහස්‌ පන්සීයක්‌ ගෙවිලා අවසන්, දැන් ශාසනය අතුරුදන් වන යුගය, ධර්මය අවබෝධකර ගැනීමට මේ වකවානුවේ නොහැකියි. පිනක්‌ දහමක්‌ කරගෙන, පාරමී සම්පූර්ණ කර ගැනීමයි කළ යුත්තේ" කියලා.

මේ සියලුම දෘෂ්ඨීන් අවිද්‍යාව නිසා ඇතිවන ඒවාය. සමාජය දෙස බැලීමේදී අපි දකින්නේ විකෘති ස්‌වභාවයන්ය. අනාගතයේදී ඇතිවන විකෘති ස්‌වභාවය ගැන කොසොල් රජතුමාගේ සිහින විස්‌තර කිරීමේදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මනාව පෙන්වා දී ඇත. වර්තමානයේ අපි කවි බණ, විරිදු බණ, කාලීන බණ, දෙපිට කැපෙන වචන යොදන බණ ආදිය අසන්නෙමු. අනාගතයේදී අපට සින්දුවෙන් බණ කියන ස්‌වභාවය දැකිය හැකිය. ස්‌වාමීන්වහන්සේ ධර්මාසනයේ සිට ධර්මගීතය ගායනා කරන විට ඒ අසළ සිටින සංගීත කණ්‌ඩායම එම ධර්ම ගීතයට සංගීතය සපයනු ඇත. මේවා ජනතාව අතර, විශේෂයෙන්ම තරුණ පරපුර අතර, ඉතා ජනප්‍රියභාවයට පත්වේ. ජනතාව, තරුණ පරපුර ධර්මයට යොමු කිරීම සඳහා පාලකයන් ද, මාධ්‍යය ද තව තවත් ධර්ම ගීත ප්‍රචලිත කරනු ඇත. මේවාට ඔබ කලබල විය යුතු නැත. මේවා ලෝකයේ ස්‌වභාවයන්ය. අපි කලබල වියයුත්තේ මෙසේ නොවුනහොත්ය.

අපි කළ යුත්තේ ලෝකයේ මෙම ස්‌වභාවය හඳුනාගෙන ලෝකයෙන් මිදීයැමට වෙර දැරීමය. ලෝකයේ ස්‌වභාවය අපට වෙනස්‌ කළ නොහැකිය. ඔබ මේවාට ගැටුනහොත් ඔබ ගැටෙන්නේ ධර්මය සමඟය. ලෝක ස්‌වභාය සමඟය. අප කළ යුත්තේ ගැටීම නොව අවබෝධ කරගැනීමය. ඔබ අතීතයද, අනාගතයද අතහැරිය යුතුය. වර්තමානය තුළ පමණක්‌ ජීවත්විය යුතුය. නිවන් මඟ වඩන්නා යනු වර්තමානය තුළ ජීවත් වෙන්නාය. හෙටක්‌ ගැන බලාපොරොත්තුවක්‌, ඊයේ ගැන පසුතැවීමක්‌ ඔහුට නැත. වර්තමානය තුළද ඔහු දැකිය යුත්තේ මොහොතකින් අතීතයට යන, මොහොතකට පෙර අනාගතය වූයේ වර්තමානය බවයි. එසේනම් වර්තමානය ද මායාවකි, මුලාවකි. එය නිරතුරුවම වෙනස්‌ වෙයි. කාලය වෙනස්‌වීම අවබෝධයෙන් දකින්නා කාලසටහන්වලින් ඉවත්වේ. කාලසටහන් පාවිච්චි කළ හැක්‌කේ එකිනෙකට වෙනස්‌ විෂයන්ටය. එහෙත් විශ්වය තුළ ඇත්තේ එකම විෂයකි. එකම පාඩමකි. එය නම් අනිත්‍යයයි.

ඔබ ජීවත්වන්නේ ද අනිත්‍යය තුළය. එහෙත් ඔබ එය නොදනී. අනිත්‍යභාවය නිසා ඇතිවන දුක නැති කරගැනීම සඳහා ඔබ වෙහෙසේ. ඔබ තුළ ඇති තරගකාරීත්වයද, වේගයද, අනිත්‍යභාවය නිසා ඇතිවන දුක අවසන් කරගැනීම සඳහා ඔබ ගන්නා ව්‍යයාමයේ ප්‍රතිඵලයකි. ජීවත්වීම යනුවෙන් ඔබ කරන්නේ ඔය කාර්යයයි. අබෞද්ධ පිංවතුන්ටද, සියලු සත්වයාටමද මෙය පොදුය. ඔබ සිනාසෙන්නේ සතුටට යෑයි ඔබට සිතෙනු ඇත. නැත. ඔබ සිනාසෙන්නේ දුක නැතිකර ගැනීම සඳහාය. ඔබ ආහාර ගන්නේ කය පිනවා ගැනීමට නොව කුසගිනි දුක නැතිකර ගැනීමය. ඔබ ඖෂධ ගන්නේ ශරීරය සතුටු කිරීමට නොව මරණයෙන් බේරීමටය. ඔබ ශරීරයේ සුවඳවිලවුන් තවරා ගන්නේ ශරීරයෙන් හමන දුගඳ දුරුකර ගැනීම ය. ඔබ හිසකෙස්‌ කළුකර ගන්නේද සුදු හිසකෙස්‌ නිසා ඇති වන දුක නැති කර ගැනීමටය. බලන්නකෝ "මම, මගේ" යෑයි ඔබ ගොඩගසාගෙන සිටින දුක්‌ කන්දක විශාලත්වය.

හොඳයි ඔබ මෙහෙම සිතන්නකෝ. ඔබ පන්සලට ගිහින් බුදුන්වඳින්නේ අපායට, දුකට වැටෙයි කියලා බයට. එතැනදී ඔබ මොකද කරන්නේ. දිව්‍යලෝක, මනුෂ්‍ය ලෝක ප්‍රර්ථනා කරනවා. බලන්න ඔබ දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරනවා. මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙමින් එම දුකම ප්‍රාර්ථනා කරනවා. අනිත්‍යභාවයට පත්වෙන දිව්‍යලෝක දුකම ප්‍රාර්ථනා කරනවා. පිංකම් කරලා දුකම ප්‍රාර්ථනා කරනවා. පෘතග්ජන සත්වයා අගමුල පැටළුණ නූල් බෝලයක්‌ වගේ යෑයි ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කළේ මේ නිසාය.

හැබැයි ඔබ නිවීසැනසිල්ලේ වීර්යයෙන් සතියෙන් මේ නූල්බෝලයේ පැටළුම ලිහාගතහොත්, ඔබට එහි අගක්‌ මුලක්‌ මැදක්‌ හොඳට දකින්න පුළුවන්. ලෙහාගන්න පුළුවන්කම තිබීයදීමයි ඔබ මේ පැටලී සිටින්නේ. ඔබ මේ නූල්බොලයේ පැටලිල්ල ලිහාගතහොත් ඔබ නූල්බෝලය නැවත බදාගන්නේ නම් නැහැ. මොකද ඔබ අවබෝධයෙන් දන්නවා නූල්බෝලය පැටළුම් ස්‌වභාවයෙන් යුක්‌ත බව. මේ පැටළුම ලිහාගන්න ඔබට කාලය ප්‍රශ්නයක්‌ නැහැ. හැබැයි ඔබට නිහතමානීකම තිබෙන්න ඕනේ. නිවන් මඟ නිවීමේ ශබ්දකෝෂයේ "අ"යන්න නිහතමානී කමයි. නිහතමානීකම නොමැති කිසිවෙකුට නිවීමේ ප්‍රතිපදාවේ දශමයක්‌වත් ඉදිරියට යා නොහැකිය.

භික්‍ෂුව ගිහි කාලයේදී කොතැනින්ද, කවුරුන්ගෙන්ද යමක්‌ ඉගෙනගැනීමට හැකි.... ඒ සැමදෙනාටම සවන්දුන්නේය. ජාතිය, ආගම, වයස, තරාතිරම, නොබැලූවේය. ගතයුත්ත ගත්තේය. අත්හලයුත්ත අත්හැරියේය. වරක්‌ භික්‍ෂුව ගිහිකාලයේදී ප්‍රධාන නගරයක ගමන්කරන විට යාචක මනුෂ්‍යයෙන් දැඩි වේදනාවකින් පෙළෙමින්, තම ගුදමාර්ගයෙන් ඉවතට පැමිණි අඟල් හයක්‌ පමණැති ශරීර අවයවයක්‌ ශරීරය තුළට ඔබනවා දුටුවේය. එය අර්ශස්‌ රෝගයේ දරුණු අවස්‌ථාවකි. මේ යාචක පිංවතාගෙන්ද භික්‍ෂුව නිවීමට අවශ්‍ය කලමනා සොයාගත්තේය. කුඩා දරුවෙක්‌ගෙන් ඔබට යමක්‌ ඉගෙනීමට හැකිනම් ඔබ එය ඉගෙනගත යුතුය. එය කළහැක්‌කේ නිහතමානීකම තිබුනොත්ය. නිවීමේ මඟ උදෙසා ඔබට මවුකුස පිළිසිඳ වැඩෙන කලල රූපය තුළින් ලැබිය හැකි අවබෝධය, මහා පඬිවරයෙක්‌ගෙන් ලැබිය නොහැකිය. මන්ද මහා පඬිවරයා පිළිබඳව ඔබට නිවැරදිව අවබෝධය ලබාගන්නට නම් ඔහුගේ කලල අවස්‌ථාවට, බිළිඳු අවස්‌ථාවට යායුතු හෙයිනි. මේ දැකගැනීමට ඔබ තුළ නිහතමානීකම තිබිය යුතුය.

තමා ශිල්වත් බවත්, භාවනාවෙන් ඉහළ තත්ත්වයක සිටින බවත් සිතමින්, මහා සංඝරත්නයට නොවඳින පිංවතුන්ද සිටියි. ධර්මය දැනීමට නම් අවම වශයෙන් ඔහු තුළ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක්‌ තිබිය යුතුය. සමහරවිට ශීල, සමාධි, භාවනා මාන්නය නිසා මහා සංඝරත්නයට නොවඳින පිංවතුන් සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික භාවයේ වීමටද ඉඩ ඇත. මේවා නිහතමානී නොවීමේ ප්‍රතිඵලයයි. මහාසංඝරත්නයට නමස්‌කාර කිරීමට එම පිංවතුන්ට හිස නොනැමෙන්නේ ඒ පිංවතුන්ගේ හිස මාන්නයෙන් බරව ඇති නිසාය. අබුද්ධෝපත්ති කාලයේදීත් පසේබුදුවරු ලොව පහළවී ධර්මය අවබෝධ කරගෙන නිවන් දකිති.

උන්වහන්සේලා මනුෂ්‍ය ලෝකයේ මව්කුසක උපත ලබා ගන්නේ සංසාරයේ පුරණ ලද පාරමී ශක්‌තිය අධ්‍යාත්මය තුළ දරාගෙනයි. සංසාරයේ පුරණ ලද අනිත්‍යසංඥාවේ ඉව උන්වහන්සේලාගේ අධ්‍යාත්මය තුළ සැඟවී තිබෙනවා. උන්වහන්සේලා තනිවම, හුදෙකලාවේ වනගතව ධර්මය අවබෝකර ගන්නවා. හැබැයි අවබෝධකරගත් ධර්මය පසේ බුදුවරු විසින් ජනතාවට දේශනා කරන්න යන්නේ නැහැ. ඒ උන්වහන්සේලාට දේශනා කිරීමේ ශක්‌තිය, අවබෝධය නැති නිසා නොවෙයි. ධර්මය අවබෝධය ලැබුවා කියන්නේ එහි ස්‌වභාවය දැක්‌කා කියන එකයි. ධර්මයේ ස්‌වභාවය දැක්‌කා නම් එය දේශනා කරන්න බැරිවෙන්න බැහැ. ඔබ පිටකොටුවට ගියානම් ඔබ දන්නවා බස්‌නැවතුම, දුම්රියපළ, බෝසමිඳුන් කොතැනද සිටින්නේ කියලා පිටකොටුවේ ස්‌වභාවය ගැන කියන්න. ඔබට එය කියන්නට බැරිනම් ඔබ නියත වශයෙන්ම පිටකොටුවට ගිහින් නැහැ. පසේබුදුවරු තමා අවබෝධකරගත් ධර්මය අනුනට දේශනා නොකරන්නේ ධර්මය අවබෝධයට තබා, ධර්මයට ගරුකිරීමටවත් විශමවූ, පාපකාරී, මිත්‍යාදෘෂ්ඨික අබුද්ධෝත්පාද කාලයකදී කෙනෙකු නොමැතිවීමයි. පසේබුදුවරු එවැනි කාලයකදී එවැනි මිනිස්‌ සමාජයකට ධර්මය දේශනා කිරීමට ගියහොත් එම සමාජය පසේබුදුහිමිට "පිස්‌සෙක්‌" යෑයි පරිභව කරනු ඇත. පහරදෙනු ඇත. මෙවැනි හේතූන් නිසා මිනිසා රැස්‌කරගන්නා අකුසල්වල ප්‍රමාණය උන්වහන්සේලා හොඳින්ම දනියි. ඒ නිසා පසේබුදුරජාණන් වහන්සේලා වනයේ හුදෙකලාවේ වැඩසිටිමින් පිරිනිවීයති. උන්වහන්සේලා මිනිසාට දේශනා කිරීමට නොයන්නේ ඔවුන් කෙරෙහි ඇති කරුණාව, මෛත්‍රිය නිසාමය.

මෙවැනි විශම කාලවලදීත් පසේබුදුවරු ධර්මය අවබෝධ කරගන්නේ නම්, ධර්මය අවබෝධ කරගැනීමට කාලය ප්‍රශ්නයක්‌ නොවේ. ප්‍රශ්නය ඇත්තේ ධර්මය අවබෝධකර ගැනීමට ඔබ කාලයට භාරදීමයි. කාලය තුළ ඇත්තේද වෙනස්‌වීම, ගෙවීයාම පමණක්‌මය. අතීතයද, වර්තමානයද, අනාගතයද නිරතුරුවම වෙනස්‌වන, අනිත්‍යයට පත්වන ස්‌වභාවයන්ය. මෙතුවක්‌ කලක්‌ සංසාරයේදී කාලය විසින් ඔබව රවටා ඇත. ඔබව රැවටීමට කාලයට උදව් කළේ අවිද්‍යාවයි. නිත්‍යභාවයේ නැති අනාගතයකට, ධර්මාවබෝධය ලැබීම භාර කරන පෘතග්ජන සත්වයා දිය පිපාසයෙන් මිරිඟුව පසුපස දිවයන මුවෙක්‌ සේ නැති අනාගතයක්‌ පසුපස දිවයයි. ඔහු දිවයන වේගයෙන්ම ඔහු සොයන අනාගතයද අවිද්‍යාව විසින් ඉදිරියට දුවවනු ඇත. මේ අවිද්‍යාවෙන් ඔබ නොමිදුනොත් දිවීමත්, හතිදැමීමත්, දුකත් හැර ඔබට අනාගතයක්‌ හමුනොවනු ඇත. කල්ප ගණනක සිට අනාගතයට දිවයමින් හතිදමමින් මේ මොහොතේ ඔබ සිටින්නේද එම ස්‌වභාවයේමය. මේ මොහොතේද ඔබ නිවන්මඟ වැඩීම කල්දමා ඇත. සමහරු මෛත්‍රී බුදුසමිඳුන් දැක නිවන් දැකීම පිණිස කල්ප ගණනක්‌ අනාගතයට ගොස්‌ ඇත. නැති අනාගතයක්‌ ඉලක්‌ක කරමින්, ධර්මය අවබෝධකර ගැනීමට ඔබ ලැබූ මේ උතුම් අවස්‌ථාව අපතේ හැරීමකි ඔබ මේ කරමින් සිටින්නේ.

අවබෝධය අතින් ඔබ මෙතැනැයි සිටින්නේ කියලා අධිතක්‌සේරුවකට එන්න එපා. මොකද ඔබ මෙතැනයි ඉන්නේ කියලා කියන්න ස්‌ථිර, වෙනස්‌ නොවන තැනක්‌ ලෝකයේ නැහැ. ඔබට, මම මෙතැන සිටිනවාය කියලා රැඳීසිටින්න බැහැ. ඔබට එහෙම සිතෙනවානම් ඔබ සිටින්නේ අන්තිමයාටයි. ඔබට ප්‍රථමයා වෙන්න නම්, ඔබට දැනෙන්න ඕනේ ඔබ සිටින්නේ අනිත්‍යය තුළයි කියලා. ස්‌ථිර තැනක්‌ නැති ලෝකයේ ඔබ කළ යුත්තේ ස්‌ථිර තැන් සෙවීමට නොව අස්‌ථිර ලෝකයෙන් මිදීයැමය. කාලය තුළ අතීත, අනාගත වර්තමාන වශයෙන් ස්‌ථිර යමක්‌ නොමැත. කාලය යනු අනිත්‍යයයි. එනිසා කාලය, වේලාව ඔබ අත්හරින්න. එවිට අතීත, අනාගත, වර්තමාන තුන් කාලයම ඔබට අතහැරේවි. ඔබට එසේ දකින්නට බැරිනම් ඔබ සිතන්න, සංසාර ගමන්මගේ ඔබ ගතකරන මේ මොහොත හොඳම කාලය බව. ධර්මය අවබෝධකරගැනීම පිණිස මෙවැනි කාලයක්‌ තව කල්ප ගණනාවකට ඔබට නොලැබේවි. ඉක්‌මනින් හිතන්න. වර්තමානය අතීතයට යනවා. අනාගතය වර්තමානය වෙනවා. ඔබ නැති අනාගතයක්‌ දකිමින් දුක සමඟ පෙරටම යනවා. අනාගතය, අනාගතය.... කියලා මාරයා ඔබට ලොකු කැරට්‌ අලයක්‌ දික්‌කරනවා. දුක සැපක්‌ කරගත්ත, සැප බලාපොරොත්තුවක්‌ කරගත්ත අපි මේ යන්නේ නැති අනාගතයක්‌ සොයාගෙන.

ඉන්ද්‍රජිත් සුබසිංහ

Saturday, September 7, 2013

සුනීත ඔසවා ගෙන සිටි අශූචි කද බිම හෙළයි.. අවබෝධයට පත්වෙයි.

සුනීත ඔසවා ගෙන සිටි අශූචි කද බිම හෙළයි.. අවබෝධයට පත්වෙයි.
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
අප අල්ලාගෙන සිටින දහම නමැති දැනුම විසිකරන්න මැළිවෙමු. ඒ නිසයි මේ වාද විවාද. ඒ අප ගේ මහන්තත්වයට හානිවේය යන බියෙනි. තමා ගේ නමට තරම් ඇල්මක්,බැදීමක් තවත් ඇත්තේ නැත.
නමුත් ඒ අපට කිසිවෙක් දුන් අංකයක් පමණි.
සුනීත යන නමද ඉතා ප්‍රණීතය. 
ඒත් ඔහු එම වසුරු කද 2 පාරක් නොසිතා විසිකළේය.
ඇයි අපට බැරි?
1. “පෙර භවයේ අප සිත පුරුදු නොකළ බැවිනි.“
2. පිං මද බැවිනි. ( බදු හිමි ඔවදන මෙයද? )
මෙයයි වසුරු කද . අසාගත් දැනුම අපට උගන්නවා ඇති දෙයයි. අප එය අතහරින්න කැමැති නොවෙමු. එතෙක් අප සත්‍ය දකින්නේ ද නැත.

අලුත් ඉරකි පායන්නේ, අලුත් දවසකට පැතුම් ගෙනෙන්නේ?

අලුත් ඉරකි පායන්නේ, අලුත් දවසකට පැතුම් ගෙනෙන්නේ?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

අපිට හැමදාමත් අලුත්ම අලුත් (brand new) ඉරක් පායයි. අලුත්ම අලුත් දවසක් උදාවෙයි. ලෝ වැසි සියල්ල අලුත් දවසකට පැතුමන් එක් කරත්.
අද පායාපු ඉර නෙමේද ඊයේ පෑව්වේ? කියා ඇසුවොත් උත්තරය වෙනස් වේවි. කැලැන්ඩරයෙන් කොලයක් ගැලෙව්වාට ආපු අලුත් දිනයක් වේද? මේ තමා සම්මුතිය.
කඩදාසි කොළ ටිකක් හැමෝම එකතුවී මුදල් යනුවෙන් සම්මත කර ඒවා ගනුදෙනුවලට යොදා ගමු.රුපියල් 5000 නෝට්ටුව අද මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු වේ. කියා රජය නිවේදනය කළොත් එය එසැණින් හිස් කරදාසියකි.
කාලය පැයක් දෙකක් එහෙමෙහෙ කොට ගැනීම අද ලොව සාමාන්‍ය දෙයකි. ඒත් අප එම බොරුව අනුව යමින් උපන්දින සාද පවත්තමු. නැති කාලයක් ගෙන වයසට පත්වෙමු. ආයු වළදා දිවංගත වෙමු. එහා ලෝකයට දින දා ගෙන යන්න බලමු.අපායට යන්න දින දාගමු. 

Monday, August 26, 2013

ජීවිතය යනු කුමක්ද?.. දකින්න... යථාර්ථය.

පෙර නොතිබීම ඇසට*චක්ඛු ධාතුව+රූපාරම්මණය හෙවත්රූපායතනය* රූප මුණ ගැහීම සමග පහළවන ධර්මතාව විඤ්ඤාණයට කියන්නේ චක්ඛු විඤ්ඤාණය*චක්ඛායතනය සැකැස්ම* =(තිණ්ණං සංගති ඵස්සෝ) +වේදනා සංඤා චේතනා තණ්හා මනසිකාර---නැවත*මනධාතුවට ධම්ම ධාතුව* මනසට අරමුණ මුණ ගැහීම සමග පහළවන ධර්මතාව විඤ්ඤාණයට කියන්නේ ම‍නෝ විඤ්ඤාණය*මනායතනය සැකැස්ම* =(තිණ්ණං සංගති ඵස්සෝ) +වේදනා සංඤා චේතනා තණ්හා මනසිකාර----------මෙම ක්‍රියාවලිය අනාත්මයි, සත්ව පුද්ගල සංඥාවෙන් තොරයි.මම යන්න මුලාවක්.
දකින දෙය ස්ථිර ලෙසම තියෙනවා යන මුලාවෙන් තොරවන්නට නම් යම් සම්මුති නමකින් ස්වභාවයකින් තොරව දකින්නට නම් පෙනෙන විටම අදහස විය යුත්තේ මේ දැකීම පෙර නොතිබීම හටගෙන එතැන ම ඉතිරි නැතිව අවසන් වන බවත් නැවත සිහිවෙනවා නම් එය මනසේ මුලාවක්මයි යනුවෙනි.මනසින් සිහිකිරීමේදී ද මනසද පෙර නොතිබීම හටගෙන එතැන ම ඉතිරි නැතිව අවසන් වන බවත් නැවත නැවත අඛණ්ඩව මේ සිද්ධාන්තය සිදුවීම බව වටහාගත යුතුය. ආයතනයෙන් ආයතනය මෙසේ සිදුවෙයි.
ඇස- මාංශ චක්ෂුසය (සම්මුතිය තුළ පමණක්හමුවේ)-
(පරමාර්ථ විමසීමේදී)-චක්ඛු ධාතුව-චක්ඛු ඉන්ද්‍රිය- මෙය සතර ධාතු නොවේ.
සම්මා දිට්ඨිය ඇතිවීමට මෙසේ වඩමු
දකින සියල්ල ඇසේ ස්පර්ශය ලෙසද,(චක්ඛු සම්පස්සය)
ඇසෙන සියල්ල කණේ ස්පර්ශය ලෙසද,(සෝත සම්පස්සය)
නාසයට දැනෙ ගන්ධයෝ සියල්ල නසයේ ස්පර්ශය ලෙසද,(ඝාණ සම්පස්සය)
දිවට දැනෙන සියල්ල දිවේ ස්පර්ශය ලෙසද,(ජිව්හා සම්පස්සය)
කයට දැනෙන පහස් සියල්ල කයේ ස්පර්ශය ලෙසද,(කාය සම්පස්සය)
සිතුවිලි සියල්ල මනසේ ස්පර්ශය ලෙසද,(මනෝ සම්පස්සය)
ජරා මරණ
මේ මොහොතේ ඇතිව නැතිව යන ධර්මතාව වන ඒ ඒ ආයතන 6 තුළ පංචුපාදනස්කන්ධ සැකසීමත්
ආයතන 6 සැකසීමත් (චක්ඛායතන සෝතායතන.....මනායතන)
හේතු යෙදෙන කොට ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන නිසා ඵලය ද අවසන් (සන්තතිය නිසා මෙය නොපෙනේ)
ඉහත ජරා මරණ ලෙස ප්‍රපංච ඔස්සේ මේ මොහොතේ පැනවෙන සියල්ල සිහිකරන්න එලෙසින්ම.
ඇති බවට හෝ නැති බවට මේ මොහොතේ හමුවන සියල්ල දෙස විමසිලිමත්වන්න. ඇසට හමුවන වර්ණ සටහන හැර වෙන යමක් තිබේද? ඒ ඔස්සේ සිතින් පනවා ගන්නා හැඩ තලය ප්‍රමාණය වටිනාකම් කැමැත්ත අකැමැත්ත ආදිය තිබුනේ ගොඩනැගුනේ කොහේද? සිතේය.
එසේනම් දකින සියල්ල ඉදිරියේ මුලා නොවිමට දකින මොහොතේම සිතන්න සියල්ල වර්ණ සටහන් ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
ඇසෙන සියල්ල ඉදිරියේ මුලා නොවිමට අසන මොහොතේම සිතන්න සියල්ල ශබ්ද රූප ලෙසත්, සද්දායතන ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
නාසයට දැනෙන ගන්ධයන් සියල්ල ඉදිරියේ මුලා නොවිමට නාසයට ගන්ධයන් දැනෙන මොහොතේම සිතන්න සියල්ල ගන්ධ ධාතුව හෙවත් ගන්ධ රූපය ලෙසත්, ගන්ධායතන ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
දිවට දැනෙන රස සියල්ල ඉදිරියේ මුලා නොවිමට රස දැනෙන මොහොතේම සිතන්න සියල්ල රස ධාතුව ලෙසත්,රසායතනය ලෙසත් රස රූපය ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
කයට දැනෙන පහස සියල්ල ඉදිරියේ මුලා නොවිමට කයට පහස දැනෙන මොහොතේම සිතන්න සියල්ල පොට්ඨබ්බය ලෙසත්, පොට්ඨබ්බායතනය ලෙසත්
පොට්ඨබ්බ රූපය ලෙසත් ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් පටිඝ සම්පස්සයෙන් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
සිතෙන සියල්ල ඉදිරියේ මුලා නොවිමට හිතෙන මොහොතේම සිතන්න සියල්ල සංකල්පනා ලෙසත්, මනායතනය ලෙසත්, විත්තජ රූප ලෙසත්, ජරා මරණ ධර්මතා ලෙසත් සිතේ සංකල්පනා පමණක් බවත්/ පෙර නොතිබීම හේතු යෙදෙන කොට(ධාතු ගැටෙන කොට) ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන බැවින් ඉතිරි නැතිවම අවසන් වන බවත් අධි වචන සම්පස්සය ලෙසත් විතර්ක ලෙසත් හුදු ප්‍රපංච පමණක් ලෙසත්/ සසර දුක් ගෙන දෙන භයානක විෂක් ලෙසත් අනිත්‍ය ලෙසත් දුක් ලෙසත් අනාත්ම ලෙසත්.......................
සම්මා සංකල්පයන් ගෙන ලෝකය දකින්න. (නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා)
පරිහරණය කරන සියල්ලෙහි ආශ්වාදයන්ට වඩා ආදීනව වැඩි ලෙසින් දැක නිස්සරණයන්ට හිත තබන්න.
සංඤා විපල්ලාසයන්ගෙන් තොරව දකින්න. සැප ලෙස නොව දුක් වශයෙන්ද, සුබ ලෙස නොව අසුභ වශයෙන්, නිච්ච ලෙස නොව අනිච්ච වශයෙන්, ආත්ම ලෙස නොව අනාත්ම වශයෙන් දකින්න.
මහා භූත හා උපාදාය රූප කිසිවක් ආත්ම ස්වභාවයට අයත් නැති වග දකින්න
රූපය මනසේ හුදු මායාවක් පමණි. වර්ණ ධාතු ඔස්සේ හැඩ තල මනසින් ගනිමින් බාහිරින් දැකීම අවිද්‍යාවයි.
ලෝකය නමින් මේ මොහොතේ මනසට හමුවන හේතු යෙදෙන කොට ඇතිවී යෙදුණු හේතු එසැණින් අවසන් වන සියල්ල මනසේ මායාවන් පමණි.
කාල පරාශයන් ගෙන බලන්න. ඊයේ නම් වූ දවස කෝ? එය හුදු සංකල්පයක් පමණක් නොවේද? අතීතය නිරුද්ධය. අනාගතය තවම පැමිණ නැත. එය ද හුදු මනකඃල්පිතයක්මය. ඒ දෙකම මේ මොහොතේ සිතුවිලි මාත්‍රයන්ය. තත්පරයෙන් තත්පරය ගෙවි ගෙවී යනවා ඒවා එකතුවෙනවා කියා දෙයක් තිබේද? එය මනසින් හදාගෙන එකතුකරගෙන විනාඩිය පැය දවස සතිය මාසය අවුරුද්ද නමින් සංකල්ප ගොඩ නැගීම උන්මත්තක පෘතග්ජන ස්වභාවය නෙවේද? සැබෑවටම (ඇති බවට හෝ නැති බවට හෝ ) මේ මොහොත තුළ පමණක් අත්දකින ලෝකයක් ජීවිතයක් මිස කිසිවක් නැත.
සිහියෙන් වර්තමානයේහරි මැදම හිදින්න. මේ මොහොතේ යෙදෙන ධර්මතාවට සිත තබන්න. එය වේගවත් ක්‍රියාවලියක් වුවද එහි වේගය ගැන සිතීම අනවශ්‍යය. සත්‍ය ලෙසින් ම සිදුවන ධර්මතාව මෙනෙහි කරන්න. ඒ ලෝකයන් කෙරෙහි කළකිරීම ඇති වන තුරු නුවණින් විමසන්න.
මේ මොහොතේ ඇතිව නැතිව යන සිතුවිලි මිස කාලත්‍රයක් පනවා ගැනීම පුද්ගලභාවයේ ඇති අවිද්‍යා සහගත දෝෂයන්ය. මේ මොහොතේ ඇතිව නැතිව යන සිතුවිලි වලින් මිස ලෝකයක් අපට කිසිකලෙක අන් ක්‍රමයකට මුණ නොගැහේ.
යමක් හෝ දෙයක් හෝ පුද්ගලයෙක් හෝ සිදුවීමක් සිහිකිරීම හුදු සංකල්පයක් පමණක් නොවේද? හේතුව (එවැන්නක් ඇති බවට මනසට එන්නේ මුලා ස්වභාවය නිසාය) ඇති බවට හෝ නැති බවට මේ මොහොතේ ගොඩනැගෙන සිතිවිලි මාත්‍රය යෙදෙනවා නම් පමණක් ඒවා ඇති බවට හෝ නැති බවට මේ මොහොතේ හමුවේ. ඒවාද ඇති බවට හෝ නැති බවට මේ මොහොතේ ම අවසන් වේ.
දැකීම දැකීම් මාත්‍රය පමණි. එම දැක්ම මනසින් යළි සිහිකිරීම ප්‍රපංච බවට පත්වේ.දැකීම මුලාවෙන් නම් මුලාවට පත් ප්‍රථිපල හමුවේ.

Sunday, August 25, 2013

“ සසර “ සැබවටම ඇත්තේ කොහේද?

“ සසර “ සැබවටම ඇත්තේ කොහේද?

August 25, 2013 at 12:41pm
අද උදයේ රෑපවාහිනී නාලිකාවක් හරහා දේශණයක් කළ වියත් හිමිනමක් පැවසූයේ අප සසර වශයෙන් හදුනාගත් දේ ඇත්තේ සිතුවිලි සමග බවත්, එය මේ ජීවිතකාලයේ අත්දකින දෙයක් බවය.මේ ගැන විමසීමක් මේ ලිපියෙන් කරන්න අදහස් කරමි.නුවණැත්තෝ කන් යොමත්වා! පළමුව “සසර‘ යන්නෙහි අරුත මදක් විමසා බලමු.විවිධ අරුත් තිබෙන්නට හැක. මා දක්නේ ඉබේ සාරවත් වීම ,හෙවත් “ස්වයංසාර“ වීම “සසර“ බවයි. එය එලෙස සිදුවන්නේ කෙසේදැයි බලමු. මෙලොවට බිහිවූ අප ඇස,කණ, නාසය,දිව.කය, මන, වශයෙන් ඇති ඉන්ද්‍රියයන් එකකට එකක් සමෝධානව ගන්නා අරමුණු අප ඉදිරියට මෙහෙයවන ගාමක  බලයයි. එනිසා ඒවා ඉන්ද්‍රියායතන වශයෙන් ගැනීම ඉතාම නිරවද්‍ය වේ.මේ නිසා මානවයා අන් සතුන් පරදවා තම බලය මිහිමත තහවුරු කොට සිටී.එම චෛතසික බලය නිසා ලොව ආගම්, දර්ශන, දාර්ශනික මතිමතාන්තර, ආකල්ප, සංකල්ප, මතවාද, දෘෂ්ඨි, විද්‍යා, යනාදිය මානව සංහතිය කෙරෙන් බිහිවිය.                                               සිත ගැන විවරනයක් සපයන බුදුසමය  මෙය ශරීරයක් නැති, දුරගමන් ඇති, ගුහාවක සැගව ඇති, දෙයක් ලෙස විවරණය කරයි. මේ සිත එක මොහොතක එක තැනක රදවා ගැන්ම අසීරු කරුණකි. බුදු සමයට සමකාලීනව සිත සමාධිගත කොට ධ්‍යාන වඩවා අහසින් පවා යාමේ පෙළහර දැක්වූ ආචාර්යවරුන් වූ බව පොතපතේ දසහන්ව ඇත. සිදුහත් මහ බෝසතාණෝ පවා ඔවුන් ගෙන් කිහිප දෙනෙකු හමුව ඔවුනගේ ක්‍රම ශිල්ප හදාරා පරතෙර දුටු බව පෙල දහම කියයි. එහෙත් එතුමාට හමුනොවූ දෙය මරණය ජය ගැන්මයි. ඒ සදහා තුමූම අනුගමනය කළ ක්‍රමවේද අත්හදා බලමින් අවසන එම මාවත පසක්කෙළේය.                                         එය එවකට එදා සමාජයේ මුල් බැස තිබූ ආත්මවාදය (ශාස්වත) ආත්මයක් නැත..... ( උච්ඡේද වාදය ) යන දෙකම පිළිකෙව් කළ එකක් වීය. උන්වහන්සේ පෙන්වා දුන්නේ ආත්මයක් වෙනුවට පවත්නා ධර්මතාවයකි. මේ ධර්මතාවල පහළවීම උන්වහන්සේ “ ජාති ‘ ලෙස අරුත් ගැන්වූ අතර එම ධර්මතාවල අඛණ්ඩ වෙනස්වන ස්වභාවය “ ජරා “ ලෙස හදුන්වා දුනි. මේ ශුද්ධ ධර්මතාවයන් ගේ  විපරීතය “මරණ“ ලෙස අවබෝධ කොට ගන්නා ලදී. මේ තුළ කරන්නෙක් හෝ කරවන්නෙක් නොමැතිවීම මේ දහමේ සුවිශේෂි බවට හේතුවිය. කම්මස්සකාරකො නත්ථි.... (කර්ම හෙවත් ක්‍රියා කරන්නෙක් නැත)විපාකස්සච වෙදකො...       (විපාක විදින්නෙක් ද නැත )සුද්ධ ධම්මා පවත්තන්ති...    ( ආපෝ.තේජෝ,වායො,පඨවි.. යන සුද්ධ ධර්මතා පමණක් විද්‍යමානවේ )එවෙතං සම්ම දස්සනං ...     ( සම්ම්‍යක් දර්ශනය මෙය වේ )එනිසාම මෙය “ ලෝක ධම්මතාවය ‘ ලෙස වඩාත් ප්‍රචලිත විණි. කතාබහට ලක්විණි.                             මෙය වේදාන්ත දහමට පටහැණි වූ දහමක් නිසා  එම දහමට නැඹුරුව සිටි මහණ,බමුණෝ, එකී දහමේ පූර්වාංග යන් මේ තුළට ඔබ්බවන ලදී.ඒ සදහා පෙළ දහමට පසු කාලීනව  විවිධ නිරුක්ති, අට්ඨකතා සැපයිණි. බුද්ධ භාෂිතය යට යමින්  නැවතත් ඉපිදෙමින් මිය යමින් ගමන් කරන බියකරු “සසරක්“ලෙසට දක්කවමින් ආත්ම දහමකට නැවත මග හෙළිකළහ. අද එයින් ගැලවී ගත හැක්කේ මේ මග නැණ නුවණින් පිරික්සූ සීමිත පිරිසකට පමණය. ඔවුන් මේ ජීවිතය තුළම නිවුනාහුය. අන් අය කෙළවරක් නොදත් බියකරු සසරක අනාගත හින දකිමින් මේ ලැබුවාවූ මිනිස් ආත්මය ඊට යටකොට දුකේම ගැලි සිටිත්.  එකී මගෙහි යන අයට අතීත දුක් වේදනා ඇත. සිහින මවන අනාගතය ලංකර ගත නොහැකිව අප්‍රමාණ වේදනා ඇත. මේ දෙක ගැනම සිතමින් එළැඹි මොහොතද නිකරුනේම කා දමත්.                                සිත නැති තැනක කය නොපවත්නා බවද , කය නොමැති තැනක සිත නොපවත්නා බවද, මේ දෙක එකකට එකක් බැදී යමින් සසර සාදන බව ද නොරහසකි. අතීතය ඇත්තේද සිත තුළ සිහිනයක් ලෙසිනි.අතීත සිදුවීම් අල්ලාගෙන වෙදනාවට පත්වීම නිශ්ඵල දෙයකි. අනාගතය පැමිණෙමින් තිබේ. එය අප සැළසුම් කළ පරිදි , හිතන පතන පරිදි, ඉටුවේදැයි කාට නම් කිව හැකිද? අසේ නම් නොඑළැඹ් අනාගතය තැන කල්ඇතිව සිහින දැකීමත් , පැතුමන් බොදවී යාම තුළ දුකටපත්වීමත් නිශ්ඵල ක්‍රියාවකි. එසේ නම් ඇත්තේ කුමක්ද? මේ එලැඹි මොහොතයි. පච්චුප්පන්නයයි.ඒ තුළ සිහියෙන් විසීමයි ඇවැසිවන්නේ.මේනිසා නොඑළැඹි අනාගතය අල්ලා නොගෙන සිටිම මේ භවයේ කෙළවර වේ. අතීතයත් , අනාගතයත් නිශ්ඵල බව දැක නුවණින් අත්හරින්නා නිවුනාවෙයි. සසර නැවතුවා වෙයි.  සැමට අවබෝධයම වෙත්වා! ඒ තුළ නිවෙත්වා!     
Ananda Wijayarathna
                            

Friday, August 23, 2013

“ අකාලිකො භගවතො ධම්මො “ ( භාග්‍යවතුන් වහන්සේ ගේ දහම කාලයට හසු නොවන්නකි )

August 23, 2013 at 11:21am
                                  විදුදරයන් මෑතක් වනතුරුම විශ්වයට ආරම්භයක් හා වයසක් ඇතැයි අනුමාන කළහ. එහෙත් අද එබන්දක් නැති වග තහවුරු කරගෙන ඇත. නමුත් දැනට වර්ෂ 2600කට පමණ පෙර බුදුහිමියන් තම දහම අතීත, වර්තමාන, අනාගත, යන කාල 3ටම අයත් නොවන එකක් බවත්, ඇත්තේ ක්ෂණිකව වෙනස්වන “ පච්චුප්පන්නයක් (ක්ෂණයක්) “ බවත් තම නුවණින් පිරික්සා බලා දෙවා වදාළහ. මෙම ධර්මතාවය වක්‍රාකාරයට හේතු + ප්‍රත්‍ය , මත “ජාති“ “ජරා“ “මරණ“ වශයෙන් අඛණ්ඩව  ගමන්කරනා එකක් බව පිරිසිද වදාළහ. එහි ඇරඹුමක්, නැවැත්මක්, අවසානයක්. නැතිකම නිසාම එය අකාලික දහමක් විණි.                               

මෙහි “ ජාති “ යනු ධර්මතාවයන් ගේ පහළවීමයි. භූතවීමයි. .....  “ජරා“ යනු ඒවායේ ක්ෂණයක් පාසා සිදුවන වෙනස් වීමයි.  “මරණ“ යනු විනාශයයි. මේ කොතැනින් පටන්ගත්තත්... ඇරඹුමකි .... අවසානයකි. පොට වරදවා ගත් අප “ ජාතිය“ යනු පුද්ගලයෙකු ගේ ඉපදීම ලෙසත්,  “ජරාව “ යනු කාලයා ගේ ඇවෑමෙන් වයසට යාම ලෙසත් , “මරණය “ යනු එම පුද්ගලයා ගේ අවසානය බවත් මුලාව තුළ වටහාගෙන සිටිමු.         මේ නිසා “සිරිබිරිස්“ ට උප්පැන්නය අනුව උපන් වෙලාවක් ඇත..... මියගිය වෙලාවක් ඇත. ඒ දෙක අතර ඔහු අවු.80ක් ආයු වළදා ඇත. මේ සිරිබිරිස් “ආයුපාල“ වී නව උපතක් ලබයි.සිරිබිරිස්ව සිටි කාලයේ කළ, කී , දේ විපාක ආයුපාල වී ගෙවයි. මෙය          “ සංසාරය “ ලෙස  විස්තර කරන අපේ යතිවරු බුදු හිමියන් ගේ “ අනාත්ම දහම“....... ආත්ම දහමක්..... බවට පෙරළා ඇත.
මෙය කාගේ වුවමනාවට කොයිකාලයේ සිදුවුණිදැයි අප නොදනිමු. ඒ ගැන කිසිදු වගවිභාගයක් නැතිව ගිරවු මෙන් කට පාඩමෙන් අද ද ටික දෙනෙකු හැර දේශණා කරනු ඇසේ.              

 “ බුද්ධ ධර්මය “.... විශ්ව සාධාරණ දහමකි. ඊට අයිතිකාරයෝ නැත. කැමති කෙනෙකුට එව,.. බලව.. කියා දැක්වූවෙකි. තම තම නැණ නුවණින්ම මිස කවුරු හෝ කිවු පළියට පිළි නොගෙන තමා තුළ හා තමා අවට දකිමින් , විමසමින් , ගවේෂණය කොට ඇත්ත ඇති සැටියෙන් වටහාගත යුත්තකි. එය හරියට රන්කරුවෙක් නියම රන් දැයි පරීක්ෂාකරන අයුරින් සිදු කරනලෙසටයි ධර්මාවවාදය.                 මුලු විශ්වයටම මෙම ජාති,ජරා,මරණ, යන ධම්මතාවය පොදුවේ. කරන්නෙක් හෝ කරවන්නෙක් නොමැතිව එකිනෙකට හේතු ප්‍රත්‍ය වෙමින් කාලයට හසු නොවන අනවරත වක්‍රාකාර ගමනක් යෙයි. එය උප්පාද+වය (  = ධම්මිනො =  ධම්මතාවය)  , ආකාරයට අතොරක් නැතිව උපත හා කැටුව විපත ද රැගෙන එන්නෙකි. (පසු කලෙක ආත්ම දහමක් නිපද වීමට “ උප්පාද“ ... “තිථි“... “ භංග“ .. ලෙස පැවැත්මක් කාලය සමග  තිර කළහ.) මෙකී අනිත්‍යතාවය ජීව, අජීව, සැමට පොදු වූවෙකි. බීජයක් සිටුවා , ඵලයක් ලබන්න කාලයක් ගතවෙන බව අප දකිමු. එහෙත් බීජය පැලවි, ගසක් වි , අතු ඉති.මල්,පල. දරා සිදුවන මේ වෙනස ... ජරා ලෙස නොදකිමු. ධම්මතාවයන් ගේ හැසිරීමේ ඵලයක් ලෙස මේ ඉබේ සිදුවන බව පසක් නොකරමු.       

මේ දහම තම තම නැණ නුවණින් විමසා බලා තිරකොට දත් අය “ තමා “ කියා කෙනෙකු නැති බවත්, පවත් නේ අපට වෙනස් කළ නොහැකි , අපේ කැමැත්තට අනුව නොපවතින , හුදු ධර්මතාවයක්ම බවත්, එය බුදු,පසේ බුදු, මහ රහත් . සැමටද පොදුවූවක් බවත් දැක ඒ ගැන කම්පානොවී ඉබේ සිදුවන එම ක්‍රියාවලියට අනුගත වෙමින් නිවි සැනසිල්ලේ පසුවෙත්.                                                                            
බුදු හිමියන් පිලිකෙව් කළ ආත්මීය වේදාන්ත දහම අද පවා පිලිගන්නා උදවිය මරණින් මතු උපතකට ලකලෑස්ති වෙති. එනිසාම ඔවුනට උපතක් ඇත, ජීවත්වන කාලයක් ඇත, ලෙඩ දුක් ඇත,  බියකරු මරණයක් ඇත. එනිසාම දුක උරුම කොට ඇත. ඉපිදෙමින් , මියෙමින්, නැවත උපදිමින් යන බියකරු සසරක් ඇත.        

බුදු හිමි ගේ අකාලික වූ අනාත්ම වූ දහම හරියාකාරව වටහා ගත් අය පවතින ධර්මතාවයන්ට අනුගත වෙමින් ඒ ගැන කම්පා නොවෙමින් ජීවිතය තුළම සුගතිගාමීවෙත්. අන් අය බුදු හිමියන් අනුමත නොකළ ආත්මීය දහමක බියකරු සසරක හීන දකිමින් ,අපාය,දිව්‍ය ලෝක,දකිමින් , ..... ප්‍රේත, කුම්භාණ්ඩ, සුර,අසුර, බ්‍රහ්ම දකිමින් ,දොළ පිදේනි, පුද පඩුරු දෙමින් යාතිකා කරවමින් දහසක් කරදර මැද්දේ ජීවිතය කාලකන්ණි කොට ගෙන දුගතිගාමී වෙත්.   
(  බුදු සමය ප්‍රඥාවන්තයින්ට පමණකි. මෙම සත්‍ය දර්ශනය එවන් අයටයි. )
ආනන්ද විජයරත්න(විශ්‍රාමික විදුහල්පති)