Wednesday, January 13, 2016



3 hrs
පුනර්භව තර්කයේ පුහු බව........

 මම ය මාගේ ය යනුවෙන් කිසිවක් නොමැති නම් යළි ඉපදීමක් ද විය නොහැකිය....
මිනිස් සත්ත්වයා අනෙකුත් සියලු සත්ත්ව ප්‍රභේදයන්ගෙන් වෙනස්ව, මානව පරිණාම මාවතේ ගමන් ඇරඹුමෙන් අනතුරුව තමා පිළිබඳවත්, තම සමීපතමයන් පිළිබඳවත්, සෙසු ස්වභාවධර්මය පිළිබඳවත් “සිතන්නට” පටන් ගනියි.
ඔවුන්ට තම සමීපතමයන්ගේ හෝ තම රංචුවේ, තම කණ්ඩායමේ කෙනකුගේ වියෝව නිසා ඇතිවන පාඩුව, හිඩැස පිළිබඳව සසලවීමක් වැනි හැඟීමක් ඇතිවන්නට ඇත. ඒ අය තවදුරටත් තමන් අතර සිටී නම් වැනි කැමැත්තක් එලෙසම ඇතිවන්නට ඇත.
අවුරුදු දස දහස් ගණනකට පෙ‍රාතුව (නියැන්ඩර්තාල් අවදියේදී පවා...) පැවති සොහොන් ආශ්‍රිතව, මිය ගිය අයගේ සිරුරු අසල ඔවුන් භාවිත කළ මෙවලම් හා වර්ණ ගැන්වූ යම් යම් දේ තැන්පත් කොට තිබූ අයුරු කැනීම්වලදී සොයාගෙන ඇත. එම චාරිත්‍රයේ ප්‍රකාශිත අභිප්‍රාය වන්නේ මියගිය අය හට ඒ දේවල් ඉතිරි කිරීමයි. එනම් මරණයෙන් ඔහු පිළිබඳ සියල්ල අවසන් නොවන බවයි, එනම් ආත්මීය අඛණ්ඩතාවය පිළිබඳ ප්‍රාර්ථනාවක්, විශ්වාසයක් පිළිබඳ සේයාවක් එම චාරිත්‍රය තුළින් ගම්‍ය වෙයි. මරණින් මතු පැවැත්මක් පිළිබඳ අනුරාගය ඉතා ප්‍රාග් යුගය තෙක් විහිදෙන බව ඒ අනුව අපට උපකල්පනය කළ හැක.
එනම් ආගම් බිහිවීමට ‍වසර දසදහස් ගණනකට පෙර ආත්මීය අඛණ්ඩතාවය පිළිබඳ ආශාව ප්‍රාථමික මට්ටමින් රෝපණයවී ක්‍රම ක්‍රමයෙන් එය වැඩෙන්නට ඇත. එය මිනිස් ශිෂ්ටාචාරයටම පොදු ප්‍රාර්ථනාවක්වී ඇත. මිනිස් ඉතිහාසය පුරා මානව වර්ගයා අතර, කණ්ඩායම් තුළ, කණ්ඩායම් අතර බැඳීම් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙත්ම ඔවුන් අතර වන වියෝව, මරණය හේතුවෙන් හටගන්නා සංවේගය, වියෝ වේදනාව ද ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට ඇත. එලෙස වියෝ වේදනාව වැඩි වර්ධනය වීමට සාපේක්ෂව, ඔවුන් මිය නොගොස් අප අතරම රැඳී සිටියා නම් යන හැඟීම ද බලවත් වන්නට ඇත. සංක්ෂිප්තව ගත් විට මරණයෙන් සියල්ල අවසන් වේය යන හැඟීම එදා පවා දරාගන්නට අසීරු විය. මීට සැනසිලිදායී විසැඳුමක් මානව ශිෂ්ටාචාරයට අවශ්‍ය විය. ඒ අනුව මරණින් මතු පැවැත්මක් පිළිබඳ ආශාව, ප්‍රාර්ථනාව ක්‍රමයෙන් විශ්වාසයක් බවටත්, ඊට අනුරූපී අභිචාර විධීන් හා චාරිත්‍ර ආදිය ද ගොඩනැඟීම සිදු විය.
අද පවතින සංවිධානාත්මක (ප්‍රධාන) ආගම් බිහිවනුයේ වසර 5000 කට මෙපිට වකවානුවේදීය. (මිනිසා කෘෂිකාර්මික යුගයට එළැඹී ජනාවාස බිහිකර ගැනීමත් සමඟ සමාජයේ පැවැත්ම සඳහා සදාචාර පද්ධතීන් ක්‍රම ක්‍රමයෙන් ගොඩනැංවීමේ ඉතිහාසය ආගම් බිහිවීමේ ඉතිහාසය වෙයි.) ආගම් බිහිවන යුගය වන විට ඉහත කී මරණින් මතු පැවැත්මක් පිළිබඳ විශ්වාසය මිනිස් සමාජය තුළ බලවත් ලෙස කිඳා බැස තිබූ පරිකල්පනයක් ව තිබුණා. ආගම් විසින් මෙකී විශ්වාසයට යම් යම් අර්ථ දැක්වීම්, නිර්ණායක හා ප්‍රමිතීන් එකතු කරනු ලැබීය. මරණින් මතු තවත් ආත්මයක් යන අදහස මුළුමනින් බැහැර කිරීමට ආගම්වලට අසීරු විය. (අනාත්මවාදී ඉදිරිපත් කිරීමක් වන බුදු දහම තුළ ද පුනරුත්පත්තිය බලවත් ලෙසින් පැලපදියම් ව තිබීම ඊට සාක්ෂියකි; මම ය මාගේ ය යනුවෙන් කිසිවක් නොමැති නම් යළි ඉපදීමක් ද විය නොහැකිය...)
අද අපි විඳින ජීවිතය හා මේ ලෝකය සමඟ/ මිනිස් සමාජය සමඟ පවත්නා සම්බන්ධතා ජාලය, අපගේ දරු මුණුපුරන්, සමීපතමයන් පිළිබඳ ප්‍රාර්ථනා, බලාපොරොත්තු ආදී සියල්ල මරණයත් සමඟ අතහැර යාම ඕනෑම අයකුට ආත්මීය අගාධයක් වැනි දරාගත නොහැකි එකකි; ආත්මීය කළු කුහරයක් (black hole) වැනි එකකි. එය ඇත්තෙන්ම මරණය පිළිබඳ වේදනාවට ද වඩා ඛේදවාචකයකි.
කෙසේමුත් පුනරුත්පත්තිය හෝ පුනර්භවය හෝ ස්වර්ගය ආදී කිසියම් නාමකරණයකින් වුව හැඳින්වෙන නැවත ඉපදීම හෝ ආත්මීය අඛණ්ඩතාවය පිළිබඳ විශ්වාසය පිළිබඳව යම් කිසි ආකාරයක තර්කානුකූල විග්‍රහයක් කර බැලීමට උනන්දු වන අයකු හට අවධානයට ලක්කළ යුතු මූලික කරුණු කීපයක් පෙළගැස්වීමට මෙහිදී අදහස් කරමි.
පරිණාමවාදය යන්න අද විද්‍යා දැනුම් සාගරයේ ඇති විශාල දැනුම් පද්ධතියකි. එය, අජීවී පදාර්ථ තුළින් (යම් අහඹු සිදුවීම් මාලාවක් තුළින්) සජීවී ව්‍යුහවල ප්‍රාථමික මට්ටම්වලින් ඇරඹී, සරල හා සංකීර්ණ ජීවීන් දක්වා විකාශනය වූ ආකාරය පිළිබඳ ඉතා වැදගත් විග්‍රහයක් ඉදිරිපත් කොට ඇත. අද වන විට එයට වැදගත් සාක්ෂි හා අලුත් දැනුම එකතු වී වැඩි වර්ධනය වෙමින් පවතිනවා. පරිණාමවාදය හුදෙක් න්‍යායාත්මක ප්‍රවාදයක් නොවේ; එය අනුභූතික සාධක හා සාක්ෂි රැස්කර ගනිමින් පෝෂණය වූ විද්‍යාවකි. එකී දැනුමට අනුව ජීවීන්ට, මානවයන්ට භෞතික ශරීරයට අමතරව පවතින ආත්මයක් හෝ “මන” නම් වූ දෙයක් ජනනය වීමට ඇති හැකියාවක් ඉතිරි නොකරයි. එවිට තවත් උපතක් ලැබීමට යමක් මරණින් පසු ඉතිරි නොවේ. පරිණාමයේ ඉතිහාසය තුළ අජීවී පදාර්ථ තුළින් ජීවී ව්‍යුහ බවට පරිණාමය වීමේ සිද්ධි දාමය තුළ ජීවී - අජීවී ලෙස පැහැදිලි බෙදුම් ලක්ෂයක් හෝ මොහොතක් පෙන්විය නොහැක. අජීවී පදාර්ථවලට පුනරුත්පත්තියක් හෝ මරණින් පසුව සැරිසරන ආත්මයක් නොමැති බැවින් ආත්මයක් හෝ විඥානයක් අත්කර ගන්නා ආරම්භක අවස්ථාවක් පෙන්විය නොහැක. ඒ අනුව පරිණාමවාදී දැනුම අනුව පුනරුත්පත්ති විශ්වාසය එහි පදනමින්ම අභියෝගයට ලක්කොට ඇත.
නූතන තාරකා විද්‍යාත්මක දැනුම අනුව විශ්වයේ ස්වාභාවය, සෞරග්‍රහ මණ්ඩලයේ බිහිවීම, පෘථිවියේ බිහිවීම හා පැවැත්ම ඇතුළු විශාල දැනුම් පද්ධතියක වර්ධනය අභිමුව අපි ජීවත් වන්නෙමු. පෘථිවිය, අපේ සූර්යයා ද අනෙක් අභ්‍යවකාශ වස්තූන් මෙන් කලෙකදී විනාශ වී යයි. එවිට සමස්ත ජීව සංහතියම කෙටි කාලයත් තුළ විනාශ වී යයි. එනම් සකලවිධ විශ්වයේ පැවැත්ම හා ඉරණම, විශ්වයේ භෞතික පැවැත්මට යටත් බවයි. ජීවීන්ට හෝ මානවයන්ට අදාළ ආත්මයක් වෙයි නම් එහි ඉරණම ද මීට යටත්ය. එනම් භෞතික ලෝකය ඉක්මවා ගිය යමක් නොපවතී. එකී සංදර්භයට යටත් වූ විට ආත්මයක් හෝ පුනරුත්පත්තියේ ආරම්භක මොහොත හෝ පිළිබඳ විශ්වාසය බිඳ වැටේ.
ජීව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක නූතන දැනුම අනුව ශරීරය හා මනස ලෙස භෞතික වූ යමක් හා අභෞතික වූ යමක් වෙන් වෙන්ව නොපවතින බව දැන් අපි දනිමු. (පුනරුත්පත්තිය හෝ ආත්මය සම්බන්ධ කරන්නට උත්සාහ කළේ මේ අභෞතික මනස/සිත වැනි දෙයකටයි.) අපගේ සිතුවිලි, අදහස්, ආවේග, හැඟීම් එනම් ආදරය, කෝපය ආදී සියලු දේ අපගේ මොළය හා ස්නායු පද්ධතිය මත පදනම් වූ ජෛව - විද්‍යුත් - රසායනික - (සන්නිවේදන) ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එනම් මෙකී භෞතික නොවන යැයි අතීතයේ සිතූ මානසික කාරණා ද භෞතික/ රසායනික ක්‍රියාවලියකි. එවිට අභෞතික වූ කිසිවක් අපගේ ජීවිතයට අදාළව නොපවතී. සියල්ල භෞතික නම්, භෞතික සියල්ල මෙන් භෞතික ශරීරය ද මරණයේදී පරිසරයට විසංයෝජනය වෙයි නම් යළි උපතක් ලබන්නට කිසිවක් ඉතිරි නොවේ.
කෙසේ මුත් අපට යම් සැනසීමක් ඉතිරි වෙයි. අපගේ ජාන ඔස්සේ අපේ දරුවන් අපගේ අනුපිටපතක් ලෙසින් පරම්පරාවෙන් පරම්පරාවට අපව පුනර්ජනනය කරයි. ඒ අප මියගිය විට නොව අප ජීවත්ව සිටියදීමය.
මූලධාර්මිකව පුනරුත්පත්තිය හෝ පුනර්භවය හෝ ආත්මය පිළිබඳව තර්කානුකූල විග්‍රහය එසේ වුවද සාමාන්‍ය සමාජය අතර මෙවැනි විශ්වාසයන් කෙරෙහි ආසක්ත කරන්නා වූ පුවත් ජනමාධ්‍ය ඔස්සේ ඉඳහිට අපි දකිමු. වරින්වර පුනරුත්පත්ති පිළිබඳ කතා මාධ්‍ය ඔස්සේ රසවත් ලෙසින් විස්තර කෙරේ. එහෙත් මෙවැනි කතා පුවත් පිළිබඳව පසු විපරමක් කොට එහි යථා ස්වභාවය නිරාවරණය කරන්නට තරම් අප නිර්භීත වන්නේ නම් එවැනි කතා ප්‍රබන්ධ බවත්, කෙටි කලකින්ම පුනරුත්පත්ති විස්තර කී තැනැත්තා එය අත්හැර දැමූ ආකාරයත් සනාථ කරගත හැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙවැනි පුනරුත්පත්ති කතාවක් මාධ්‍ය ඔස්සේ පළවන්නේ මීට වසර 50 කට පමණ මෑත අතීතයේ ය. එය ද, මෙතරම් බෞද්ධ රටේ පුනරුත්පත්ති ප්‍රකාශ කිරීමේ අවස්ථා නොමැත්තේ ඇයිදැයි පුනරුත්පත්ති කතා පිළිබඳ විමර්ශන සිදු කළ අයකු ප්‍රසිද්ධියේ කළ ප්‍රශ්න කිරීමකින් අනතුරුවය.
මේ ආකාරයේ පුනරුත්පත්ති කතා පිළිබඳව ලොව පුරා පර්යේෂණ සිය ගණනක් සිදුකළ ලොකුම පර්යේෂකයා වන වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් පවා පුනරුත්පත්තිය තහවුරු කළ හැකි සාක්ෂි හමුවී යැයි ප්‍රකාශ කොට නැත. ඉයන් ස්ටීවන්සන් යනු පුනරුත්පත්තිය පිළිබඳව යම් විශ්වාසයක් ඇතිව එය තහවුරු කරන්නට සාක්ෂි සෙවූ පර්යේෂකයෙකි. එසේ නොමැතිව ඔහු ද අපක්ෂපාතී, ස්වාධීන පර්යේෂකයකු ද නොවේ. කෙසේ මුත් ශ්‍රී ලංකාවේ බොහෝ අය මෙන් සාක්ෂි නොමැතිව, පර්යේෂණයන්ගෙන් තමන්ගේ විශ්වාසය තහවුරු වූයේ යැයි ප්‍රකාශ කරන්නට ඉදිරිපත් නොවීමට තරම් ඔහු අවංක උගතකු බව ද මෙහිදී කිවමනා ය.
මෝහනය තුළින් (Hypnotic Regression) පෙර ආත්ම භවයන් ප්‍රකාශ කළ හැකි යැයි තවත් ජනප්‍රිය විශ්වාසයක් ජනතාව අතර පවතී. මෝහනය යනු මෝහනය කරවන පුද්ගලයාගේ ඇනවුම්, යෝජනා, හැඟවුම් අනුව අර්ධ නිද්‍රාවට පත් තැනැත්තාගේ මතකයේ ඇති දේවල් (අවිඥානිකව) උපුටා ගනිමින් ගෙන හැර පාන හීනයක් වැනි දෙයකි. “ඔබ දැන් සිටින්නේ මවගේ ගර්භාෂයේ, ඔබ දැන් පෙර ආත්මයේ...” ලෙසින් යෝජනා කරන්නේ මෝහන චිකිත්සකයා විසිනි. මෝහනයට අවනත වූ පුද්ගලයා ද පුනරුත්පත්තිය විශ්වාස කරන්නකු වූ විට “සාර්ථක” පුනරුත්පත්ති විස්තරයක් ගොතා/ ප්‍රබන්ධ කළ හැකිය. ස්වාධීන හා විෂයට අවංක මනෝ වෛද්‍ය විශේෂඥයන්ගෙන් විමසුවහොත්, එලෙස පුනරුත්පත්ති සිදුවීමක් මෝහන චිකිත්සාවකින් හෙළිකර ගත හැකි ද යන්නට වඩා හොඳ පිළිතුරක් ලබා දෙනු ඇත.
විශේෂ දක්ෂතා ඇති අය එසේ හැකියාවක් පෙන්නුම් කරන්නේ පෙර ආත්ම භවයකින් රැගෙන ආ දැනුමක් තුළින් යන්නද තවත් ප්‍රචලිත විශ්වාසයකි. ඇත්තෙන්ම මෙවැනි අය පිළිබඳ පර්යේෂණ තවම සිදුකෙරෙමින් පවතී. කෙසේ මුත් එවැනි අය බොහෝ දුරට deep narrow minded හෙවත් පටු සීමාවක් තුළ තීක්ෂණ දක්ෂතාවක් පෙන්නුම් කරන අය වෙයි. ඔවුනට බොහෝ විට එකී හැකියා පරාසයෙන් බැහැරව අනෙක් විෂයයන් සම්බන්ධයෙන් සාමාන්‍ය දක්ෂතා මට්ටමට හෝ ළඟාවීමට නොහැකි වනු ඇත. Savant Otism තත්ත්වයේ පසුවන අය ද සමහර විට මෙවැනි සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කළ අවස්ථා ඇත. එනිසා එමඟින් පුනරුත්පත්ති විශ්වාසයට සාක්ෂි සපයන්නේ නැත.
අවසාන වශයෙන්, පුනරුත්පත්තිය පිළිබඳව ආශාවක් ඇතිවීම, ප්‍රාර්ථනාවක් තිබීම මනුෂ්‍ය ස්වභාවයයි. විශේෂයෙන් ලෝකය වේගයෙන් සංවර්ධනය වී අපගේ ජීවිත විශාල වන විට මේ ජීවිතයට මුළුමනින්ම නැවතීමේ තිත තැබීම යනු දරාගත නොහැකි යමකි. කෙසේ වුවත් යථාර්ථය තේරුම් ගත් විට අපගේත්, අනෙකාගේත් ජීවිතවල සැබෑ වටිනාකම තවත් ඉහළ යනු ඇත. එවිට මේ ලද ජීවිතයෙන් වඩාත් ඵලදායී යමක් අත්පත් කරගැනීමටත්, මිනිස් වර්ගයාටත්, එහි පැවැත්මටත් ඉවහල් වන පරිදි අප වඩාත් සාධාරණ ලෙසින් හා යුක්ති සහගත ලෙසින් ජීවිතය තීරණය කිරීමටත් පෙළඹෙනු ඇත.
Sarath Wimalasuriya මුහුණු පොතට එක්කළ ලිපියකි.

තාරක වරාපිටිය
ශ්‍රී ලංකා හේතුවාදී සංගමය

No comments:

Post a Comment