Friday, February 26, 2016



                              තථාගත දහම .... හා .... තථාගතයන් වහන්සේ ගේ දහම....



මේ දෙකෙහි ඔබ දකින වෙනස කුමක් ද?

* එකක් සැබෑ ස්වරූපය දක්වයි. ( පරමත්තය)

* අයිතියට පැවරූ අනෙක් දහමින් සම්මුතිය දක්වයි.

පරමත්ථය... වචන ඇසුරින් දත නොහැක.පුද්ගලාර්ථ යෙන් ද හැදෑරිය නොහැක.එය සත්‍ය දර්ශනයක්ම පමණි... එහි ඇත්තේ ස්කන්ධා දී සිත් පරම්පරාවේ හැසිරීමක් මිස සත්ව හෝ ගති සොබාවක් නොවේ.. ඊයේ .. අද .. හෙට..යැයි කිවහැකි කාලයටද එය හසු නොවේ.
එම දහම ම .... තථාගතයන් ගේ දහම .... යැයි සම්මුතියෙන් ගතහොත් වන්නේ කිමෙක්ද?
එවිට...මම.. ඔබ .. යන පුද්ගලත්යවට (ආත්මයට) හසුවේ...
එවිට කරන්නෙක්.. විදින්නෙක් සිටී......
අතීත අනතීත චරිත කථා.. ප්‍රකාශවේ........
මිනිස් ගති සොබා පිළිබද (ක්‍රෝධය .. මානය ..ඊර්ෂ්‍යාව .. මෛත්‍රිය .. කරුණාව..වැනි ) විවරණ වේ.
ප්‍රතිපත්ති ... මාර්ග.. ඵල .. අඵල... වැනි ලෝකීය දේට නැඹුරුවේ.
එකම දේ සම්මුතිකව දේශණා කළද ... පරමත්ථව දේශණා කළද අන්තර්ගතය ගැටලුවක් කර නොගත යුතුය.
ඒ ඇයි?...
සම්මුතියේ සිටින මිනිස් වගට තමාට හුරු පුරුදු භාෂාවෙන්.. සම්මත ව්‍යවහාර තුළ ඊයේ .. අද .. හෙට.. ලෙස කාලයට ගලපමින්... ඵල විපාක පැහදිළිකරමින්... නො කිවුවොත් නොතේරේ.
එනිසා මේ දෙකම එකක් වුව අප පටලවා ගෙන තර්ක විතර්ක කරමින් සිටිමු.
තථාගත දහමෙහි ඇත්තේ ගලායන සිත් ප්‍රවාහයක ගති සොබාව පිළිබද විවරණයක් මිස  ඉන්ද්‍රියයන් තුළින් අල්ලා ගත හැකි විවරණයන්  නොවේ.
එය (පරමත්ථය )  ප්‍රකාශ කරන්නද ඇත්තේ සම්මුතික වචන මාලාවකි... තේරුම් ගතයුතුව ඇත්තේ ද සම්මුතික සිතකිනි.
එනිසා යමක් දැඩිව ග්‍රහණය නොකර අන්තවලට නොගොස් ඒ ඒ ක්ෂණයේ සිහිකල්පනාව ඇතිව ක්‍රියාකරන්නා සැනසිල්ල උදාකරගනිමින් ජීවිතය කෙළවර කරයි.
කෙනා.. ( ඔබ.. මම ..) කියා ගැනීම තුළ උපතක්.. පැවැත්මක් .. මරණයක් ලැබේ.( උප්පාද..තිථි ... භංග..)
ජිවත්ව සිටින මේ කාලය තුළම ඔබ අත් විදින ළදරු.. ළමා.. තරුණ .. මහලු වැනි මෙම සිත් පරම්පරාවේම  හැසිරීම අවිච්චින්නව (නොබිදී) ඉදිරියටත් පැවතේ. ඔබ .. මම.. කියා පුද්ගලයෙක් එතැන නැතත් යථාර්ථය එතැන ඇත. එය නොවෙනස්වන තථාගත දහමයි.
යථාර්ථය.. සම්මුති වචනයෙන් පැහදිළි කිරීමට යාම බුදුරදුනට ද ගැටලුවක්ම විණි.
එනිසා මෙය කියවන ඔබට ද  අසාගත් දැනුමෙන් ගැටලු මතුවනු ඇත. ඒ තමා තුළින්ම දැක්මකට විත් සිත් පහන්කර ගන්න.
ඔබට සම්බුදු සරණයි!
ආනන්ද විජයරත්න... (සම්මුතික)